අධ්‍යාපනයේ සංවර්ධනයට විද්වතුන්ගේ යෝජනා ඉතා වැදගත් | දිනමිණ

අධ්‍යාපනයේ සංවර්ධනයට විද්වතුන්ගේ යෝජනා ඉතා වැදගත්

සිතාරා සේනානි

රටේ අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් විද්වතුන් ඉදිරිපත් කරන යෝජනා බෙහෙවින් වැදගත් බැවින් එම යෝජනා තමන් වෙත හැකි ඉක්මනින් ලබා දෙන ලෙස සියලු විද්වතුන්ට ඇරයුම් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විසින් සම්භාව්‍ය කෘති සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතිය යටතේ සංස්කරණය කෙරුණු 'බුත්සරණ' ග්‍රන්ථය ජනගත කිරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගිය දා (30) පැවති උත්සවයේදී ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය සමඟ එක්ව 'බුත්සරණ' ග්‍රන්ථය සංස්කරණය කර තිබේ. මෙරට සම්භාව්‍ය සාහිත්‍යයට අයත් 'බුත්සරණ' කෘතිය විද්‍යාචක්‍රවර්තීන් විසින් 12 වැනි සියවසේ රචනා කරන ලද බව සැලකේ.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

අනාගත පරපුර අධ්‍යාපනයෙන් හැඩගැස්වීම වෙනුවෙන් අලුතින් සිතන සහ වෙනස් ව සිතන බොහෝ දෙනකු සිටිනවා. මේ කටයුත්ත පැරැණි වටිනා ග්‍රන්ථ අනාගතයට දායාද කිරීමක් ලෙසයි අපි දකින්නේ. මහා වංශය ඇතුළු තවත් ග්‍රන්ථ ගණනාවක් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය මුල්වී සංස්කරණය කර තිබෙනවා. මේ කටයුතු මෙතැනින් නතර නොවිය යුතු බවයි. තවත් කොතෙකුත් මෙවැනි කෘති තිබෙන්න පුළුවන්. එවැනි සිංහල කෘති දෙමළ භාෂාවටත්, දෙමළ කෘති සිංහල භාෂාවටත් පරිවර්තනය කරමු කියා මම අපේ පුස්තකාල මණ්ඩලේ සභාපතිවරයාට පැවසුවා. සාහිත්‍ය ග්‍රන්ථ පරිවර්තනය කරනවා නම් ඒ කවර ග්‍රන්ථ ද, ඒවා කොපමණ ගණනක් තිබෙනවා ද, මුල්‍යමය වශයෙන් කොපමණ වැය වෙනවාද ආදී වශයෙන් තොරතුරු මට ඉක්මනින් ලබා දෙන්න. මුද්‍රණ සංස්ථාව අපේ යටතේ තිබෙන නිසා මුද්‍රණ පිරිවැය පමණක් දරා අපට ඒ කටයුත්ත කරගන්න හැකි වේවි. තවත් මෙවැනි ‍කළ යුතු දේ කියන්න. ඉක්මනින් අපට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.

පාසල් විෂය මාලාවට නීතිය ඇතුළත් කිරීමට මේ වන විට අදාළ පියවර ගෙන තිබෙනවා. රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිදු කරන ආයෝජනයක් ලෙස සලකා වැය වන වියදම ගැන නොසිතා කළ යුතු වෙනස්කම් අධ්‍යාපන පද්ධතියේ සිදු කරන්නට අප නොපැකිල කටයුතු කරනවා. පොතපතට දරුවන් වැඩි වැඩියෙන් ඇබ්බැහි කරවා කියවීම දිරිගැන්වීමට 'කළණ මිතුරු-පොත් සුමිතුරු' නමින් කියවීම් ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඒ යටතේ පාසල් පුස්තකාලවලට පොත් මිල දී ගැනීමට රුපියල් මිලියන 700ක් ‍ලබා දුන්නා. වැඩියෙන් ම පොත් කියවන දරුවන් 1000ක් මේ වසරේ දී ඇගයීමට ලක් කරනවා. ඒ අතරින් විශිෂ්ටයන් 100ක් තෝරා ඔවුන්ට චීනයේ අධ්‍යයන සංචාරයකට අවස්ථාව සලසාදීමට කටයුතු යොදනවා. ඒ සඳහා මේ වන විට කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. ඒ වගේම පාසල් විෂය මාලා සම්පාදනයේ දී කළ යුතු වෙනස්කම්වල දී හැකි තරම් රටේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් එයට සම්බන්ධ කර ගන්නා ලෙස මා විශේෂයෙන් ම ජාතික අධ්‍යාපන ආයතනයෙන් ඉල්ලා සිටිනවා.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න, එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහත්වරු ද, සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන මහත්මිය, සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ ධර්මදාස, සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක, විශාරද ජගත් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු විද්වත්හු රැසක් ද මේ අවස්ථාවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න