අනාගත ව්‍යසන‍යේ ‍පෙරගමන්කරු‍වෝ | දිනමිණ

අනාගත ව්‍යසන‍යේ ‍පෙරගමන්කරු‍වෝ

වර්ගවාදය හා ආගමික අන්තවාදය නිධන්ගත මානසික ව්‍යාධියකි. එමෙන් ම එය සමාජ පාදඩකරණයේ මතුපිට ප්‍රකාශනයකි. වාර්ගික හා ආගමික උන්මාදයට අවස්ථා සම්පාදනය කළ නො හික්මුණ මාධ්‍ය ද එකී මානෂික ව්‍යාධියේ ම කොටස්කරුවෙකි.

ඉන්දියානු ලේඛිකා මීරා නන්දා විසින් රචිත The God Market ග්‍රන්ථයේ ගෝලීයකරණය විසින් ඉන්දියාව ඉතා රළු පරළු අන්තවාදී හින්දු ජාතිකවාදය වෙත ප්‍රවේශ කර ඇත්තේ කෙසේදැයි සවිස්තරාත්මකව පැහැදිලි වෙයි. එම ආගමික උන්මාදය විසින් හින්දු ආගමික අනුගාමිකයා භාරත භූමියේ සැබෑ උරුමක්කාරයා වන හෙයින් අනෙක් ආගමික බැතිමතුන් දෙවන පෙළ රටවැසියන් සේ සලකා හින්දුන්ට යටහත්පහත් ව වාසය කළ යුතු යැයි ශිව සේනා හා හින්දුත්වා යන සංවිධාන අනතුරු ඇඟවීමක් කර ඇත. මෙම සංවිධාන ‍දෙක ම පෝෂණය වන්නේ භාරතීය ජනතා පක්ෂය Bharatiya Janata party (BJP)සහ රාශ්ඨ්‍රිය ස්වයාම්සේවක් සංඝය (එකමතුව) Rashtriya Swayamsevak Sangh (RSS), නම් වූ හින්දු අන්තවාදී දේශපාලන පක්ෂවලිනි. මීරා නන්දා‍ගේ තර්කනයට අනුව පාලක පංතිය, පූජකාරාම හා ව්‍යාපාරික ප්‍රජාව අත්වැල් බැඳගෙන හින්දු ජතිකවාදය පෝෂණය කරති. එමෙන් ම නාගරික මධ්‍යම පංතිය කේන්ද්‍ර කොට ගෙන පූජකාරාම භ්‍රමණය වෙයි. ඇය එම සංකලනය අර්ථ ගන්වන්නේ රාජ්‍ය, ආගමිකාරාම, සමාගම් සංකීරණය (State, Temple, Corporate Complex) යනුවෙනි, ආගමික පුද පූජා යාච්ඤා සම්පූර්ණයෙන් ම අනෙකට එරෙහි ව වර්ගවාදය හා ආගමික අන්තවාදය ඉලිප්පිම හා වැපිරීම සඳහා භාවිත වෙයි. එමෙන් ම සමාගම් මාධ්‍ය හින්දුත්වාකරණය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටු කරයි. හින්දු අන්තවාදියාගේ විශ්වාසය නූතන ඉන්දියා නිර්මාතෘවරයා තමන් බවයි.

පටු දේශපාලනය

කහකඩ ත්‍රස්තවාදය (Saffron terrorism) නමැති වදන ප්‍රථමයෙන් භාවිත වූයේ ඉන්දියානු හින්දු අන්තවාදය හැඳින්වීමටය. කංච (කසා) වර්ණය හින්දු ජාතිකවාදය සමඟ පෙකනිවැලෙන් ම සම්බන්ධ වූ වර්ණයකි. 2008 වර්ෂයේ මුම්බායි පුරවරයේ බෝම්බ ප්‍රහාරයත් සමඟ ඉන්දීය හින්දු අන්තවාදය මුසල්මානුවන්ට එරෙහි ව උතුරේ සහ බටහිර ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වය අවුළුවා දැමීය. එමෙන් ම 2004 වසරේ ගුජරාටයේ මුස්ලිම් ජනයාට එරෙහි වාර්ගික ගැටුමක් නිර්මාණය කළේය. එම අවමානුෂික ක්‍රියා කහකඩ ත්‍රස්තවාදය ලෙස එවකට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය පී. චිදම්බරම් 2010 අගෝස්තු 05 දින නව දිල්ලි නගරයේ පොදු රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේය. පසුව මෙම වදන විවාදයට ලක් වූ ව ද එය ඉන්දීය හින්දු ආගමික අන්තවාදය අර්ථකථනය කළ නිවැරදි වදනකි. 1992 වසරේ අයොද්‍යා හි බාබ්රි මස්ජිද් ඉස්ලාමීය ආගමික ස්ථානය විනාශ කිරීම හින්දු අනන්‍යතාව ස්ථාපිත කිරීමට ගත් අන්තවාදී ප්‍රයත්නයකි. ගස්නි හි මොහොමඩ් සොමනාථ විහාරය විනාශ කිරීමට එරෙහි ව පරම්පරා ගණනාවකට පසු එකට එක කිරීමේ අන්තවාදී පිළිවෙතකි. එය අතීත ඉතිහාසය වර්තමාන බල දේශපාලනයට යටපත් කිරීමට ගත් මුග්ධ ක්‍රියාවකි. අතීතයේ සිදු වූ සිදුවීම් නිවැරදි කිරීමට ඓතිහාසික සාධක වෙනුවට බල දේශපාලන මිථ්‍යාව ආදේශනය කිරීම කහකඩ ත්‍රස්තවාදයයි. නූතන රාජ්‍යය නිර්මාණය වීමේ දී සියලු වාර්ගිකයන් එක් ජාතියක් ලෙස පරිවර්තනය වීමට අවස්ථාව සලසා දීම වෙනුවට එක් ආගමක අධිකාරිත්වය තුළ එක් ජන වර්ගයක් ඉහළට ඔසවා තැබීමට ගත් උත්සාහය බලය උදෙසා වූ පටු දේශපාලනයයි.

උක්ත වාර්ගික හා ආගමික සන්දර්භය තුළ ජීවය ලද ලාංකික පටු ‍දේශපාලනය විචාරාත්මක ව කියවීම අද දවසේ සියලු පුරවැසියන්ගේ වගකීමකි. එමෙන් ම පුරවරයෙන් පුරවරය ගම් නියම් ගම් සිසාරා විවිධ වරප්‍රසාද යටතේ නිදැල්ලේ සැරිසරන ආගමික අන්තවාදය හදුනාගැනීම අත්‍යවශ්‍ය මහා පොදු සාධකයකි. අනෙකා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වන මොවූහු මනුෂ්‍යත්වය යනු කුමක්දැයි හදුනා නොගත් අමනයෝය. ඉන්දු හා ලංකා ඉතිහාසය මෙන් ම මානවවිද්‍යාව සද්භාව විචාර‍‍යෙන් හා ඥාන විභාගයෙන් හදාරා නැති කූට බුද්ධිමතුන් ඒක පාක්ෂික වංශකතා ගොනු කරමින් ප්‍රචණ්ඩ ගර්භාෂයේ උපත ලද අන්තවාදයට වේදිකා ගොඩනැගීය. නො හික්මුණ සමාගම් හා රාජ්‍ය මාධ්‍ය එකී අන්තවාදය පෝෂණය කරමින් පාදඩ සංස්කෘතියට මංපෙත් සැකසීය. එතැන් සිට විවිධ හණ සලකුණු යටතේ ආගමික උන්මාදයෙන් හා සමූහ උන්මාදයෙන් (religious hysteria or mass hysteria) යුතු අන්තවාදී කණ්ඩායම් ප්‍රචණ්ඩ ගර්භාෂය තුළ ජාතක වී විවිධ සන්නම් (Brand) සහිත ව ජනතාව කුල්මත්කරන මාධ්‍ය ඉසවුවල නිරත විය. වර්ගවාදය හා ආගමික අන්තවාදය නිධන්ගත මානසික ව්‍යාධියකි. එමෙන් ම එය සමාජ පාදඩකරණයේ මතුපිට ප්‍රකාශනයකි. වාර්ගික හා ආගමික උන්මාදයට අවස්ථා සම්පාදනය කළ නො හික්මුණ මාධ්‍ය ද එකී මානෂික ව්‍යාධියේ ම කොටස්කරුවෙකි.

සමූහ උන්මාදය (mass hysteria) යනු පාලනය කළ නො හැකි හැගීම් උත්සන්න වීමෙන් ඇතිවන බිය හා කලබලකාරී හැසිරීම ප්‍රදර්ශනය කිරීමයි. ඇතැම්විට එම තත්ත්වය මනස අනතුරට ලක්වූවන්ගේ (amnesia) ප්‍රදර්ශනාත්මක චරිත ලක්ෂණයක් ද වෙයි. මානසික විකෘතිභාවය නිසා සහකම්පනය අහිමි වෙයි. විශාල කණ්ඩායමක් සම තත්ත්වයේ මානසික ව්‍යාධියක් නිසා ප්‍රචණ්ඩකාරී ව හැසිරීම හා බාධා කිරීම සමූහ උන්මාදය (mass hysteria) හෝ ආගමික උන්මාදය ලෙස හැඳින්විය හැකිය. බොහෝවිට උක්ත මානසික ව්‍යාධිය හටගන්නේ තම පැවැත්ම පිළිබඳ ඇතිවන බිය හා කටකතා හේතුවෙනි. කිසියම් කණ්ඩායමක් තමන් එක සමාන රෝග හෝ සමාජ ව්‍යාධියකින් පීඩා විඳින්නේ යැයි සිතා ඒකරාශිවීමෙන් මෙම තත්ත්වය ජනිතවේ. සමූහ උන්මාදය ඈත අතීතයේ සිට අද දක්වා ම සමාජයේ යහපැවැත්මට බාධා පමුණවා ඇත. සාමකාමී ජනයා සංත්‍රාශයට පත් කරන එම ප්‍රචණ්ඩත්වය බල දේශපාලනික හා වෙ‍ළෙඳ ‍පොළ වුවමනා සඳහා කලින් කළ නිර්මාණය කරන ගැටුම්ය. සමාජ ප්‍රචණ්ඩත්වය පිටුපස සෘජු ව මෙන් ම වක්‍රව බල දේශපාලන ආර්ථික හා ආගමික අභිලාෂ පෙළ ගැසී ඇත.

ආගමික ත්‍රස්තවාදය

ආගමික අරමුණු වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී ව හැසිරීම සැබවින් ම ත්‍රස්තවාදයකි. මක්නිසාදයත් එය සැලසුම් ගත ක්‍රියාවලියකි. පොදු දේශපාලන ප්‍රවාහයේ දී ශිෂ්ට යැයි සම්මත ලෝකයේ අත්පත් කර ගත නො හැකි නො හික්මුණ ආශාවන් ඉටු කර ගැනීම සඳහා ජනයා ප්‍රචණ්ඩකාරී ව වෙනස් වුවමනා ඇති ජන සමූහයකට එරෙහි ව පෙළ ගැස්වීම ආගමික ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කළ හැක. තවද ආගමික ත්‍රස්තවාදය යනු අන්තවාදී භක්තිය හා එම ආගමික පැවැත්මට එල්ලවේයැයි උපකල්පනය කළ පිටස්තර බලවේගවලට එරෙහි ව ආක්‍රමණශීලී ව ප්‍රචණ්ඩත්වය විසුරවා හැරීමයි. සෑම ආගමක් ම තමන් මෛත්‍රියේ, කරුණාවේ, ප්‍රේමයේ, සහෝදරත්වයේ සහ සාමයේ ප්‍රතිරූප යැයි හඩ නගා ප්‍රකාශ කරයි. සැබෑව නම් ඔවුහු සියල්ලෝ ම ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයේ දී ප්‍රචණ්ඩත්වයේ දරුවන් බවය. ප්‍රචණ්ඩත්වය උත්පාදනය වන්නේ ආන්තික බැතිමත්භාවය හා ආගම වෙනුවෙන් ආත්ම පරිත්‍යාගය (self-immolation) හේතුවෙනි. එම ආගමික මුග්ධභාවය නිසා ඕනෑම වංචනිකයකුට අනුගාමිකයන් අනෙකාට එරෙහි ව සටනට පෙළගැස්විය හැකිය. අනෙකා විනාශකරන විසකුරු බෝම්බයක් බවට පරිවර්තනය කළ හැකිය. ඔබ යම් වංචනිකයකුගේ අනුගාමිකයකු වූ තැන් සිට ඔබේ සහකම්පනය ගිලිහී නිදහස් චින්තනය ගබ්සා වෙයි. එතැන් සිට ඔබ ප්‍රචණ්ඩ සත්ත්වයෙකි.

ලෝකය පුරා ආගම් දස දහසක් හා භාෂා හය දහස් හත් සීයයක් පමණ වේ. එය මානවයා මෙතෙක් පැමිණි ගමන්මගේ විවිධත්වයේ ස්වභාව යයි. සෑම අනුගාමිකයෙක් ම තමා අදහන ආගම හා තමා අයත් ජන වර්ගය අන් සියල්ලට වඩා ශ්‍රේෂ්ට යැයි විශ්වාස කරයි. එහෙත් සත්‍යනම් කිසිදු ආගමක් අනෙකට වඩා ශ්‍රේෂ්ඨ හෝ පරිපූර්ණ නැති බවය. කිසිදු ජන වර්ගයක් අනෙකට වඩා උසස් හෝ පහත් නැත. සෑම ශ්‍රමණයෙක් ම තම ආගම ඉහළට ඔසවා අනෙක් සියලු විශ්වාස හෙළා දකියි. එතැන්හි ම අන්ධ භක්තිකයා අනෙකා අභිභවා යාමට තම ආගම ඉහළට ඔසවා තැබීමට යාමෙන් ගැටුම නිර්මාණය වෙයි. මානව ඉතිහාසයේ බොහෝ ගැටුමිවලට සෘජුව ම හා වක්‍ර ව ආගම මැදිහත් ව ඇත. ගෙවීගිය වසර තුන් දහස තුළ යුද්ධයක් නොමැති ව ලෝකය කල් ගෙවා ඇත්තේ දින හැත්තෑ දෙකක් පමණි. ලොව ඇති ප්‍රධාන ඇදහිලි දොළස ම නිර්මාණය වී ඇත්තේ එම කාල පරිච්ඡේද යේය. සෑම ආගමක ම අවමානුෂික යුද්ධයේ රුධිරය තැවරී ඇත. එම කාල පරිච්ඡේදය තුළ වෛරයෙන් ගිනිගන්නා ‍ලෝකය සුවපත් කිරීමට සියලු ආගම් අසමත් විය. එහෙයින් ලොවට සාමය කැඳවා ඒමට ආගම සතු වූ කාර්යභාරය අවසන් වී හෝ අ‍හෝසි වී ඇත. සැබැවින් ම සියලු ආගම්වල මූලික පදනම එහි නිර්මාතෘවරයාගේ අභාවයත් සමඟ මිහිදන් විය. ආගම යනු අද කල්ඉකුත් ව සියලු රෝග ව්‍යාධියෙන් ඔත්පළ ව මිය ගිය, ඕජස ගලා හැලෙන, මිහිතලය පුරා පැතිරයන වසංගතයකි. සැබවින් ම මොවුන් උභය ජීවියා මෙන් ම පරිනාමයේ විකෘතියකි.

රබීන්ද්‍රනාත් තාගෝර් යටත් විජිත පාලනයට එරෙහිව ඉන්දියාව නිදහස් අරගලය සඳහා ඉතා සුදුසු භාෂාවක් සොයමින් සිටින මෙහොතේ දී ගෝලීය ඒකීයත්වය හා මානවයා ලෝකයේ ප්‍රගමනයට තමා විසින් ම විවෘත විය යුතුය යන මතවාදය ඉදිරිපත් කළේය. මෙම විශ්වීය මතවාදය සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කිරීම නිසා තාගෝර් විශ්ව කාව්‍යකාරයා යැයි හදුන්වනු ලැබීය. මෙම දාර්ශනික පදනම ඉන්දියානුවාගේ ලෝක දැක්ම වෙනස් කළේය. නිදහස් අරගලය තුළ මානවයාගේ විශ්වීයත්වය නිවැරදිව අවබෝධ කර දෙමින් එහි ගමන් මග සකස් කළේය. එහෙත් පටු පක්ෂ දේශපාලනය හා ගතානුගතික ආගමික නියෝජිතයෝ සහ ප්‍රභූ පංතිය මෙම මතවාදය දැඩි ලෙස පිළිකුල් කළහ. ඔවූන්ගේ අවස්ථාවාදී බල දේශපාලනය විසින් පොදු ජනයා සර්වාංග ශික්ෂණ මතවාදය සහ විශ්ව මානවියත්වය වෙත ළඟාවීමට තිබූ සියලු මාර්ග අසුරා බාධක පැමිණ වීය.

ව්‍යාජ ජාතිවාදය

තාගෝර් මතවාදය දැඩි ලෙස විවේචනය කරන කණ්ඩායම් සමාජ විප්ලවය ඉතා ක්ෂණික ව අත්පත් කර ගත හැකි සරල ක්‍රියාවකැයි කල්පනා කළහ. එහෙත් ප්‍රගතිශීලී හා නිර්මාණශීලී ශික්ෂණවේදයකින් තොර ව සමාජය වෙනස් කිරීම හිතළුවක් සහ මානසික විකෘතියක් පමණි. සමාජ ගිලානත්වය දේශපාලන රෝග ලක්ෂණයකි. බලය අත්පත් කර ගැනීම නමැති අන්ධ විප්ලවය පටු විකෘති ක්‍රියාදාමයකි. තාගෝර් ව්‍යාජ ජාතිකවාදයට එරෙහි විය. දේශපාලන - ආගමික හා වාණිජ සංවිධානවලට යෙදිය හැකි අනෙක් නාමය ජාතිකත්වය යැයි තාගොර් අවධාරණය කළේය. ජන ජීවිතය ඒකාබද්ධ කළ හැකි ශක්තිමත් වෙළුම ජාතිකත්වය යැයි කෑදර බල දේශපාලනය විශ්වාස කරයි. සැබවින්ම එය මනුෂයත්වයේ විකෘතියකි. සමාජ සංහිඳියාව කෙලෙසා දමන භයානක වසංගතයකි.

“ඔබ බල දේශපාලනය ආගම හා වෙ‍ළෙඳ ‍පොළ පාදඩ කණ්ඩායම්වලින් ඉවතට ගැනීමට වෙර දරයි. නමුත් මෙම ක්‍රමය පාදඩ කණ්ඩායම්වලින් පිටතටගැනීම ඉතා දුෂ්කරය”.

බල දේශපාලනය, අන්තවාදී නො හික්මුණ ආගමික අනුගාමිකයා, කූට වෙ‍ළෙඳුන්, රූකඩ හමුදා හා ව්‍යාජ බුද්ධිමතුන් ලාංකික පාදඩ පංතියේ සංකලනයයි. ආගමික පුද පූජා සම්පූර්ණයෙන් ම අනෙකාට එරෙහි ව වර්ගවාදය හා ආගමික අන්තවාදය ඉලිප්පිම හා වැපිරීම සඳහා භාවිත වෙයි. එමෙන් ම සමාගම් මාධ්‍ය අන්තවාදය වෙනුවෙන් නො නිදා දැවැන්ත මෙහෙවරක් ඉටු කරයි. මෙවුන් සියල්ලෝ ම අනාගත ව්‍යසනයේ කොටස්කරුවෝ සහ පෙරගමන්කරුවෝ ය.

නව අදහස දක්වන්න