මරණ දඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට | දිනමිණ

මරණ දඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ස්වර්ණා විජේකෝන්
මහින්ද අලුත්ගෙදර
සන්ධ්‍යා කරුණාරත්න

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ (01) ඉදිරිපත් කළේය.අදාළ පනත් කෙටුම්පත නුවරඑළිය දිස්ත්‍රීක් මන්ත්‍රී එම් තිලකරාජා මහතා විසින් ස්ථිර කළේය.

මරණ දණ්ඩනය අහෝසි කිරීම හා අනුෂාංගික විධිවිධාන සැලැස්වීම පිණිස ඉදිරිපත් කර ඇති මෙම පනත් කෙටුම්පත 2019 වසරේ ජූලි 12 වන දින ගැසට් පත්‍රයේ පළකර ඇත.

කිසියම් පනතක මරණ දණ්ඩනය නියම කිරීම හෝ මරණ දඬුවමින් දඬුවම් කිරීම සම්බන්ධයෙන් කර ඇති සඳහනක් , මෙම පනත ක්‍රියාත්මක වීම සමඟ සහ ඉන් පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවමින් දඬුවම් කිරීම යන ලෙස සංශෝධනය වූ‍යේ යැයි සැලකිය යුතු බවට මීට අදා‍ළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මෙම පනත ක්‍රියාත්මක කිරීමට පෙර යම් පුද්ගලයකුට මරණ දණ්ඩනය නියම කර තිබේ නම් එම පුද්ගලයා එම වරද සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමට නියම වූ පුද්ගලයකු ලෙස සැලකිය යුතු බවටද ගැසට් නිවේදනයේ දක්වා ඇත.

මෙම පනත ක්‍රියාත්මක වීමට ‍පෙර යම් පුද්ගලයකු මරණයෙන් දඬුවම් කළ හැකි වරදක් සිදුකර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයකින් දඬුවමක් නියම කර නොමැතිනම් එම පුද්ගලයා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදක් කර ඇති පුද්ලගයකු ලෙස සැලකිය යුතු බවද පනත් කෙටුම්පතේ සඳහන් වේ.

නව අදහස දක්වන්න