නිශ්ශංක සේනාධිපතිට ශල්‍යකර්මයක්: වරෙන්තු ආපසු කැඳවයි | දිනමිණ

නිශ්ශංක සේනාධිපතිට ශල්‍යකර්මයක්: වරෙන්තු ආපසු කැඳවයි

කුමුදු හෙට්ටිආරච්චි

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වන් යාමට අවශ්‍ය කටයුතු ඉටුකරදීමට රුපියල් ලක්ෂ 355ක් අල්ලස් ලෙස ලබාගත් බවට අධි චෝදනා ලැබ සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීම සඳහා නිකුත් කළ වරෙන්තුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ආපසු කැඳවීමට නියෝග කළේය.

විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා සිංගප්පූරුවේදී ශල්‍යකර්මයකට භාජනයවී ඇති බව හා ඔහුට තවත් ශල්‍යකර්ම දෙකක් සිදු කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥවරු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දැක්වූ කරුණු හා පාලිත ප්‍රනාන්දු මහතා වෙනත් නඩුවක් සම්බන්ධව බන්ධනාගාරගතව සිටින බවට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරුවනට නිකුත් කළ වරෙන්තුව එසේ ආපසු කැඳවීය.

තවද විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතා ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නොතිසි නිකුත් කළ විනිසුරුවරයා, සිංගප්පූරුවේ ප්‍රතිකාර ලබන බව කියන නිශ්ශංක යාපා සේනාධිපති මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් සහතික කළ වෛද්‍ය වාර්තාවක් ඊළඟ නඩු දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විත්තියේ නීතිඥවරුනට නියම කෙරුණි.

නඩුව නැවත කැඳවීම ලබන සැප්තැම්බර් 04 වැනිදාට කල් තැබුණි.

අධිකරණයෙන් නිකුත් කළ නොතිසි මත විත්තිකරුවන්ගෙ ඇපකරුවන් හත්දෙනා ඊයේ (07) අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඊළඟ නඩු දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඔවුනට නියෝග කළ විනිසුරුවරයා එදිනට ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාරදීමට ද නියෝග කෙරුණි.

ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වන් යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355ක මුදලක් රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුද හමුදා මේජර් ‍ෙජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් මෙම නඩුව විත්තිකරුවනට එරෙහිව පවරා ඇත.

නව අදහස දක්වන්න