රාජපක්ෂ ආණ්ඩුව වසර පහක දී සංවර්ධනයට යෙදවූ මුදල් මේ ආණ්ඩුව වසරකදී යොදවා තිබෙනවා | දිනමිණ

රාජපක්ෂ ආණ්ඩුව වසර පහක දී සංවර්ධනයට යෙදවූ මුදල් මේ ආණ්ඩුව වසරකදී යොදවා තිබෙනවා

ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී අගමැති කියයි

පසුගිය ආණ්ඩුව වසර පහක් තුළ සංවර්ධනය සඳහා යෙදවූ මුදල් ප්‍රමාණය වත්මන් ආණ්ඩුවට වසරක් තුළ දී යෙදවීමට හැකි වූ බවත් ඉදිරියේ දී සුළුතර බලයක් ඇති වත්මන් ආණ්ඩුවට බහුතර බලයක් ලබා දුන්නහොත් වසර දෙකක් තුළ සීඝ්‍ර සංවර්ධනයක් ඇති කර ආර්ථිකය ස්ථාවර කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩසටහනේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන සඳහා එක්වෙමිනි.

අනතුරුව වලව කලාපයේ මහවැලි අධිකාරියේ ජාතික සේවක සංගම් කර්යාලය විවෘත කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

එහිදී ඉඩම් හිමිකම්පත් 2540ක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසිය.

එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බහුතර බලයක් තිබියදී නොකළ සංවර්ධනය යළි ඔවුන් බලයට පත්වී ක්‍රියාත්මක කරන්නේ නැහැ.එදා රාජපක්ෂ ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ සංවර්ධනය වත්මත් ආණ්ඩුව සුළුතර බලයක් තිබිය දී ක්‍රියාත්මක කරනවා.

අපි මේ ආණ්ඩුව භාර ගත්තේ කවුරුත් නොහිතපු අවස්ථාවක. ආණ්ඩුව ඉදිරියට ගෙනයයි කියා කිසිවකු බලාපොරොත්තු වුණේ නෑ. ඒක ඇත්ත අපි භාර ගත්තේ සුළුතරයක් ඇති ආණ්ඩුවක්. අපි 2015 යහපාලනය ආණ්ඩුව ඇති කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ. සුළුතර ආණ්ඩු මේ රටේ වැඩිකාලයක් තිබුණේ නෑ. එක් ආණ්ඩුවක් මාස තුනක් තිබුණා .ඒ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩුවයි. අනතුරුව අපි ආණ්ඩුවෙන් ඉවත් වෙලා දැන් සුළුතර ආණ්ඩුවක් හදල අපි ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් තිබෙනවා.

1952 ඩඩ්ලි සේනානායක මහතාට තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් තිබුණා. එස් .ඩබ්ලිව්. ආර්. බණ්ඩාරනායක මහතාට තුනෙන් දෙකක ආණ්ඩුවක් තිබුණා. 1960දී බණ්ඩාරනායක මැතිණියට බහුතරයක් තිබුණා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට බහුතරයක් තිබුණා නමුත් එතුමියට ආණ්ඩුව ගෙන යන්න බැරි වුණා. මේ පාලකයන් සියළු දෙනාටම විශාල අභියෝග ලැබුණා.

නමුත් මම තීරණය කළා අපි මේ ආණ්ඩුව සම්පූර්ණ කාලයට ගෙන ගිහින් ජනාධිපතිවරණයක් පවත්වනවා කියා. අපි කොහොම හරි අභියෝග ගණනාවකට මුහුණ දුන්නා. නියගයට, ගං වතුරට ප්‍රාදේශීය සභා ජන්දය පරාජයට පත්වීමට මුහුණ දුන්නා. ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණයට මුහුණ දුන්නා. ඒ වගේම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට මුහුණ දුන්නා. විපක්ෂයේ අය හිතුවේ අපි වැටෙයි අපි නැතිවෙයි කියලයි. බහුතර බලයක් තිබෙන ආණ්ඩුවකට වඩා ස්ථාවර භාවයෙන් අපි මේ ආණ්ඩුව අද ගෙනයනවා. අපි නිකන් බලේ ඉන්න නොවෙයි බලාපොරොත්තු වුණේ. තුනෙන් දෙකක බලයක් ඇති අණ්ඩුවක් නොකරපු දේවල් අපි කළා. උදාහරණයක් ලෙස කිව්වොත් අපේ රටේ බහුතරයක් ජනතාවට ඉඩම් ඔප්පු තිබුණේ නෑ.

1930 සිට මහවැලිය ඉවර කර 1995 වෙන තුරු ජනතාවට ඉඩම් දුන්නා. ඒවායේ ජීවත් වූ ජනතාව වගා කළා කඩසාප්පු හැදුවා. එහෙත් මේ කාටවත් එහි බුක්තිය විදින අයිතිය තිබෙන ලියවිල්ලක් තිබුණේ නෑ. 2002 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ අපි ඒ අයිතිවාසිකම එවකට ඉඩම් ඇමැති රාජිත සේනාරත්න ඇමැතිතුමාගේ කාලයේ ලබා දෙන්න හදද්දී ජන්දයෙන් පරාජය වූ නිසා එම අයිතිය ජනතාවට ලබා දෙන්න නොහැකි වුණා. ඊට පසුව බලයට පත් ආණ්ඩු කිව්වේ යුද්ධය අවසන් වුණාට පස්සේ ලබා දෙන්නම් කියා.

ඒ කියපු අයට 2010 තිබුණා තුනෙන් දෙකක ආණ්ඩුවක් ඒත් දුන්නේ නෑ. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත්වී 2018 ගයන්ත කරුණාතිලක ඇමැතිතුමා ඉඩම් ඇමැති වූ විට එතුමා ලබා දුන්නා සැමට ඉඩමේ අයිතිය. අද ඔබට ඔබේ බුක්තිය තහවුරු කරන නීත්‍යානුකූල ලියවිල්ල ලැබී තිබෙනවා. අද මේ රටේ දුප්පත් ජනතාවෙන් බහුතරයකට ඉඩමේ අයිතිය ලබා දී තිබෙනවා. මේ රටේ ධනපති පන්තියට පමණක් තිබූ ඉඩමේ අයිතිය මේ රටේ අහිංසක ගොවි ජනතාවටත් ලබාදීමට හැකි වුණා.මා හට මේ ජනතාවගෙන් අහන්න තිබෙන්නේ එක දෙයයි. අද මේ රටේ බහුතරයක් නැති ආණ්ඩුවට ඉඩමේ අයිතිය ලබා දෙන්නට හැකි වුණා නම් මේ රටේ 2010 සිට තුනෙන් දෙකක බලය තිබූ පසුගිය ආණ්ඩුවට කරන්න බැරි වුණේ ඇයි .

දැන් ආපසු ඒ ආණ්ඩුව බලය ඉල්ලන්නේ ඉඩම් ඔප්පු ලබා දෙන්නද. එදා ඒ අයට කරන්න බැරි වුණා නම් ඒ අය අදත් අදක්ෂයෝයි. නමුත් වත්මන් ආණ්ඩුව අහිංසක ජනතාවගේ ඉඩමේ අයිතිය ලබාදීමට හැකි වුණා. එදා අපි මේ රට භාරගද්දි අපිට ණය ගන්න බැරි වුණා. බොහෝ ණය අරගෙන ණය ගෙවන්න බැරි වුණ ආණ්ඩුවක් අපි 2015 භාර ගත්තේ. අපි ඒ ණය වාරික ගෙවලා ආර්ථිකය ශක්තිමත් කළා. දැන් අපිට ණය ගන්න පුළුවන් තැනට පත්වෙලා තිබෙනවා. දැන් ඊළගට අපිට තිබෙන්නේ අපේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපි ඒ ණය ගෙවන්නත් අලුත් සංවර්ධනයක් ආරම්භ කළා. සුළුතරයක් තිබෙන අපිට මේ සියල්ල කරන්න හැකි වුණා නම් ඇයි බහුතරයක් තිබුණ විපක්ෂයයට එදා කරන්න නොහැකි වුණේ ඇයි. ආපසු ඒ අයට මේක කරන්න පුළුවන්ද.

එදා අධ්‍යාපනයට යෙද වූ මුදල 2005 සිට අඩු වුණා. ඒ අය කිව්වා යුද්ධයෙන් පස්සේ වැඩි කරනවා කියා. නමුත් යුද්ධයෙන් පස්සේ වැඩි කෙළේ නෑ. අද අපි ඇවිත් ළගම පාසල හොදම පාසල යටතේ ගොඩනැගිලි දෙනවා සුරක්ෂා යටතේ ශිෂ්‍යන්ට රක්ෂණය ලබාදෙනවා. පුහුණු ගුරුවරුන් ලබාදෙනවා. මම අහන්නේ 2005 සිට 2010 වනතුරු අණ්ඩු කළ අයට ආපසු මේවා කරන්න පුළුවන්ද කියා. ඒ අයට ඕනෑ තරම් කාලය තිබුණා උසස් පෙළ සිසුන්ට ටැබ් දෙන්න. ඒ අය එම සංවර්ධනයක් ලබා දුන්නේ නෑ. පාසලකට පරිඝනක 10ක් වගේ ලබා දුන්නේ. 2019 සුළුතර ආණ්ඩුව තමයි උසස් පෙළ සිසුන්ට ටැබ් යන්ත්‍ර ලබා දුන්නේ. ඒවා ගුරුවරුන්ටත් ලබා දුන්නා. මෙවැනි සංවර්ධනයක් වසර 10ක සිට ලබා දෙන්න බැරි වූ අයට ආපසු මේවා ලබා දෙන්න පුළුවන්ද.බෙහෙත් වර්ග අඩු කළා. ස්ටෙන්ස් නොමිලේ දෙනවා. රෝහල්වලට අලුත් උපකරණ ලබ දෙනවා. ඉතින් මේවා 2005 සිට් 2015 වන තෙක් කරන්න නොහැකි වුණා නම් ආපසු කරන්නේ කොහොමද.

එදා හදපු නිවාස ගණන සීමා සහිතයි. මේ සුළුතරයක් තිබෙන ආණ්ඩුව කොපමණ නිවාස හදා තිබෙනවාද. දැනට අමාත්‍යාංශ හතරකින් නිවාස හදනවා. නිවාස අමාත්‍යාංශය මඟින් උදාගම්මාන හදාගෙන යනවා. කදුරට අමාත්‍යාංශය මඟින් වතුකරයේ නිවාස හදාගෙන යනවා. චම්පික රණවක අැමැතිතුමාගේ අමාත්‍යාංශය මඟින් නගරයේ අඩු ආදායම් ලාභීන්ට නිවාස හැදෙනවා. මාගේ අමාත්‍යාංශය යටතේ උතුරු, නැඟෙනහිරට නිවාස ලබා දෙනවා. පසුගිය ආණ්ඩුව වසර 10ක හදපු නිවාස ගණන අපි වසරක් තුළදී නිමකර තිබෙනවා. මා ඔබෙන් අහන්න කැමතියි අවුරුදු දහයක් නිවාස හදන්න බැරි වූ අයට ආපසු අපි වාගේ නිවාස සෑදීමේ ව්‍යාපෘතීන් කරන්න පුළුවන් වෙයිද කියා.

විපක්ෂයේ අය කියනවා ඒගොල්ලෝ කොළඹ නගරය හැදුවා කියා. 2010 සිට 2015 වනතුරු ඒ අය සංවර්ධනයට වියදම් කළ මුදල අපි එක් වසරකදි පමණක් වියදම් කරනවා. ගෝල්ෆේස් ළග හෝටල් නොවෙයි අද කුලුණු මතින් ඉදිවන සැහැල්ලු දුම්රියක් සහ මාර්ග පද්දතියක් ඉදි වෙනවා. කොළඹ නගරයේ බහු ප්‍රවාහන් මධස්ථානයක් ඉදි වෙනවා. අලුත් මහ නගරයක් හදනවා. මේවා එදා බහුතර බලය තිබෙද්දී හදන්න බැරි වුණ අයට ආපසු හදන්න පුළුවන් වෙයිද. මම ඔබෙන් අහන්න කැමතියි පසුගිය කාලයේ අසාර්ථක වූ ආණ්ඩුවකට නැවත සාර්ථක වෙන්නේ කොහොමද කියා. සාමාන්‍යයෙන් දෙපාරක් ෆේල් වූ ආණ්ඩුවක් කොහොමද ආපසු වරක් පාස් වෙන්නේ. පළමුවැනි පාරත් දෙවැනි පාරත් සංවර්ධනය ෆේල් වුණා. අපේ ආණ්ඩුවෙන් කළ වැඩ කොටසක් විතරයි මා සඳහන් කෙළේ.

ඔබ සිතා බලන්න සුළුතර ආණ්ඩුව මෙවැනි වැඩකටයුතු කළාත් එදා බහුතරය තිබූ ආණ්ඩුවට වැඩකරන්න බැරි වුණා. එදා බහුතරයක් තිබූ ආණ්ඩුවට ජී.එස්.පී. නැති වුණා. ලෝකය ඉදිරියේ කොන් වුණා. කොයි නමින්, කොයි විදියට ආවත් අසාර්ථක කට්ටියක් ජන්දය ඉල්ලන්නේ.

මා ඔබට කියන්නේ මේ සුළුතර ආණ්ඩුවට බහුතරයක් ලබාදී ඉදිරි මැතිවරණයේ දී අපට බලය දී අලුතින් සිතා වැඩකටයුතු කිරීමට අපට බලය දෙනවාද කියා ඔබෙන් මා අසනවා. සුළුතරයක් තියාගෙන මෙපමණ වැඩකටයුතු කරන්න පුළුවන් වුණා නම් බහුතරයක් තියාගෙන මොනවාද කරන්න බැරි. වසර දෙකකින් වැඩ කටයුතු සියල්ල නිමකර විශාල සංවර්ධනයක් කර දෙන්න පුළුවන් අපිට.

ඉඩමේ අයිතිය නැති ජනතාවට ඉඩමේ අයිතිය ලබා දීමට හැකිවීම පිළිබඳව මා ගයන්ත කරුණාතිලක මහතාට ස්තුතිවන්න වෙනවා. එතුමාගේ උනන්දුව නිසා තමයි අපිට මෙම වැඩකටයුතු සියල්ල කරන්න හැකි වුණේ. අපේ ඊළඟ වැඩසටහන ඉඩමේ අයිතිය ජනතාවට ලබාදී එයට සින්නක්කර අයිතිය ලබාදීමයි. ඒ වෙනුවෙන් මහන්සි වන ඉඩම් අමාත්‍යාංශයේ සියළු දෙනාට අපි ස්තූතිවන්න වෙනවා.

ඇමැති ගයන්ත කරුණාතිලක මහතා-

රත්නපුර දිස්ත්‍රික්කයේ 2500කට ඉඩමේ අයිතිය ලබාදීමට හැකිවීම පිළිබඳව මා සතුටු වෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කය රටේ වැදගත් ප්‍රදේශයක්. සමනල කන්දේ සිට ගලා එන ගංගාවන් රට සරුසාර කරනවා. සිරිපාදය සමන් දේවාලය වැනි ආගමික ස්ථාන බොහෝමයක් මෙම දිස්ත්‍රික්කයේ තිබෙනවා. ලෝක උරුම සිංහරාජය, උඩවලව වැනි සුන්දර පාරාදීසියන් මෙම ප්‍රදේශයේ තිබෙනවා.

ඉඩමේ අයිතිය පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හොඳින් දන්නා නිසයි එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ ඉඩමේ අයිතියක් නැති ජනතාවට ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදෙන බවට කළ පොරොන්දුව අද ඉටු වී තිබෙනවා. අපි මෙම ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේ දී විශාල බධක ප්‍රමාණයක් ජයගෙන ඉදිරියට ගියා. අපේ අරමුණ වුණේ කෝටිපතියන්ට තිබෙන වරප්‍රසාද ගොවි ජනතවටත් සාමාන්‍ය ජනතාවටත් ලබාදීමයි.

රජයේ ඉඩම් වල ඉන්න ජනතවට ඉඩමේ සින්නක්කර අයිතිය ලබාදීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී ඇතැම් කණ්ඩායම් ඒ සදහා නඩු දැම්මා. අපි හැකි ඉක්මනින් ඉඩමේ සින්නක්කර අයිතිය ජනතාවට ලබා දෙනවා.

අැමැති තලතා අතුකෝරල මහත්මිය-

ඉඩම් ඇමැතිතුමා සෑම විටම රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කැපවී වැඩකරන බව අපි දන්නවා. ජනතාවට ඉඩම් ලබාදීම එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ සිට කටයුතු කර තිබෙනවා.

ඩී.එස්.සේනානායක මහතාගේ පාලන කාලයේ සිට අද දක්වා විශාල ඉඩම් ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂය මඟින් ලබාදී තිබෙනවා. එදා ගල් ඔය ව්‍යාපාරය මඟින් ගොවි ජනපද හදලා ජනතාවට ඉඩම් ලබා දුන්නා. අද ඒ ජනතාවට වසර ගණනාවකට පසු ඉඩමේ සින්නක්කර අයිතිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් කින්ම ලැබෙනවා.

පාසලකට දරුවකු ඇතුළත් කිරීමට, ණයක් ලබාගැනීමට මෙම ඔප්පුව ඉතා වැදගත්. ඒ හිමිකම නැතිව මෙ පමණ කලක් කණස්සල්ලෙන් සිටි ඔබට ඉඩමේ හිමිකම ලැබීම වාසනාවක්.

මෙම අවස්ථාව සඳහා මැති ඇමැතිවරුන් වන ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, හේශාල් විතානගේ, කරූ පරණවිතාන, ඒ.ඒ. විජේතුංග සහ රාජ්‍ය අංශයේ නිලධාරීන් රැසක් සහභාගී වුහ.

අසේල ලියනගේ සහ උඩවලව සමුහ
ජායාරූප - හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න