සබරගමුව මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය- භික්ෂු වාට්ටුව ජනපති අතින් ‍රෝගී සත්කාරයට | දිනමිණ

සබරගමුව මූලික රෝහලේ වාට්ටු සංකීර්ණය- භික්ෂු වාට්ටුව ජනපති අතින් ‍රෝගී සත්කාරයට

මහජනතාව වෙත වඩා උසස් සෞඛ්‍ය සේවාවක් සැපයීම අරමුණින් සබරගමුව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණය, භික්ෂු වාට්ටු සංකීර්ණය සහ විකිරණ ඒකකය පෙරේදා (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

වාට්ට් සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය. භික්ෂු වාට්ටුවට ගිලන් භික්ෂුන් වහන්සේ නමක් ඇතුළත් කිරීම ද ජනාධිපතිවරයාඅතින් සිදු කෙරිණි.

ඉන් අනතුරුව අභිනව එක්ස් කිරණ ඒකකය ජනතා අයිතියට පත් කර එහි නිරීක්ෂණයකද ජනාධිපතිවරයා නිරත විය.

ඇහැලියගොඩ මූලික රෝහලේ සබරගමුව පළාත් සභාව රුපියල් ලක්ෂ 1200ක් වැය කර ඉදි කළ ඇඳන් 120කින් සමන්විත වාට්ටු සංකීර්ණය, ෂෙල්ටන් ප්‍රේමතිලක සහ ජයලාල් ප්‍රේමසිංහ යන මහත්වරු විසින් රුපියල් ලක්ෂ 65ක ධන පරිත්‍යාගයෙන් ඉදිකළ භික්ෂු වාට්ටුව, ටී. අබේපාල මහතා රුපියල් ලක්ෂ 400ක ධන පරිත්‍යාගයෙන් ඉදිකළ එක්ස් කිරණ ඒකකය සහ කොරිඩෝව මෙහිදී ජනාධිපතිවරයා අතින් මෙලෙස ජනතා අයිතියට පත් කෙරිණි.

සබරගමුව මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී ශාන්ත අබේවික්‍රම මහතා වෙතද සමරු තිළිණයක් ජනාධිපතිවරයා අතින් පිරි නමන ලදී.

රෝහලේ ඉදිකිරීම් සඳහා ධන පරිත්‍යාග කළ දානපතියන් වෙත උපහාර තිළිණ පිරිනැමීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදුවිණි.

මහා සංඝරත්නය, සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද, සබරගමුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී එච්.එම්.එන්.පුෂ්පකුමාරී, පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් සභාපතිනියන්, පළාත් සභාවේ මන්ත්‍රීවරුන්,හිටපු මැති ඇමැතිවරුන්, මූලික රෝහලේ කාර්ය මණ්ඩලය, ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය - සුදත් මලවීර

රක්ෂණ ශ්‍රියන්ත සහ ඇහැලියගොඩ සමූහ

නව අදහස දක්වන්න