ශ්‍රීලනිප මහ සමුළුවේදී වැදගත් තීන්දු රැසක් ගන්නවා | දිනමිණ

ශ්‍රීලනිප මහ සමුළුවේදී වැදගත් තීන්දු රැසක් ගන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වාර්ෂික මහ සමුළුව සැප්තැම්බර් මස 03 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය. එහි දී පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බව ද හෙතෙම අවධාරණය කළේය.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ(6) ශ්‍රීලනිප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අපේක්ෂකයෙක් නම් කිරීමට කලින් පක්ෂයට වැදගත් වන්නේ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීම බව සඳහන් කළ ඒ මහතා පළමුව අපි ජාති ආගම් භේදයකින් තොරව සමස්ත රටටම හිතකර ප්‍රතිපත්ති මාලාවක් සකස් කරන බව ද අවධාරණය ක‍ළේය. එසේ ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමෙන් පක්ෂයේ ඇතිවිය හැකි ගැටලු සහගත තත්ත්වය අවම කරගත හැකියැයි කී ඒ මහතා ශ්‍රීලනිපයේ අනන්‍යතාව රැක ගනිමින් සමස්ත ප්‍රාදේශීය මන්ත්‍රීවරු රැක ගනිමින් අපි මේ ගමන යායුතුව ඇතැයි ද කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා-

මේ දිනවල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්වරු අතර සාකච්ජා පැවැත්වෙන බවත් ශ්‍රීලනිප හා ශ්‍රීලපොදුජන පෙරමුණ පක්ෂ දෙක සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

ශ්‍රීලනිප කියන්නේ මමත් නිමලුත් පමණක් නොව ලක්ෂ පහළොවකට අධික අපේක්ෂකයෝ, පක්ෂය නගා සිටුවන්න කැපවූ අය, එක්දහස් එකසියක් වන මන්ත්‍රීවරු වමේ ප්‍රගතිශීලී ජනතාව සහ මේ රටේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව. ශ්‍රීලනිප ජාතිවාදී පක්ෂයක් නොව සියලු ජාතීන්ව එකතුව යන ගමනක්. වමේ ප්‍රගතිශීලී බලවේග සමඟ අනන්‍යතාව අපේ එලෙසම පවතිනවා.

අපි දැක්කා මේ ආණ්ඩුව තුළ විදුලි බලය සම්බන්ධව මිල වැඩි කිරීමක් සිදුවීමට යන බවක්. වසර හතරහමාරකටත් වඩා කාලයක් පැවැති ආණ්ඩුව තුලින් විදුලිය මෙගාවොට් ඒකකයක්වත් ජලයෙන් නිපදවා නැහැ. අදවන විට සම්පූර්ණ විදුලිය නිපදවන්නේ ගල් අගුරුවලින්. ඉදිරියේ දී ඇතිවන වියලි කාලගුණයත් සමඟ විදුලි බලය අඩුවීමක් ඇතිවිය හැකියි. ආණ්ඩුව පිටරටින් විදුලි ඒකකයක් රුපියල් 23ට දෙනවා කිව්වත් ඒ ගෙන්වන එක් විදුලි ඒකකයකට රුපියල් 33ක් ගෙවියයුතු වෙනවා. මේක පිටුපස දැවැන්ත මාෆියාවක් තියෙනවා. වැඩිවන විදුලි බිල යටතේ ජනතාවට නැවත අඳුරු යුගයක් කරා යෑමට සිදුවෙනවාමයි. රටට අවශ්‍ය විදුලිය එකතු කරන්න බැරිවුණු ආණ්ඩුව ජනතාවට වගකිව යුතුයි.

අපි කියන්නේ අලුත් ආණ්ඩු එපා නිලධාරීන් එකතුව ඉදිරි අවුරුදු 50-60 කාලය වෙනුවෙන් රටට නිසි සැලැස්මක් හැදීම කියන එක. ඒ සඳහා රට කොහොමද ගෙනියන්නෙ කියන එක. ජනතා අපේක්ෂාව සතු රටක් හදන්න අපි කැපවෙනවා. අපි හැම ක්ෂේත්‍රයක් කරාම වැඩ පිළිවෙළක් හැදිය යුතුයි. මුදල් කාබාසිනියා නොකර රටේ මුදල් ජනතාවට හිතකර අයුරින් යෙදවිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා - පක්ෂ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ මේ දිනවල ශක්තිමත්ව සිදුවෙනවා. ලක්ෂ 15ක් ඡන්ද දායකයන්ට වග කියන රටක් හදන්න ශ්‍රීලනිප ලෙස අප කැපවෙන අතර රටතුල ස්ථාවර නීති ක්‍රමයක් අවශ්‍යයි.

ශ්‍රීලනිප තරුණ පෙරමුණු සාමාජික තිසර ගුණසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


නව අදහස දක්වන්න