රාජා සමරනායක - වී.කේ.ඉන්දික - අබ්දුල් රසාක් ජනතාවගේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටියා | දිනමිණ

රාජා සමරනායක - වී.කේ.ඉන්දික - අබ්දුල් රසාක් ජනතාවගේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටියා

අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

තමන් කුමන දේශපාලන මතයක සිටිය ද රාජා සමරනායක, වී.කේ.ඉන්දික සහ අබ්දුල් රසාක් මන්සූර් මහත්වරු තමන් නියෝජනය කරන ජනතාවගේ හෙට දවස වෙනුවෙන් පෙනී සිටි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (01) ප්‍රකාශ කළේ ය.

චේත්‍රධාරී නරේන්ද්‍ර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (01) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

ලිපි ලේඛන, වාර්තා, මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේනරාජා සමරනායක, වී.කේ. ඉන්දික සහ අබ්දුල් රසාක් මන්සූර් මහත්වරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ විය.

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා - කළුතර දිස්ත්‍රික් මහජනතාව නියෝජනය කරමින් මේ සභාවට පැමිණි සේනරාජා සමරනායක මහතා කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නීතිඥයෙක් වුණා. ජනාධිපති නීතිඥයෙක් ලෙස 2017 දී දිවුරුම් දී තිබෙනවා. බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා වශයෙන් කටයුතු කළා. ජේ.ආර්.ජයවර්ධන මහතාගේ පාලන කාලයේ දී නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස සේවය කළා. බණ්ඩාරගම ජාතික පාසල සංවර්ධනයට, ගම්වල ජනතාවට විදුලිය ලබාදෙන්න කටයුතු කර තිබෙනවා.

බණ්ඩාරගම ආසනයේ ශීඝ්‍ර දියුණුවක් ඇති කරන්න කටයුතු කළා. 1980 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතන්න වාසනාව හිමිවුණා. වසර 16 කට අධික කාලයක් කළුතර ජනතාව වෙනුවෙන් සේවය කර අවුරුදු 80ක් ආයු වළඳා මියගියා. අම්පාර දිස්ත්‍රික් ජනතාව නියෝජනය කරමින් මන්සූර් මහතා කල්මුණේ දී උපත ලබා තිබෙනවා. නීති විද්‍යාලයට ඇතුළත් වී නීතිඥයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. 1966 දී දේශපාලනයට පිවිසූනහ. 1976 දී පාර්ලිමේන්තුවට පිවිසියා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රටවල් කිහිපයක සංචාරය කර තිබෙනවා.

වසර 16ක් පමණ පාර්ලිමේන්තුවේ රැඳී සිටි අතර අවුරුදු 86ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයා වශයෙන් වී.කේ.ඉන්දික මහතා මේ පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. රුසියාවෙන් උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා. තම පියාගේ වියෝවෙන් පසුව දේශපාලනයට පිවිසි ඉන්දික මහතා 1999 දී දකුණු පළාත් සභාවට තේරී පත්වුණා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ - වී.කේ. ඉන්දික මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවා. එතුමා රටට කළ සේවය අගය කරනවා. ඒ මහතාගේ පියා,මව හා සොයුරා, සොයුරියන් ඒ පළාතට කළ සේවය අගය කරනවා. ඉන්දික මහතාගේ පියා පළාත් සභාව නියෝජනය කළා. අවංක දේශපාලන නායකයෙක්. අද අවංක දේශපාලඥයන් අඩුයි. ජනතාවගේ ප්‍රශ්න ගැන සංවේදීව කටයුතු කර තිබෙනවා. ඒ පවුලම දේශපාලන පවුලක්. අපි සමග සමීපව කටයුතු කළා. තනතුරු පසුපස ගියේ නැහැ. ගොවි ජනතාව කෙරෙහි වි‍ශේෂ ඇල්මක් තිබුණා.

එතුමාගේ පවුලට අපගේ ශෝකය පළ කරනවා. ඔහු දේශපාලන දර්ශනයෙන් බැහැර වුණේ නැහැ. මන්සුර් මහතා ගැන ශෝකය පළ කරනවා නීතිඥයෙක් ලෙස කළ සේවය අගය කරනවා. ඔහු කළ සේවය අපි අගය කරනවා. රාජා සමරනායක මහතාද නිහතමානී දේශපාලන නායකයෙක්. සියලු දෙනා සමඟ එක්ව පළාතට විශාල සේවාවක් කළා.

මහනුවර දිසා මන්ත්‍රී රවුෆ් හකීම් (ශ්‍රී.මු.කො.) - රාජා සමරනායක, මන්සුර් සහ ඉන්දික මහත්වරුන්ගේ ශෝක යෝජනා අද විවාදයට ගන්නවා. ඔවුන් වෙනුවෙන් අපේ ශෝකය පළ කරනවා. මන්සූර් සහ රාජා සමරනායක මහත්වරුන් නීතිඥයින් ලෙස සේවය කර තිබෙනවා. මන්සූර් මහතා වසර 17ක් පමණ පාර්ලිමේන්තුව නියෝජනය කළා. නීතිඥ වෘත්තිය දේශපාලනයට පිවිසෙන්න අස්වැසිල්ලක් වී තිබෙනවා. මේ දෙදෙනා රටට අවංකව සේවය කරනු ලැබුවා. ජනතාව වෙනුවෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළා. අපි තරඟකාරී දේශපාලනයේ දී එකිනෙකාට විරුද්ධව කටයුතු කළත් ජනතාවට සේවය කිරීමේ දී එකට කටයුතු කරනවා.

මන්සුර් මහතා 1978 වසරේ සිට 1994 දක්වා මේ රටේ දේශපාලනය කර තිබෙනවා. එක්තරා කාලයක මන්සුර් මහතාගේ නිවෙස පවා ගිනි තබා විනාශ කළා. ඒ අවස්ථාවේ අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ කාලයේ ඉන්දු - ලංකා ගිවිසුමට අත්සන් කළා. මුස්ලිම් ජනතාවගේ දේශපාලන ශක්තිය හීන කළා. ඒ අවස්ථාවේ මුස්ලිම් ජනතාව කෝපයට පත්වුණා. එම කාලයේ කල්මුණේ පොලීසියේ නිලධාරීන් 600ක් පමණ ඝාතනයට ලක්වුණා. එය ඉතාම දුෂ්කර කාලසීමාවක්. මේ කාලයේත් මන්සුර් මහතා දේශපාලන වශයෙන් එම ප්‍රදේශයේ ජනතාවට නායකත්වය ලබා දුන්නා. එතුමා මහත්මා දේශපාලඥයෙක්. මහත්මා දේශපාලඥයන් අපිට දකින්න ලැබෙන්නේ නැහැ.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා (එ.ජ.නි.ස.) - දේශපාලන පක්ෂය බලයට පත් කරන සැමට මේ සභාවට එන්න ලැබෙන්නෙ නැහැ. වී.කේ.ඉන්දික මහතාගේ පියා වී.කේ. ධර්මසේන මහතා මට හමුවුණේ චමල් රාජපක්ෂ මහතාගේ අතුරු මැතිවරණයට වැඩ කරන්න මැදමුලනට ගිය පසුවයි. එතුමා මගේ පියා සමඟ සමීපව කටයුතු කළා. කුඩා කාලයේ සිටම වි.කේ. ඉන්දික මහතා දේශපාලන පීඩාවන්ට ලක්වුණා. ඒ ප්‍රදේශයේ ජනතාවට වී.කේ. ඉන්දික මහතා නායකත්වය දුන්නා. පළාතේ ප්‍රධාන ඇමැති වෙන්න ඒ මහතාට සිහිනයක් තිබුණා. නමුත් පසුව පාර්ලිමේන්තුවට පත්වුණා.

මුල්කිරිගල ජනතාවට එතුමා විශාල සේවයක් කළා. දේශපාලන පවුලක් නියෝජනය කළා. මහින්ද රාජපක්ෂ මහතා සමඟ අවසාන කාලය දක්වාම කටයුතු කළා. මම 1989 පාර්ලිමේන්තුවට ආවේ විපක්ෂයේ මන්ත්‍රීවරු ලෙසයි. මන්සූර් මහතා මුස්ලිම් නායකයෙක් ලෙස යුරෝපීය ඇඳුම ඇඳගෙන ආදර්ශමත් සේවයක් ඉටු කළා. සේනරාජා සමරනායක මහතා උගත් නීතිඥයෙක්. සටන්කාමී දේශපාලඥයෙක්. රාජා සමරනායක මහතාට ද මගේ ශෝකය පළ කරනවා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා (එජනිස) - වි.කේ.ඉන්දික මහතා ඉතා හොඳ දේශපාලනික, මානව හිතවාදී මිත්‍රයෙක්. දකුණු පළාත නියෝජනය කරමින් ප්‍රදේශය සංවර්ධනය කිරීමේ කටයුතුවලට අපගේ ගෞරවය පිරිනමනවා. එතුමාගේ බිරිඳට හා දරු දෙදෙනාට එතුමාගේ හදිසි අභාවය ගැන අපගේ ශෝකය ප්‍රකාශ කරනවා.

මන්සුර් මහතා නීතිඥවරයෙක් ලෙස ද සේවය කළ අවස්ථාවන් මතක් කර එතුමාගේ පවුලට අපගේ ශෝකය ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. සේනරාජා සමරනායක මහතා නීතිඥවරයෙක් ලෙස හඳුනාගැනීමට අපට හැකිවුණා. ඉතා දක්ෂ නීතිඥවරයෙක්. එතුමා ගෞරවාන්විත දේශපාලනයක නියැලුණා. අප අතරින් අභාවප්‍රාප්ත වූ මේ විද්වතුන් තිදෙනාටම මාගේ ශෝකය ප්‍රකාශ කරන අතර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා (එජනිස) - වී.කේ. ඉන්දික මන්ත්‍රීතුමා උඩින් දේශපාලනයට පැමිණි කෙනෙක් නොවේ. එතුමාගේ පියා වලවේ ගම් සභාවේ 1969 වසරේ සිට 1973 දක්වා දේශපාලනයේ නියැලුණා. සහෝදරයා වන වී.කේ. පියදාස මහතාත් දේශපාලනයේ නියැලුණා. ඔවුන් දේශපාලන පවුලක්. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ආභාසය ඇතිව ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවංකව කැප වූ පිරිසක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉන්දික මහතා අධ්‍යාපනය ලැබුවා. මමත් ඒ පාසලේ ඉගෙන ගත්තා. එතුමා ක්‍රීඩාවට දක්ෂකම් පෙන්නුවා. පාපන්දු කණ්ඩායමේත් එතුමා සිටියා. මුල්කිරිගල ආසනයේ ශ්‍රීලනිප සංවිධායකවරයා ලෙස එතුමා පත්වුණා. එතුමා විශාල වැඩ කොටසක් ඒ ප්‍රදේශයට කළා. එතුමාගේ ජීවිතයේ විරුද්ධවාදීන් සිටියේ නැති බව මතක් කළ හැකියි.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී.බී.රත්නායක මහතා (එජනිස) - ධර්මසේන රාළහාමි මහතාගේ බිරිඳ මේ සභා ගර්භයේ සිටිනවා. එතුමිය දන්නවා දේශපාලන ජීවිතයේදී ධර්මසේන මහතා නින්දා අපහාස විඳි හැටි. ඒවා එතුමිය දරාගෙන සිටියා. එතුමියගේ පුතා තමයි වී.කේ.ඉන්දික මහතා. ඒ මහතා ඉතා අවංක දේශපාලනයක් කළා. එතුමා අද රටට ගැළපෙන චරිතයක් ලෙස ජීවත් වුණා. මනුස්සකම හැමදාමත් තියාගත් මිනිසෙක් ඔහු. අරගලය කොතැනද ඉන්දික මහතා එතැන සිටියා. එතුමාගේ අභාවය අපට බලවත් පාඩුවක්. මගේ ශෝකය එතුමාගේ පවුලට දැනුම් දෙන්න. අබ්දුල් රසාක් මහතා ව්‍යාපාර ප්‍රජාව සමඟ අත්වැල් බැඳගෙන ඔවුන්ගේ ගැටලු විසඳා ගැනීමට උදව් කළා. ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට එතුමා මැදිහත් වුණා. රාජා සමරනායක මහතා ගමේ ප්‍රභූ පවුලක සාමාජිකයෙක් ලෙස දේශපාලනයට පැමිණ මහජනතාවට සේවාවක් කිරීමට කටයුතු කළා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) - ශ්‍රීලනිපය වෙනුවෙන් දැවැන්ත කැපවීමක් කළ නායකයෙක් තමයි ධර්මසේන මහතා. එතුමාගේ පියා අදටත් හඳුන්වන්නේ වලස්ගල පප්පා කියලා. එතුමාගේ අඩි පාරේ යමින් ධර්මසේන මහතා ද ගමන් කළා. ඔහු ඉතා හොඳ දේශපාලන නායකයෙක්. දේශපාලනය නිසා තමන්ගේ දේපළ විනාශ කරගත් නායකයෙක් තමයි ධර්මසේන මහතා. ශ්‍රීලනිපය වෙනුවෙන් කළ කැපවීම නිසාම ඔහුගේ ගේදොර පවා ගිනිබත් කරන්නට සෙසු දේශපාලන පාක්ෂිකයන් කටයුතු කළත් ඒ හැමදෙයක්ම එතුමා විඳදරාගෙන සිටියා. ඉන්දික මහතා අකාලයේ තමයි ජීවිතයෙන් සමුගන්නේ. මේ පාර්ලිමේන්තුවේ සිටිය යුතුම මන්ත්‍රීවරයෙක් ලෙස එතුමා හැඳින්විය හැකියි. වී.කේ. සුජීව මහතා දේශපාලන කරලියේ සිටිනවා. අයියාගේ, සීයාගේ දේශපාලනය ඉදිරියට ගෙන යාමට එතුමාට පුළුවන්. මන්සූර් මහතා අම්පාර දිස්ත්‍රික්කයට විශාල සේවාවක් කළ අමාත්‍යවරයෙක්. රාජා සමරනායක මහතාත් දේශපාලනයේ යහපත් චරිතයක්. මෙම කෘතහස්ත දේශපාලකයන් තිදෙනාටම අපේ ආගමේ හැටියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා(එජනිස) - වී.කේ.ඉන්දික මහතා තනතුරුවලට වහල් නොවූ පුද්ගලයෙක්. එතුමා වසර 5ක් පමණ පාර්ලිමේන්තුවේ අපිත් සමඟ කටයුතු කළා. වෙනත් දේශපාලකයන් ලෙස තවත් කෙනෙක් කපාගෙන ඉදිරියට යන කෙනෙක් නොවේ ඉන්දික මහතා. එතුමාට මම නිවන් සුව පතනවා. සේනරාජා සමරනායක මහතා 1977 වසරේ සිට 1989 දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසත් පසුකාලීනව අමාත්‍ය ධුර දරමිනුත් කටයුතු කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කරමින් එතුමා දේශපාලකයන්ට ලොකු ආදර්ශයක් ලබා දී තිබෙනවා. අබ්දුල් රසාක් මන්ත්‍රීතුමාට ද මගේ ‍ශෝකය ප්‍රකාශ කරනවා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එජනිස) - 1999 වසරේ දකුණු පළාත් සභාවට වී.කේ.ඉන්දික මහතා තේරී පත්වීමත් සමඟ කාලයේ සිට මමත් එතුමාත් හොඳ මිතුරන්. දකුණේ ජනතාව වෙනුවෙන් එතුමාගේ කාර්ය නිසියාකාරව ඉටු කිරීමට කටයුතු කළා. ඒ නිසා තමයි ජනතාවගෙන් එතුමාට ප්‍රසාදය ලැබුණේ. තමන්ගේ පවුලට හම්බ නොකර ප්‍රදේශයේ ජනතාවට සේවය කළා. තමන්ගේ දේපළ පවා එතුමා දේශපාලනය වෙනුවෙන් නැති කර ගත්තා. ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් නිර්භීතව කතා කළා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කනක හේරත් මහතා මුලසුනට පැමිණියේ ය.

පත්කළ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර මහතා (එ.ජ.නි.ස.) - වී.කේ.ඉන්දික මහතා දිගු කලක් දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල සේවාවක් කළා. දකුණු පළාත නියෝජනය කළා. පළාත් සභාව ද ඒ මහතා නියෝජනය කළා. පළාත් ඇමැතිධුරය දරන කාලයේ මම වයඹ පළාත් ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළා. 2010 දී අපි සමඟ පාර්ලිමේන්තුවට පැමිණ නවක මන්ත්‍රීවරු ලෙස විශාල වැඩ කොටසක් කළා. අද තිබෙන දේශපාලන තත්ත්වයට වඩා එදා අමිහිරි තත්ත්වයක් තිබුණා. දේශපාලනය කිරීම විශාල අභියෝග වුණා. ඉන්දික මහතාට ද විවිධ අභියෝගවලට මුහුණ දෙන්න සිදුවුණා.

නායකත්වය වෙනුවෙන් කැප වෙමින් රටට සේවය කළා. අපි සහෝදරත්වයෙන් කටයුතු කළා. රාජා සමරනායක මහතා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළා. තමන්ගේ දිස්ත්‍රික්කයට විශාල සේවාවක්. ඒ වගේම රසාක් මන්සුර් මහතා ද තමන්ගේ ප්‍රදේශයට විශාල සේවාව ඉටුකළා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී.චානක මහතා (එ.ජ.නි.ස.) - වී.කේ.ඉන්දික මහතා සහ මම ඉතාම කෙටි කලක දී හඳුනා ගත්තා. ඒ මහතාගේ නම රටේ ඉතිහාසයට එක් වෙනවා. ඒ මහතා රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙක්. වී.කේ. නාමය හම්බන්තොට දිස්ත්‍රික්කයේ නොදන්නා කෙනෙක් නැහැ. රාජපක්ෂ පවුල සමඟ දිගු කලක සිට දේශපාලනය කළා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා (එ.ජ.නි.ස.) - වී.කේ.ඉන්දික මහතා මගේ පවුලේ ඥාතියෙක්. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේ ක්‍රීඩා තරඟවල දී අපි එකටම කටයුතු කළා. වී.කේ. ඉන්දික මහතා නිහතමානී පුද්ගලයෙක් ලෙස අපි හඳුනාගෙන සිටියා. ඔහුගේ පියා ඉතාම දක්ෂ දේශපාලඥයෙක්. ඉන්දික මහතා කුමන බාධා පැමිණියත් ගමට, ප්‍රදේශයට කළ සේවාව අමතක කළේ නැහැ. පළාත් ඇමැතිවරයෙකු ලෙස පළාතට විශිෂ්ඨ සේවාවක් කළා. අධ්‍යාපන හා සමුපකාර, ක්‍රීඩා ඇමැති තනතුරුවල කටයුතු කළා. 2010 පාර්ලිමේන්තුවට පැමිණ 2015 දක්වා කටයුතු කළා.

ඔහුගේ නිහතමානීකම අපි දන්නවා. රෝගී තත්ත්වයක් නිසා මිය ගියා. ඔහුගේ අවමඟුලට විශාල පිරිසක් සම්බන්ධ වුණා. දූෂණයෙන් තොරව එතුමා දේශපාලනය කළා. රාජා සමරනායක මහතා හොඳ පවුලක උපත ලබලා දේශපාලනය කළා. බණ්ඩාරගම ආසනය නියෝජනය කළා. විශාල ලෙස එම ප්‍රදේශ සංවර්ධනය කළා. නමුත් එතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් සාධාරණයක් ඉටුවුණේ නැහැ. අබ්දුල් රසාක් මන්සූර් මහතා කල්මුණේ නියෝජනය කරමින් දේශපාලනයට පිවිසියා. ජේ.ආර්.ජයවර්ධන හා රණසිංහ ප්‍රේමදාස මහත්වරුන්ගේ රජයේ ඇමැතිවරයෙකු ලෙස කටයුතු කළා. රට වෙනුවෙන් ඔහු තානාපතිවරයෙක් ලෙස ද කටයුතු කළා.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එච්.එම්.එම්.හරීස් මහතා (එ.ජා.ප.) - නැගෙනහිර දේශපාලනය ගත්විට අදියර තුනකින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ.ආර්.මන්සූර් මහතා ඉතා හොඳ සේවයක් නැගෙනහිර පළාතට සිදුකර තිබෙනවා. එදා මන්සූර් මහතා අස්වර් මහතා සමග එක්ව දේශපාලනය කරන්න තීරණය කළා. 2001 දී අස්වර් මහතා මිය ගියා. එදා මගේ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙවන් මන්සුර් මහතා විශාල සහායක් ලබා දුන්නා. උතුරට ද ඒ මහතා විශාල සේවාවක් කළා. කොළඹ වරාය ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට විශාල දායකත්වයක් ලබා දුන්නා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - රසාක් මන්සූර් මහතා මා මෙන්ම නීතිඥවරයෙක්. එතුමා මටත් වඩා බොහෝම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්. ඔහු කල්මුණේ එජාප සංවිධායකවරයා ලෙස පත්වීමෙන් පසුව තමයි මට හමු වුණේ. කැලණියේ එජාප සංවිධායකවරයා ලෙස මම වැඩ කළා. 1977 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි දෙදෙනාම විශිෂ්ට ජයග්‍රහණ ලබාගෙන පාර්ලිමේන්තුවට පැමිණියා. අප දෙදෙනාගේ සම්බන්ධතාව දිගු කලක් තිස්සේ පැවතියා. එජාප සාමාජිකයන් ලෙස, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස අප අතර සමීප සබඳතාවක් තිබුණා. කල්මුණේ ප්‍රදේශයේ සංවර්ධනය සම්බන්ධයෙන් එතුමාට වගකීම පැවරී තිබුණා. ඒ ප්‍රදේශයේ සංවර්ධනය එතුමා ආරම්භ කළා. කල්මුණේ ප්‍රදේශය සංවර්ධනය කිරීමේ වගකීම මන්සූර් මහතා බාර නොගත්තේ නම් අද එම ප්‍රදේශයේ සංවර්ධනයක් අපට දකින්නට නොහැකි වෙනවා ඇති.

1983 පසුව නැ‍ඟෙනහිර පළාතේ කලබල ඇති වුණා. නමුත් ඒ කලබල අවහිරයක් නොකරගෙන ප්‍රදේශයේ සංවර්ධනය ඔහු සිදු කළා. මන්සුර් මහතා අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දේශපාලන කටයුතු ආරම්භ කළා. ඉන්පසුව ජනාධිපති ප්‍රේමදාස මහතා යටතේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම අපනයන වෙළඳ කටයුතු සඳහා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට දායකත්වය ලබාදුන්නා. පාර්ලිමේන්තු විවාදවලට මන්සුර් මහතා බොහෝ විට සම්බන්ධ වුණා. කල්මුණේ ප්‍රදේශයට මෙන්ම මේ සභාවට එතුමා විශාල දායකත්වයක් ලබා දුන්නා. කල්මුණේ පාසල්, ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් සමහර අවස්ථාවලදී මා හමු වී විශේෂ ඉල්ලීම් කළා. ඒ ප්‍රදේශයේ අධ්‍යාපන කටයුතුවලට ගුරුවරුන් ලබාදෙන ලෙසටද මගෙන් ඉල්ලීම් කළා.

දේශපාලන සංවර්ධන කටයුතු සඳහා අපි ගල්ඔය ප්‍රදේශයේ නැවතී සිටියා. එය ඉතාම විනෝදකාමී අවස්ථාවන් ලෙස මතක් කළ හැකියි. මන්සූර් මහතාගේ අභාවය නිසා ඔහුගේ ඥානය අපට ලබාගැනීමට නොහැකි වුණා. කල්මුණේ ජනතාවගේ හිත් තුළ මන්සුර් මහතා සදාකාලයේ රැඳී සිටිනවා. ඉතාම දුෂ්කර අවධියකදී, ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවත්නා කාලයකදී කල්මුණේ ජනතාවට සේවය කරන්නට එතුමාට හැකි වුණා. ඔහු මන්ත්‍රීවරයෙක් වූ දිනය සහ සිරිකොතට පළමු රැස්වීමට එන අවස්ථාව මගේ මතකයේ තවමත් තිබෙනවා. ඒ වගේම එතුමා පරණ පාර්ලිමේන්තුවට පැමිණියා. එතුමා ගැන තවත් කතා කරනවා නම් බොහෝ දේ තිබෙනවා. අනෙක් මන්ත්‍රීවරුන් කළ ශෝක ප්‍රකාශවලට මගේ ශෝක ප්‍රකාශයද මෙසේ එකතු කරනවා.

සේනරාජා මන්ත්‍රීතුමා බණ්ඩාරගම ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත්ව 1977 වසරේදි පාර්ලිමේන්තුවට පැමිණියා. පානදුර, කළුතර උසාවිවල නීතිඥවරයෙක් ලෙස එතුමා කටයුතු කළා. පාර්ලිමේන්තුවට එතුමා පැමිණීමෙන් පසුව දක්ෂ පසුපෙළ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළා. ප්‍රදේශයේ දියුණුව උදෙසා එතුමා බොහෝ කටයුතු සිදු කළා. උදාගම් ව්‍යාපාර ගණනාවකින් නිවාස ඉදි කරන්නට එතුමා කටයුතු කළා. බණ්ඩාරගමට විශාල සංවර්ධනයක් ලබාදෙමින් මහා මාර්ග පවා ඉදි කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ එතුමාට ඇමැතිකමක් ලැබුණා. අපනයන සංවර්ධන අමාත්‍යධුරය එතුමාට ලබාදුන්නා. ඒ ප්‍රදේශවල අපනයන කටයුතු දියුණු කරන්නට එතුමා වැඩ කළා. ඇඟලුම් කර්මාන්ත 200ක් ආරම්භ කරමින් අපනයන කටයුතු ඉහළ නැංවීම ආරම්භ කළේ ඒ කා‍ලයේ. අපනයන වර්ධනයට එතුමා විශාල සේවාවක් කළා. කර්මාන්ත අමාත්‍යවරයා ලෙස තමයි මම ඒ කාලයේ කටයුතු කළේ.

බණ්ඩාරගම අමතක නොකරමින් ප්‍රදේශයේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට එතුමා නිවසේ සිටිමින්ම කටයුතු කළා. ප්‍රදේශයේ ජනතාව රාජා සමරනායක මහතා මතක් කරනවා. දේශපාලනයෙන් පසුවත් එතුමා එජාප කටයුතු ප්‍රදේශයේ සංවිධානය කරමින් මැතිවරණ ජයග්‍රහණ කරවීමට අපට උදව් කළා. අවසන් කාලයේ එතුමා ටිකක් අසනීපයෙන් සිටියේ. එතුමා නිහඬ සේවාවක් කළ පුද්ගලයෙක්. මෙතරම් ඉක්මනට අප අතරින් එතුමා වෙන්වෙයි කියලා මම හිතුවේ නැහැ. ප්‍රදේශයේ පන්සල්වලට විශාල සේවාවක් කළා. එතුමාගේ ප්‍රදේශයේ මුස්ලිම් ගම්මාන කිහිපයක් තිබුණා. මුස්ලිම් ජනතාව මෙතුමා කෙරෙහි හොඳ භක්තියක් තිබුණා.

රාජා සමරනායක මැතිතුමා ගැන මම දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. එතුමාට නිවන් සුව මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉන්දික මන්ත්‍රීතුමා ගැන මම දැන සිටියේ ටික කාලයයි. පාර්ලිමේන්තුවේ සිටින විට මම සිටියේ එක් පැත්තක. එතුමා සිටියේ වෙනත් පැත්තක. ආණ්ඩු පක්ෂයේත් සිටියා. එතුමාගේ අවධානය යොමු වුණේ තමන්ගේ කොට්ඨාසය දියුණු කිරීම පිළිබඳව. අනෙක් අතට තමන්ගේ නායකයින්, විශේෂයෙන්ම හිටපු ජනාධිපති ආරක්ෂා කිරීමට එතුමා නිතරම පෙනී සිටියා. පක්ෂ දෙකක සිටින විට අප අතරත් වචන හුවමාරු වුණා. එතුමා‍ටත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. මන්සුර් මැතිතුමාගේත්, සේනරාජා මැතිතුමාගේත්, ඉන්දික මැතිතුමාගේත් පවුල්වලට අපගේ ශෝකය ප්‍රකාශ කරනවා.

කතානායක කර‍ැ ජයසූරිය මහතා මුලසුනට පැමි‍ණියේය.

පත්කළ මන්ත්‍රි මලික් ජයතිලක මහතා (ශ්‍රී.ල.නි.ප.) - රාජා සමරනායක මහතා බණ්ඩාරගම ප්‍රධාන කළුතර දිස්ත්‍රික්කයට විශාල සේවාවක් කළා. 1977 ජයග්‍රහණයෙන් පසු බණ්ඩාරගමට විශාල ලෙස සංවර්ධන ව්‍යාපෘති රැසක් ගෙනාවා. 1967 දී නීතිඥයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. 2017 දීවසර 50ක් සම්පූර්ණ කළා. බණ්ඩාරගමට විශාල සංවර්ධනයක් ගෙනා මහජන නියෝජිතයෙක් වෙනවා. 1994 දී ඒ මහතා දේශපාලන වශයෙන් යම් පසුබෑමකට ලක්වුණා. බණ්ඩාරගම අතුරු මාර්ග සියල්ල පුළුල් කළා. විදුලිය ලබා දුන්නා.

බණ්ඩාරගම නගරයක් තිබුණේ නැහැ. 1977න් පසුව පුළුල් කළා. බැංකු විශාල ප්‍රමාණයක් ගෙනාවා. 2017 දී එතුමා වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්වූවා. 1994 න් පසුව දේශපාලනයෙන් විශ්‍රාම ගොස් සුපුරුදු නීති වෘත්තියට පැමිණියා. තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම සේවයක් ජනතාවට කළා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා(එ.ජ.නි.ස.) - වී.කේ. ඉන්දික මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයට සේවය කර තිබෙනවා. අපි සමග ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙන ගෙන තිබෙනවා. ක්‍රීඩාවෙන් ඉතා ඉහළට යමින් දක්ෂතා පෙන්වා තිබෙනවා. ශිෂ්‍ය නායකයෙක් ලෙස කටයුතු කළා. පසුව සමාජ දේශපාලන ව්‍යාපාරයේ කටයුතු කළා. එදා මේ රටේ පැවැති තත්ත්වත් සමඟ තම දේශපාලනය නිවැරදි යයි සිතා ඉදිරියට කරගෙන ගියා. අභියෝග මැද මැතිවරණවලට මුහුණ දුන්නා. ඕනම අවස්ථාවක වී.කේ.ඉන්දික මහතාගේ නිවෙස ජනතාවට විවෘතව තිබුණා. ජනතාවගේ ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කළා.

මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එ.ජ.නි.ස.) - මමත් සමඟ වී.කේ.ඉන්දික මහතා 2010 දී පාර්ලිමේන්තුවට පිවිසියා. 2010 සිට 2015 දක්වා අපි සමඟ සුහඳශීලිව කටයුතු කළා. පාර්ලිමේන්තුවට එන්න පෙර එතුමා දකුණු පළාත් සභාව නියෝජනය කළා. පළමු අවුරුදු 5 තුළ ඒ මහතාගේ කාර්යක්ෂමතාවය හා කරන සේවය නිසා අමාත්‍යාංශයක් ලැබුණා. ඒ තුළ දකුණු පළාතට විශාල සේවාවක් කළ පළාතේ දිස්ත්‍රික්ක තුන වෙනුවෙන් ඉතා විශාල සේවාවක් කළා. 2004 දී පළාත් ඇමැතිධුරයක් ලබා ගත්තා. 1999 දී තුන්වැනි වරටත් පළාත් සභාවට තේරී පත්වුණා.

කළුතර දිසා මන්ත්‍රී විදුර වික්‍රමනායක (එ.ජ.නි.ස.)- පාර්ලිමේන්තුව නියෝජනය කළ ගෞරවනීය මන්ත්‍රීවරුන් තිදෙනෙක් ගැන කතා කරනවා. දේශපාලනයේ පැහැදිලිව කඳවුරු දෙකක් ගැන කතා කරනවා. රාජා සමරනායක මහතා නිහතමානීව ප්‍රශ්න තේරුම් ගන්න කෙනෙක්. ඒ වගේම වී.කේ. ඉන්දික මහතා ද ජනතා ප්‍රශ්න තේරුම් ගත්තා. ජනතාවට ලබාදිය යුත්තේ ප්‍රශ්න නොව විසඳුම් ය. නමුත් අවාසනාවකට අද ඉතිරි කරන්නේ ප්‍රශ්නයි. මේ මන්ත්‍රීවරු තිදෙනාම හොඳ සේවයක් රටට ඉටු කළා. ජනතාව වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළා. රාජා සමරනායක මහතා හොරකම් නොකළ, ජනතාවට හිතවත්ව සේවය කළ මහත්මා දේශපාලනඥයෙක්.

නීතිඥයෙකු ලෙස එතුමාට ලැබුණු නඩු සියල්ල තමන්ගේ කනිෂ්ඨ නීතිඥයින්ට පවරනවා. රටට වෙන දේ ගැන එතුමා එදා කණගාටු වුණා. පක්ෂ දේශපාලනයට ගැති වෙන්න පුළුවන්. නමුත් පොදුවේ රට හා ජනතාව ගැන හිතන්නට ඕන. වී.කේ. ඉන්දික මහතා සහෝදරාත්මකව කටයුතු කළ මන්ත්‍රීවරයෙක්. එතුමාගේ බල ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තිබුණා. දේශපාලන තීන්දු ගැන යම් යම් පරස්පරතා ඇති වෙනවා. ඒ ඉරණමට වී.කේ. ඉන්දික මහතා ගොදුරු වුණා. නමුත් අදටත් එතුමාට අසීමිත ආදරයක්, ගෞරවයක් ජනතාවගෙන් තිබෙනවා. හොරකම් කළේ නැහැ. නායකත්වයට ගරු කරමින් හැම විටම නායකත්වය සමඟ සිටියා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා (එ.ජ.නි.ස.) - මේ සභාවේ නියෝජනය කළ තිදෙනෙක් ගැන අද අපි කතා කරනවා. වී.කේ. ඉන්දික මහතා ඉතාම සුහදව අපි සමඟ කටයුතු කළා. ඒ මහතාගේ පියාත් ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයක් වුණා. දේශපාලන නිසා මේ පවුලට විශාල ලෙස හානි සිදු වූ අවස්ථා තිබෙනවා. නමුත් ඒ සියල්ල තිබිය දී තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තියේ සිටියා. අර්බුද තුළින් මතු වූ පවුලක්. ගෞරවණීය ලෙස සේවය කළා. ඒ මහතාගේ අභාවය අපිට විශාල පාඩුවක්. යම් යම් දේශපාලන අසාධාරණකම් සිදුවුණා. ඒ සියල්ල විඳ දරාගෙන සිටිමින් කඳවුර අතහැර ගියේ නැහැ. මේ දේශපාලන පවුලක්.

ජනතාව වෙනුවෙන් හැම වෙලාවකම කටයුතු කළා. රටට කළ සේවය තවත් වසර ගණනාවක් යනතුරු අපිට අමතක වෙන්නේ නෑ. ඒ මහතාගේ ගමට අදටත් විශාල සේවයක් ඉටු වෙනවා. පක්ෂය වෙනුවෙන් ලෙන්ගතුව වැඩ කළා. පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළා. කණ්ඩායම, නායකත්වය වෙනුවෙන් පෙනී සිටියා. රාජා සමරනායක හා මන්සුර් මහත්වරුන් සමඟත් අපි වැඩ කළා. රාජා සමරනායක මහතා ඉතා විශාල සේවයක් රට වෙනුවෙන් ඉටු කළා.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමැති අජිත් පී.පෙරේරා - රාජා සමරනායක මහතා බණ්ඩාරගමයි. බණ්ඩාරගම නිජබිම කරගත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. බණ්ඩාරගම දේශපාලන භූමිකාව තුළත්, ගමේ පොදු කටයුතුවලත් විශාල මෙහෙයක් කළා. ජාතික දේශපාලනයට පැමිණ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළා. එයින් පසුව විශ්‍රාම දිවිය ගත කළා. එතුමා නිරෝගීව ඉන්න අවස්ථාවක උපහාර උත්සවයක් සංවිධානය කළා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැමිණියා. විශ්‍රාම දිවිය තුළ තමන් කළ සේවය අගය කරන්න අවස්ථාව ලැබුණා. රාජා සමරනායක මහතා පිරිසුදු දේශපාලනඥයෙක්, පානදුරෙන් නීතිඥ වෘත්තිය පටන් ගත්තා.

1977 මැතිවරණ ජයග්‍රහණයේ දී ඒ මහතා සමඟ මිතුරන් විශාල පිරිසක් සිටියා. මනාප ක්‍රමය ගැන ලොකු අවබෝධයක් තිබුණු කෙනෙක් නොවෙයි. නමුත් හැම විටම තමන්ගේ ආසනයට වැඩ කළා. බණ්ඩාරගම විශාල ප්‍රදේශයක්. දුෂ්කර ප්‍රදේශයක්. ගම්වල අඩි පාරවල් මහා මාර්ග බවට පත් කළා. 1978 වසරේ මම ශිෂ්‍යත්වයෙන් සමත්වන විට නිවෙසට විදුලි බලය තිබුණේ නැහැ. නමුත් අපේ ගමට විදුලිය දුන්නේ රාජා සමරනායක මහතායි. අඩිපාරවල් නගරයට ඔබින පාරවල් බවට පත් කළා. දස දහස් ගණනක දරුවන්ගේ ජීවිතයේ ඉහළට යන්න හයිය දුන්නා.

අපේ රටේ දේශපාලනය රැකියාවක් බවට පත්කරගෙන ඉන්නවා. ආදායම් උපයන මාර්ගයක් බවට පත්ව තිබෙනවා. මම දේශපාලනයට පැමිණි පසුව ගුරු හරුකම් ලබා දුන්නා. බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය දියුණු කළා. දේශපාලනයෙන් විශ්‍රාම ගිය පසු කරන්නේ කුමක් ද යන්න එතුමාගෙන් පාඩම් ඉගෙන ගන්න පුළුවන්. ගමේ ජීවත් වෙන්න ආදර්ශයක් ලබා දුන්නා. සෑම අවස්ථාවකම ගමේ ජනතාව හමුවුණා.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා(එ.ජා.ප.)

වී.කේ.ඉන්දික මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙක්. ඒ මහතා වසර 10ක් පමණ දකුණු පළාත් සභාව නියෝජනය කළා. විශාල සේවාවක් ඉටු කළා. එදා අපි දෙන්න එකම පිළක් නියෝජනය කළත් මම 2004 දී එක්සත් ජාතික පක්ෂයට එක් වුණා. අපි පක්ෂ දෙකක වුණත් එකට කටුයුතු කළා. රාජා සමරනායක මහතා ද තම ප්‍රදේශයට විශාල සේවාවක් කළා.

කතානායක කරු ජයසූරිය මහතා

අද දිනයේ ශෝක පිටපත් ඒ ඒ පවුල් වෙත යවන ලෙස මම ඉල්ලීමක් කරනවා.

පාර්ලිමේන්තුව මේ මස 6 දා

පස්වරු 1.00 ට රැස්වීමට නියමිතයි.

ස්වර්ණා විජේකෝන්, මහින්ද අලුත්ගෙදර, සන්ධ්‍යා කරුණාරත්න

 

නව අදහස දක්වන්න