ඉන්දියාව 3-0කින් කොදෙව් පිල පරදවයි | දිනමිණ

ඉන්දියාව 3-0කින් කොදෙව් පිල පරදවයි

මංගල ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ දීපක් චහාර්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තෙවැනි විස්සයි20 තරගය කඩුලු 7කින් ජය ගැනීමට සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

මේ සමග තරග 3කින් සමන්විත තරගාවලිය ඉන්දියාව ජය ගත්තේ 3-0කිනි.

ගයානා හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනාගත් විරාට් කෝලිගේ ඇරැයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 146ක් පමණි.

එම ඉලක්කය හඹාගිය ඉන්දියාව පන්දු 5ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි.

ඉන්දියාව ජයග්‍රහණය කරාගෙන ගිය රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 65ක් රැස් කළේ පන්දු 42ක් පමණක් වැය කරමිනි. හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කරමින් ඉනිම වර්ණවත් කරගත් පාන්ට්, නායක විරාට් කෝලි සමග එක්ව තෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව පන්දු 77කින් ලකුණු 106කි. කෝලි හතරේ පහර 6ක් සමගින් පන්දු 45කින් ලකුණු 59ක් ඉනිමට එක් කළේය.

කිරන් පොලාඩ් ලකුණු 58කින් රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය. හතරේ පහරක් සහ හයේ පහර 6ක් එල්ල කළ ඔහු, නිකලස් පූරන් සමග එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 56කින් ලකුණු 66ක් එක් කළේය. පූරන් ලකුණු 17කට දැවී ගිය අතර වේගවත් ඉනිමක් දියත් කළ රෝමන් පවෙල් පන්දු 20කින් නොදැවී ලකුණු 32ක් රැස්කළේ හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමගිනි.

මේ තරගයේදී මංගල ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් හිමිකරගත් දීපක් චාහර් ඕවර 3කදී නිලකුණු ඕවරයක්ද සමගින් ලකුණු 4කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූයේ තරගයේ වීරයා සම්මානය ද දිනා ගනිමිනි. මේ තරගාවලියේ පළමු තරගයේදී විස්සයි20 ජාත්‍යන්තර වරම් හිමිකර ගනිමින් එම තරගයේ වීරයා වූ නව්දීප් සයිනි කඩුලු 2ක් දවාලීය.

කොදෙව්- 146/6යි. (ඕවර 20) කිරන් පොලාඩ් 58, රෝමන් පවෙල් නොදැවී 32 (දීපක් චහාර් 4/3, නව්දීප් සයිනි 34/2)

ඉන්දියාව - 150/3යි. (ඕවර 19.1) රිෂාබ් පාන්ට් නොදැවී 65, විරාට් කෝලි 59 (ඔශේන් තෝමස් 2/29)

 

නව අදහස දක්වන්න