නාමල්ඔය ජලාශයෙන් වී වගා කරන ගොවීන්ට වතුර නෑ | දිනමිණ

නාමල්ඔය ජලාශයෙන් වී වගා කරන ගොවීන්ට වතුර නෑ

ඉඟිනියාගල සේනානායක සමුද්‍රයට ඉහළින් නැඟෙනහිරින් පිහිටා තිබෙන නාමල්ඔය ජලාශයේ වී වගාවට අවශ‍්‍ය තරම් ජලය නොමැති හෙයින් විකල්ප ජල ප්‍රවාහයක් ලබා දෙන ලෙස නාමල්ඔය ජලාශයෙන් වී වගා කරන ගොවීහු ඉල්ලා සිටිති.

නාමල්ඔය ජලාශයට විකල්ප ජල ධාරාවක් ලබාගැනීමට 2007 දී ආරම්භ කළ කොල්ලැල්ලාඔය නාමල්ඔය ජලාශයට හැරවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීමට නාමල්ඔය ව්‍යාපාරය සුරැකීමේ සංවිධානය පසුගිය 29 වැනි දා නාමල්ඔය ජලාශය ඉස්මත්තේ දී රැස්වීමක් පැවැත්විය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල්ඔය ව්‍යාපාරය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ජස්ටින් කරුණානායක මහතා මෙසේ පැවැසීය.

1963 දී ගල්ඔය සංවර්ධන මණ්ඩලයෙන් ඉදි කර නිම කළ නාමල්ඔය ජලාශයෙන් කුඹුරු අක්කර 4500කට ජලය සපයාදීමට සැලසුම් කර තිබුණා. නමුත් වසර කිහිපයක දී ජනපද කිහිපයක් වසා දැමීමට සිදු වුයේ ජලාශයට අවශ්‍ය තරම් ජලය නොමැති නිසයි. ඒවායේ පදිංචි කර වූ ගොවි පවුල්වලට වෙනත් ප්‍රදේශවලින් විකල්ප ඉඩම් ලබා දී එම ගොවි ජනපද වසා දැම්මා. ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 42,750ක්.

නාමල්ඔය ජලාශයට විකල්ප ජල දහරාවක් රැගෙන ඒමට කටයුතු කිරීමට නාමල්ඔය ව්‍යාපාරය සුරැකීමේ සංවිධානය බිහි වන්නේ මේ ජල හිඟය වළක්වාගැනීමටයි. 1963 දී නාමල්ඔය ගොවි ජනපදය ආරම්භ කිරීමත් සමඟම දිවයිනේ පළාත් කිහිපයකින් සහ මේ ප්‍රදේශයේ පැරණි ගම්වැසියන්ගේ පවුල්වලට නාමල්ඔය ගොවි ජනපදයේ ඉඩම් ලබා දුන්නා. මුල දී අක්කර 4500ක් වගා කිරීමට සැලසුම් කළා. නමුත් ජලාශයේ පවතින ජල හිඟය නිසා එය අක්කර 3700කට සීමා වුණා. වසර 56කට වැඩි කාලයක් පවතින මේ ජල හිඟයට ඉක්මනින් විසඳුම් ලබාගැනීම අපේ අරමුණයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස බිබිල මැතිවරණ කොට්ඨාසයේ සිට ගලා ගෙන එන කොල්ලැල්ලා ඔය නාමල්ඔය ජලාශයට හරවා දැනට පවතින ජල හිඟය මඟ හරවා ගැනීමට හැකි වන බව ගොවීන්ගේ යෝජනාවක්. 2007 දී මේ යෝජනාව පිළිබඳව මූලික සමීක්ෂණ ආරම්භ වූණා. ගොවීන් පිරිසක් එවකට වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා ද හමු වී මූලික සාකච්ඡා පැවැත්වූවා. නමුත් එම කටයුත්ත මෙතෙක් ඉටු කර ගැනීමට නොහැකි වුණා.

නාමල්ඔය අභිනවාරාමාධිපති ගම්පහ නාරද හිමි

හැම දෙයක්ම නිකම් ලැබෙන්නේ නෑ. ගම්වාසීන්ගේ යෝධ ශක්තියකින් නාමල්ඔය ජලාශය පුරවා ගොවිතැන සරු සාර කර අත මිට සහ නිවසේ ආදායම සරු කර ගැනීමට උනන්දුවෙන් කටයුතු කිරීමට උත්සාහ ගනිමු.

නාමල්ඔය කෘෂිකර්ම සහකාර බුද්ධික ලක්මාල් මහතා

2015න් පසුව මේ ජලාශය පිටාර මට්ටමකට ආවේ නෑ. වැස්ස අඩුවීම සහ ජලය වාෂ්ප වීම මෙයට හේතුවයි. ජලය හිඟ කාලයේ දී අපි අතිරේක බෝග වගාවන් පවා ආරම්භ කර ගොවීන්ගේ ආදායම ඉහළ දැමීමට කටයුතු කළා. මේ ජලාශයෙන් දියවර ලබා වී වගා කරන ගොවි ජනතාව අත මිට සරු කර ගැනීමට නම් ජලාශයට අතිරේක ජල ප්‍රවාහයක් ලැබිය යුතුයි. ඒ සඳහා ගම්වාසීන්ගේ උත්සාහය අත්‍යාවශ්‍යයි.

දිගාමඩුල්ල සංචාරක පියසේන වතුදුර

නව අදහස දක්වන්න