අන්තවාදයට වර්ගවාදයට ලෝක මුස්ලිම් ලීගය විරුද්ධයි | දිනමිණ

අන්තවාදයට වර්ගවාදයට ලෝක මුස්ලිම් ලීගය විරුද්ධයි

ආචාර්ය අබ්දුල් කරීම්

ලොව පුරා අන්තවාදය හා වර්ගවාදයට එරෙහිව ජාත්‍යන්තරව ලෝක මුස්ලිම් ලීගය කටයුතු කරන බව ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය මොහම්මද් බින් අබ්දුල් කරීම් අල්- ඉසා පවසයි.

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාර ත්‍රස්ත ක්‍රියාවක් බවත්, ඒ පිළිබඳ දැඩි සේ කනගාටුවට පත් වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ලෝක මුස්ලිම් ලීගයේ මහ ලේකම් ආචාර්ය මොහම්මද් බින් අබ්දුල් කරීම් අල්- ඉසා මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (01) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මෙහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කාදිනල්තුමා හමු වී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තම ශෝකය ප්‍රකාශ කළ බවයි. එසේම ප්‍රහාරයට ලක් වූ දේවස්ථාන වෙත නිරීක්ෂණ චාරිකාවක ද නිරත වීමෙන් අනතුරුව විපතට පත් වූවන් මුණගැසීමට ද කටයුතු කළ බව සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් ගේ සුබ සාධනය වෙනුවෙන් ලෝක මුස්ලිම් ලීගය විසින් රුපියල් මිලියන 900 ක් ශ්‍රී ලංකා රජය වෙත ප්‍රදානය කළ බව ද විපතට පත් වූවන් ගේ පවුල් හා විශේෂයෙන් දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් එම මුදල යෙදවීම ලීගයේ අරමුණ බව ද ඔහු අනාවරණය කළේය.

ලොව අනාගත පරම්පරාව වන වත්මන් දරු පරපුරේ පාසැල් විෂය නිර්දේශයට සමාජ වටිනාකම් (Social Value) ඇතුළත් කළ යුතු බවත් එමගින් ජාති ආගම් බේදයකින් තොරව එකිනෙකාට ආදරය කරන අනාගත පරම්පරාවක් බිහිවනු ඇති බවත් ආචාර්ය මොහම්මද් බින් අබ්දුල් කරීම් අල්- ඉසා මහතා පැවසීය.

අන්තවාදය හා වර්ගවාදයට ජාතියක් හෝ ආගමක් නැති බව ද ශ්‍රී ලංකාව යනු ආදරය, ගෞරවය හුවමාරු කර ගනිමින් සාමයෙන් හා සමගියෙන් ජීවත් විය හැකි බෞද්ධ රටක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට බස්නාහිර ආණ්ඩුකාර ඒ. ජේ. එම් මුසම්මිල් මහතා ද සහභාගී විය.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න