ගාමිණී සෙනරත්ට එරෙහි ප්‍රථම නඩුවේ තීන්දුව අද | දිනමිණ

ගාමිණී සෙනරත්ට එරෙහි ප්‍රථම නඩුවේ තීන්දුව අද

කුමුදු හෙට්ටිආරච්චි

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය ඇතුළු අධි චෝදනා 24ක් මත හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවරූ ප්‍රථම නඩුවේ තීන්දුව අද (08) ප්‍රකාශයට පත්කෙරේ.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අද (07) එසේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරයි.

හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත්, කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ හා කොක්කාවිට ලියනගේ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධිචෝදනා නගා ඇත.

මුල්වරට නීල් බණ්ඩාර හපුහින්න නමැත්තාටද නඩුවෙන් අධි චෝදනා නගා තිබූ අතර පැමිණිල්ලේ සාක්කි විභාගයෙන් අනතුරුව ඔහු විත්තිවාචකයක් නොකැඳවාම නිදොස්කොට නිදහස් කිරීමෙන් අනතුරුව අනෙක් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩුව ඉදිරියට විභාගයට ගැනුණි.

අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් අද (08) ට දින නියම කරන ලදී.

2014 පෙබරවාරි මස 01 වැනිදා හා 2015 ජනවාරි මස 20 වැනිදා අතර කාලයේදී ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම වෙත යවන ලද රුපියල් මිලියන 500ක මුදලක් වංක ලෙස හෙලැන්කෝ හොටෙල්ස් ඇන්ඩ් ස්පා පුද්ගලික සමාගමේ ගිණුමකට බැර කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරන ලදී.

ලංකා දණ්ඩ නිති සංග්‍රහය හා පොදු දේපළ පනත යටතේ විත්තිකරුවනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

 

නව අදහස දක්වන්න