සෑම දරුවෙකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නවා | දිනමිණ

සෑම දරුවෙකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට පියවර ගන්නවා

ඉදිරියේ දී ජනතාව ගන්නා තීන්දුව අනුව මුදල් ගෙවා ක්‍රියාත්මක කරන පෙර පාසල් අධ්‍යාපනය වෙනුවට රටේ සෑම දරු දැරියකුටම නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට තමන් කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාමයේ ඉදි කළ 'කුමාරිසිතුපහන්ගම' උදා ගම්මානය පසුගිය 28 වැනි දා ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

මෙරට පෙර පාසල් අධ්‍යාපන ක්‍රමය අවිධිමත්. එය විධිමත් කරමින් පෙර පාසල් දරුවන්ට මුදල් නොගෙවා නිදහස් නිවහල් අධ්‍යාපන ක්‍රමයක නියැළීමටත්, ඔවුන්ට දිවා ආහාර වේලක් ලබාදීමටත්, සියලු පහසුකම්වලින් සමන්විත පෙර පාසල් ඉදිකිරීමටත්, පෙර පාසල් ගුරුවරුන්ට වැටුප් ලබාදීමටත් මා කටයුතු කරනවා.

මේ වැඩපිළිවෙළ ද ඇතැමුන් විවේචනයට ලක් කරයි. රටේ සොරාකෑම වැඩි වී තිබෙනවා. එය සිදු කරන්නේ බලය හිමි ඇත්තන්. මා සොරා කනවාද, ගසා කනවාද කියා ආපසු හැරී හොඳින් සොයා බලන්නැයි මා විවේචනය කරන කුහකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

'සැමට සෙවණ' යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 227 වන ආදර්ශ ගම්මානය මෙයයි. 'කුමාරිසිතුපහන්ගම' උදා ගම්මානය නිවාස 20කින් සමන්විතයි. එය අංග සම්පූර්ණව ඉදි කිරීමට වැය කළ මුදල රුපියල් ලක්ෂ 216ක්. පිරිසුදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග සහ විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මේ උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත් කිරීමට සමගාමීව නිවාසලාභීන් 20කට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය සහ රුපියල් ලක්ෂ 60ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20ක හිමිකම් නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 60කට රුපියල් ලක්ෂ 120ක් වටිනා 'විසිරි නිවාස ණය', පවුල් 25කට රුපියල් ලක්ෂ 97ක් වටිනා ග්‍රාම ශක්ති නිවාස ආධාර, 'ශිල්ප සවිය' වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන් 50 දෙනකුට රුපියල් ලක්ෂ 25ක් වටිනා ප්‍රතිලාභ, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයන් 72 දෙනකුට නොමිලේ ඇස් කණ්ණාඩි, විරු සුමිතුරු ණය, ස්වයංරැකියා ණය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීම, සංචාරක පොඩ්ඩා ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන් 24 දෙනකුට රුපියල් ලක්ෂ 120ක් වටිනා බදු රහිත ණය ප්‍රදානය, සංචාරක ජීප් රථ රියැදුරන් 30 දෙනකුට මේ වසරේ අප්‍රේල් මස සිට 2020 අප්‍රේල් මස දක්වා වසරක කල්බදු සහන ලබාදීම සහ පාසල් දරුවන් 12කට රුපියල් 48,000ක් වටිනා පාසල් උපකරණ ලබාදීම ද ඇමැතිවරයා අතින් මෙහි දී සිදු කෙරුණි. මීට අමතරව වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක් ද පැවැත්විණි.

නව අදහස දක්වන්න