ලෝකය පටවන කුණු | දිනමිණ

ලෝකය පටවන කුණු

ධම්මික සෙනෙවිරත්න

ගෝලීය ප්ලාස්ටික් දූෂණයට වැඩියෙන්ම වගකිව යුතු රටවල් ලෙස දැක්වෙන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් ය. නිව්යෝර්ක් නගරයෙන් බැහැර කරන කසළවලින් 80% ක්ම 1990 දක්වා වැටුණේ මුහුදටය. එය වාර්ෂිකව ටොන් මිලියන 14ක් පමණ වූ බව ගණන් බලා තිබේ. තනි රටක් ලෙස වැඩියෙන්ම ප්ලාස්ටික් කසළ බැහැර කරන රට අමෙරිකාවය 

“අපට ඔබේ කසළ එපා! අපේ කසළ හදල තියෙන ප්‍රශ්න ටික අපට හොඳටම ඇති...”

- මහතීර් මොහොමඩ් 
මැලේසියා අගමැති

සියල්ල අලෙවිවන ලෝකයක කසළ පමණක් අලෙවි නොවීමට හේතුවක් නැත. කසළ විකිණෙන්නේ සොච්චම් මුදලට නොව ඩොලර් , යුරෝ හා පවුම් කුට්ටිවලටය. කසළවලට මිලක් ලැබීම හොඳ විය හැකිය. කසළ ප්‍රතිචක්‍රීකරණය ඊටත් හොඳය. ප්‍රශ්නය ඇත්තේ මේ වනවිට කසළ වෙළෙඳාම සේරිවාණිජලා අත නොව කච්ඡපුටලා අත මනුෂ්‍යත්වයට පවා නිගාදෙන අසාධාරණ වෙළෙඳාමක් බවට පත්වීමය. ප්‍රතිචක්‍රීකරණයට මුවා වී කසළ මාෆියාවක් ගෝලීය කසළ වෙළෙඳාම හසුරුවන්නට පටන් ගෙන ඇති අයුරක් පෙනෙන්නට ඇත.

පරිසර‍වේදීන් හා විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට ගෝලීය කසළ වෙළෙඳාම සන්ධිස්ථානයකට ළඟා වී පවතී. ධනවත් හා බලවත් ජාතීහු දශක ගණනාවක් තිස්සේ සිය කැළිකසළ සංවර්ධනය වෙමින් පවත්නා රටවලට පැටවීම සිදුකළහ. එහෙත්, මෑත වසර කිහිපයක් තිස්සේ කැළි කසළ ප්ලාස්ටික් වැනි ප්‍රතිචක්‍රිකරණය කළ නොහැකි දෑ අග්නිදිග ආසියාතික රටවලට පැමිණෙන්නට පටන් ගත්තේ ය. ඒ අතර මැලේසියාව, තායිලන්තය, පිලිපීනය ඉදිරියෙන්ම තිබේ. ඔවුන් කසළ ප්‍රතිචක්‍රිකරණයෙන් උපයන ආදායමට වඩා විශාල මිලක් පරිසර විනාශය වෙනුවෙන් ගෙවීමට සිදුව ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

චීනයේ තහංචි

අද වනවිට අග්නිදිග ආසියාව මේ ජාවාරමේ ගොදුරක් බවට පත්වෙමින් ඇතත්, දශක ගණනාවක් තිස්සේ අමෙරිකාව, එක්සත් රාජධානිය වැනි රටවලින් කසළ ආනයනය කරන ප්‍රධානම රාජ්‍ය ලෙස චීනය ඉදිරියෙන් විය. ලෝකයේම ප්ලාස්ටික් කසළවලින් හරි අඩක් පමණ එලෙස චීනය ආනයනය කරයි. ග්‍රීන්පීස් සංවිධානය පවසන පරිදි 2012 වසරේදී ටොන් මිලියන 9 ක් විය. කෙසේ වුවද, විධිමත් කළමනාකරණයකින් තොරව කසළ සැකසීමේ ක්‍රියාවලිය හේතුවෙන් චීනය 2018 දී කසළ ආනයනයට විශාල ලෙස තහංචි පැනවීය. ඒ සමඟ කාර්මික රටවල කසළ පැටවීමට නව බිම් සොයායාමට සිදුවිණි. ග්‍රීන්පීස් සංවිධානය පෙන්වා දෙන අන්දමට එලෙස තම කසළ රටින් පිටකරන රටවල් සංවර්ධිත රටවල් වන අතර අමෙරිකාව, කැනඩාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම, ජර්මනිය, ස්පාඤ්ඤය වැනි රටවල් ඉදිරියෙන් සිටී.

ඉකුත් මාසයේදී “ටයිම්” සඟරාව අග්නිදිග ආසියාව ගෝලීය කසළ බිමක් බවට පත් වෙමින් තිබීම ගැන විශේෂාංගයක් පළ කර තිබිණි. ග්‍රීන්පීස් හි පිලිපීන අධ්‍යක්ෂ ලී ගුවෙරෙරෝ පවසන පරිදි, දිළිඳු රටවල නීති රෙගුලාසිවල ඇති සිදුරුවලින් ධනවත් රටවල් රිංගා යන අයුරු පැහැදිලි වේ. මෙවැනි කසළ අපනයනය ඔවුන්ට ලාබදායකය. ඒවා යළි සකසා ප්‍රතිඅපනයනය කෙරෙන විට තමරටවලට යළි බාරගැනීමේ දී පවා ඔවුහු දැඩි රෙගුලාසි අනුගමනය කරති.

ලොව ප්‍රමුඛතම කසළ අපනයනය කරන රටවල් ලෙස 2018 මුල් අර්ධයේදී ඉදිරියෙන් සිටියේ එක්සත් රාජධානිය, අමෙරිකාව හා ජපානයයි. 2016 - 2018 වකවානුවේ පිලිපීනය කසළ ටොන් 11,900 ක් ආනයනය කර තිබිණි. පරිසර සංවිධාන පවසන පරිදි මේ සංඛ්‍යාව මීට වඩා බොහෝ වැඩි විය යුතුය. මේ අයිස් පරයේ මුදුන පමණක් ය යන්න ඔවුන්ගේ අදහස ය. මැලේසියාව මසක් තුළ කසළ ටොන් 110,000 ආනයනය කර ඇති බවට වාර්තා විය. තායිලන්තයේ කසළ ආනයනය 2000% කින් වැඩි වී ඇති බවද පරිසර සංවිධාන පවසති.

කෙසේ වුවද එලෙස ලැබෙන අනවශ්‍ය මෙන්ම කරදරකාරී කසළ යළි ඒවා එවූ රටටම හරවා යැවීමට මැලේසියාව හා පිලිපීනය කටයුතු කරයි. සෙසු රටවල් ද එසේ කිරීමේ හැකියාව සොයා බලමින් සිටී. පිලිපීනය ඉකුත් ජනවාරි මාසයේදී එලෙස මිශ්‍ර කසළ කන්ටේනර් 51 ක් ආපසු ද කුණු කොරියාවට හරවා යැවීය. එම කන්ටේනර්වල ප්ලාස්ටික් මෙන්ම ප්‍රකාශ නොකළ තවත් අපද්‍රව්‍ය තිබිණි. අප්‍රේල් මාසයේදී මැලේසියාව කන්ටේනර් 5ක් ස්පාඤ්ඤයට හරවා යැවූ බව සී.එන්.එන්. වාර්තාවක දැක්විණි. මැලේසියා අගමැති මහතීර් මොහොමඩ් ජපානයේ චාරිකා කරමින් මීට දෙමසකට පෙර කියා සිටියේ, කසළ වෙළෙඳාම අසාධාරණ වෙළෙඳාමක් බවට පත්ව ඇති බවය. තායිලන්තය පවා මේ වනවිටත් ප්ලාස්ටික් කසළ ආනයනයට තාවකාලික තහනමක් පණවා තිබේ.

ප්‍රතිචක්‍රීකරණය

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි ගෝලීය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය ඇ.ඩො.බිලියන 200ක පමණ කර්මාන්තයකි. කෙසේ වුවද මෙම ක්‍රියාවලිය 90% ක්ම සිදුවන්නේ නැත. ගෝලීය ප්ලාස්ටික් දූෂණයට වැඩියෙන්ම වගකිව යුතු රටවල් ලෙස දැක්වෙන්නේ චීනය, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය වැනි රටවල් ය. නිව්යෝර්ක් නගරයෙන් බැහැර කරන කසළවලින් 80% ක්ම 1990 දක්වා වැටුණේ මුහුදටය. එය වාර්ෂිකව ටොන් මිලියන 14ක් පමණ වූ බව ගණන් බලා තිබේ. තනි රටක් ලෙස වැඩියෙන්ම ප්ලාස්ටික් කසළ බැහැර කරන රට අමෙරිකාවය. යුරෝපා රටවල් ද එහිදී ඉදිරියෙන් සිටී. ලොව හොඳම ප්‍රතිචක්‍රිකරණ වැඩපිළිවෙළ ඇතිරට ලෙස ඉහළින්ම සිටින ජර්මනිය පවා තම කසළ රටින් බැහැර කරයි. ජර්මනිය, ඔස්ට්‍රියාව, දකුණු කොරියාව වැනි රටවල් නාගරික කසළ වලින් හරි අඩක් පමණ ප්‍රතිචක්‍රීකරණයට ලක්කරන බව වාර්තා වේ.

ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනක්ම ප්ලාස්ටික් නිසා දූෂණයට ලක්වී අවසන්ය. විශේෂයෙන්ම ගංගා හා මහ මුහුද ප්ලාස්ටික් නිසා බරපතළ ලෙස දූෂණයට ලක්ව ඇත.

මියගිය ඇතැම් මුහුදු ජීවීන්ගේ ආහාර මාර්ගයේ තිබී “බීම බට” පවා සොයාගෙන තිබීමෙන් මේ ප්‍රශ්නයේ ගැඹුර මැනගත හැකි වේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩ සටහන මඟින් ගණනය කර ඇති පරිදි ප්ලාස්ටික් මඟින් සිදුවන සාගර දූෂණයේ ආර්ථිකමය තක්සේරුව වාර්ෂිකව ඇ.ඩො.බිලියන 13ක් පමණ වේ. දිළිඳු රටවල ප්ලාස්ටික් භාවිතය විශාල ලෙස ඉහළ යමින් තිබීම අවධානයට ලක්ව ඇති කාරණයකි. ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය පාලනය නොකළහොත් ඉදිරි වසර 10 - 15 තුළ එය දෙගුණයක් වනු ඇත. උප සහරානු අප්‍රිකානු කලාපයේ නම් එය තුන්ගුණයක් වනු ඇත. (වසර 2050 දී) බහුජාතික සමාගම් විසින් එක්වරක් භාවිතය සඳහා පමණක් නිපදවා සංවර්ධනය වෙමින් පවත්නා රටවලට අලෙවිකරණ ප්ලාස්ටික් වසර 2025 වනවිට හරි අඩකින් අඩුකළ යුතු බවට පෙන්වා දී තිබේ. සර් රිචඩ් ඇටන්බරෝ පෙන්වා දෙන පරිදි, ධනවත් රටවල පරිභෝජන රටාව මේ ප්‍රශ්නය උග්‍ර අතට හරවා ඇත. පොසිල ඉන්ධන යොදා ගනිමින් නිපදවන නිසා ප්ලාස්ටික් ලාබදායී ය. එසේවීමට පොසිල ඉන්ධන කර්මාන්තයට ලැබෙන සහන බලපා ඇති බව ඔහු පවසයි. ධනවත් හා සංවර්ධිත රටවල් භාවිත කරන ප්ලාස්ටික් කසළ ලෙස ගොඩගැසෙන්නේ සංවර්ධනය වෙමින් පවත්නා හෝ දිළිඳු රටවලය. 2017 වසරේදී යුරෝපය ප්ලාස්ටික් කසළවලින් 1/6 න් අපනයන කළේ ආසියාවටය. එක්සත් රාජධානිය වාර්ෂිකව ප්ලාස්ටික් කසළ ටොන් 650,000ක් අපනයනය කරයි.

සාගරය හා ජල මූලාශ්‍ර අපවිත්‍රවීමට අමතරව කසළ දහනය නිසා වායු දූෂණය වීමද බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන පරිදි, සෑම වසරකම මෙලොව එළිය දැකීමටත් පෙර මිලිනවන මිලියන 3.7 ක් එසේ සමුගන්නේ වායු දූෂණය හේතුවෙනි. කසළ හා අපද්‍රව්‍ය නිදහසේ දහනය කිරීම ඉන් 1/5 කට හේතුව බව ගණන් බලා තිබේ. මෙම දහන ක්‍රියාවලියේ දී සෞඛ්‍යට ඉතා අහිතිකර කාබන්, රසදිය වැනි දෑ පරිසරයට නිදහස් වේ. ඒවා පිළිකා, ශ්වසන ආබාධ, අක්ෂි ආබාධ, චර්ම රෝග ආදිය ඉහළ දමා ඇත.

බේසල් සම්මුතිය

ගෝලීය කසළ වෙළෙඳාම සම්බන්ධයෙන් ඍජුවම අදාළ වන ‘එක්සත් ජාතීන්ගේ බේසල් සම්මුතිය’ පවා මේ වනවිට බරපතළ ලෙස උල්ලංඝනය වෙමින් පවතී. 1989 දී හඳුන්වාදුන් මේ සම්මුතිය යටතේ සායනික අපද්‍රව්‍ය, විකිරණශීලී ද්‍රව්‍ය, මිනිස් සිරුරු කොටස් වැනි අපද්‍රව්‍ය රටකින් රටකට අපනයනය තහනම් ය. එහෙත්, ඒවා අපනයනය කරමින් ඇති බව සනාථ වී තිබේ. 1992 සිට සම්මුතිය බලාත්මක කෙරිණි. ඊට රටවල් 53 ක් අත්සන් තබා ඇති අතර රටවල් 187 ක් ම එහි පාර්ශ්වකරුවන් ය. අත්සන් තබා ඇති රටවල් එම රෙගුලාසි වලින් බැඳී සිටින නමුත්, ඒවා උල්ලංඝනය කරයි. ශ්‍රී ලංකාවද ආරම්භයේ සිටම එහි පාර්ශ්වකරුවෙකි.

විෂ සහිත හා සෞඛ්‍යට අහිතකර කසළ නිසා මානව සෞඛ්‍යට මෙන්ම පරිසරයට විය හැකි හානි වළක්වා ගැනීම බේසල් සම්මුතිය හඳුන්වාදීමේ අරමුණය. සම්මුතිය යටතේ කසළ අපද්‍රව්‍ය බාරගන්නා රාජ්‍යට ඒවා නැව්ගත කිරීමට පෙරම එම අඩංගු දෑ ගැන දැනගැනීමට අවස්ථාව තිබේ. කසළ හිරිහැරයක්, තර්ජනයක් මෙන්ම අභියෝගයක් ද වී තිබියදී ගෘහස්ථ වශයෙන් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම ගැන අවධානය යොමු වී තිබේ. වරක් භාවිත කරන ඉවත දමන ප්ලාස්ටික් නිෂ්පාදනය අවම කිරීම ගැනද එලෙසම අවධානය යොමු වී ඇත. ඉන්දියාවේ මුම්බායි හි එවැනි ප්ලාස්ටික් භාවිතයට තහංචි පනවා තිබේ. යුරෝපා සංගමයද ඊට නව නීති හඳුන්වා දුන්නේ ය. එහෙත් අවාසනාවන්ත තත්ත්වය නම් මෙම නීති - රීති හා සම්මුතීන් උල්ලංඝනය වෙමින් තිබීමය. ඊට වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ මනුෂ්‍ය සංහතියට පමණක් නොවේ. සෙසු ශාක හා සත්ත්ව ජීවිතවලටද එය බලපානවා ඇත.

නව අදහස දක්වන්න