ශිල්ප සේනා දෙවන අදියර සැප්තැම්බර් පොළොන්නරුවේදී | දිනමිණ

ශිල්ප සේනා දෙවන අදියර සැප්තැම්බර් පොළොන්නරුවේදී

ශිල්ප සේනා ප්‍රදර්ශනයේ දෙවන අදියර සැප්තැම්බර් මාසයේදී පොළොන්නරුවේදී දවස් 05ක් පුරා පැවැත්වීමට කටයුතු කරන බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ( කැබිනට් නොවන) ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල සෙත්සිරිපාය විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේදී පසුගියදා (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේ ද කීය.

ශිල්ප සේනා ප්‍රදර්ශනයේ තුන්වන අදියර සැප්තැම්බර් අගදී මහනුවරදී ද එහි හතරවන ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මාසයේදී ඇඹිලිපිටියේදී ද පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඊට අදාළ සියලු සැලසුම් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. මේ හරහා සාමාන්‍ය ජනතාව , පාසල් දරුවන් අතර විද්‍යාව තාක්ෂණය ප්‍රචලිත කිරීමටත් , විද්‍යාව තාක්ෂණය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත් , නව නිපැයුම්වලට වෙළෙඳ වටිනාකම් ලබාදීමටත් හැකි වෙනවා.

කොළඹදී පසුගියදා පැවැත්වූ මේ ප්‍රදර්ශනයේදී ප්‍රතිචාර රැසක් අපට ලබාගැනීට හැකි වුණා. එම ප්‍රදර්ශනය ට ලක්ෂ 07කට අධික ප්‍රමාණයක් සහභාගි වීමටත් අවස්ථාව ලැබුණා. ත්‍රිවිධ හමුදාව සඳහා 500 කට අධික ප්‍රමාණයක් බඳවා ගැනීමටත් , විද්‍යාව තාක්ෂණය පිළිබඳව දැනුමක් ලබාගැනීමටත් අවස්ථාව උදා වුණා.

විශේෂයෙන්ම අඩු මුදලක් වැය කරමින් ප්‍රතිලාභ රැසක් ලබාගැනීමටත් , ජනතාවගේ ඉල්ලුම නිසා ප්‍රදර්ශනය දින තුනකට සීමා නොවී දින 05ක් දක්වා පැවැත්වීමට දින දීර්ඝ කිරීමටත් කටයුතු කළා.

චන්දිමා කරුණාරත්න
ඡායාරූපය - ශාන් රඹුක්වැල්ල 

නව අදහස දක්වන්න