ඇලෝසියස්ගේ ඇප කොන්දේසියක් ලිහිල් කෙරේ | දිනමිණ

ඇලෝසියස්ගේ ඇප කොන්දේසියක් ලිහිල් කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට සතියේ සෑම දිනකම පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට පනවා තිබූ ඇප කොන්දේසිය ලිහිල් කළා ය.

ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ නියෝගයකට අනුවයි.

අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන කළ ඉල්ලීමක් සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හමුවේ පෙනී සිටීමට සැකකරුට අවසර ලබා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට තාවකාලික තහනමට ලක් කර ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ගිණුමේ ශේෂය 2018 පෙබරවාරි 16 වන දා සිට මේ දක්වා තම සේවා දායකයාට දැනුම් දී නොමැති බැවින් එම ශේෂය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට නියෝගයක් කරන ලෙස ද නීතිඥ සජිත ජයවර්ධන අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

 

නව අදහස දක්වන්න