මාසික වාර ප්‍රවේශ පත්‍ර අගෝස්තු මාසයට නිකුත් නොකිරීමෙන් සිසුහු අසීරුවට | දිනමිණ

මාසික වාර ප්‍රවේශ පත්‍ර අගෝස්තු මාසයට නිකුත් නොකිරීමෙන් සිසුහු අසීරුවට

පාසල් සිසුන් සදහා නිකුත් කරන මාසික වාර ප්‍රවේශ පත්‍ර අගෝස්තු මාසය සඳහා නිකුත් නොකිරීමෙන් තමන් දැඩි අපහසු තාවකට පත්ව ඇති බව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ඔවුන්ගේ දෙමාපියෝ මැසිවිලි නගති.

අගෝස්තු මාසය ආරම්භ වීමත් සමග දෙවන පාසල් වාරයේ නිවාඩුව ආරම්භ විය.මාසයක කාලයක් පුරා එම පාසල් වාරය ක්‍රියාත්මක වන අතර එම කාලය තුළදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හා අපොස උසස්පෙළ විභාගය පැවැත්වේ.

එමෙන්ම මෙම වසර අවසානයේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් බොහෝ පාසල් වල ගුරුවරුන් පසුගිය කාලයේ රටේ පැවති ආරක්ෂක තත්ත්වය නිසා පාසල් පද්ධතිය අක්‍රමවත් වීම නිසා හා වෙනත් කිසියම් හේතුන් නිසා මගහැරුන ඉගැන්වීම් නිමකළ යුතු විෂය නිර්දේශය ඉගැන්වීම සඳහා අමතර පංති පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබේ.

එමෙන්ම උපකාරක පංති ද පැවැත්වෙනු ඇත.එනම් පාසල් පවත්වන දිනයන් වලදී සේම සිසුන් පාසල් පිහිටි ප්‍රදේශවලට පැමිණිය යුතුය.එවන් වකවානුවක මෙම මාසයේදී මාසික වාර ප්‍රවේශ පත්‍ර නිකුත්නොකිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හැටන් ඩිපෝවේ කලමනාකාරීත්වය තීරණය කිරිමත් සමග තමන් දැඩි අසරණ බවකට පත්වන බව ඔවුහු පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන දෙමාපියන් පවසන්නේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ මාසික වාර ප්‍රවේශපත්‍රය අගෝස්තු මාසය තුළ ලබා නොදීමට පියවර ගැනීම නිසා ඔවුන් දැඩි අසීරූතාවට පත්වන බවයී.

දෙමාපියන් හා සිසුන් පත්ව ඇති ඉහත ගැටලුව සම්බන්ධයෙන් හැටන් ලංගම ඩිපෝවේ කළමනාකරු අනුර දොඩංතැන්න මහතාගෙන් කළ විමසීමෙදි මෙසේ පැවසීය.ළමයින්ට මාසික වාර ප්‍රවේශපත්‍රයන් නිකුත් කරන්නේ පාසල් එන්න.නමුත් නිවාඩු කාලේ පුද්ගලික පංතිවල ගුරුවරු පෝෂණය කිරීම සඳහා මාසික වාර ප්‍රවේශ පත්‍ර ලබා නොදිය යුතු නිසා නිවාඩු මාසය තුළ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ප්‍රධාන කාර්යාලයෙන් ලැබුණ උපදෙස් අනුව නවතා දැමු බවයී.

හැටන් සමුහ - චන්දන ජයවීර

 

 

 

නව අදහස දක්වන්න