කම්පුචියාව! | දිනමිණ


 

කම්පුචියාව!

ජනාධිපතිවරයාගේ කම්පුචියා නිල සංචාරය අංශ කිහිපයකින් ම ශ්‍රී ලංකාවට වැදගත් ය. ආසියාවේ ශීඝ්‍ර ආර්ථික දියුණුවක් සහිත රාජ්‍යයක් සමග සබඳතා තර කර ගැනීම සේම ආර්ථික ගනුදෙනු පුළුල්කර ගැනීම වාසිදායක ය. වියට්නාමය, කම්පුචියාව, ලාඕසය, තායිලන්තය වැනි රාජ්‍යයන් සැලැකිය හැක්කේ නව ආර්ථික ප්‍රබෝධයක් සහිත රටවල් හැටියට ය. මියන්මාරය ද ඇතුළත් ව ඉහත රටවල් සියල්ල බෞද්ධ රාජ්‍යයෝ ය. ආසියාවේ බෞද්ධ රටවල් සහයෝගයෙන් ක්‍රියා කිරීම තවත් අතෙකින් වැදගත් ය. කම්පුචියාව මුලින් හැඳින්වූයේ කාම්බෝජය යන ලෙසින් ය. එහෙත් නූතන ලෝක ව්‍යවහාරයට අනුව අද එය කම්පුචියාව බවට පත්වී ඇත. ශ්‍රී ලංකාව හා කම්පුචියාව අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතී.

ආගමික, සංස්කෘතික හා ආර්ථික වශයෙන් සමීප සමානතා ගණනාවක් රටවල් දෙක අතර පවතී. එහි අර්ථය වන්නේ සමාන අදහස් - ආකල්ප හා චින්තන රටා දෙරටෙහි ම පවතින බව ය. ශ්‍රී ලංකාවේ මෙන් ම කම්පුචියාවේ ද ප්‍රධාන ආගම ථෙරවාදී බුදුදහම වෙයි. එහි ජනගහනයෙන් 90%ක් ම බෞද්ධයෝ වෙති. ඉස්ලාම් ආගම මෙන්ම කතෝලික දහම වෙනත් ආගම් අතර පවතී. කෘෂිකර්මයට මූලික තැනක් ලබා දුන් කම්පුචියාව මෑතක සිට කාර්මිකකරණය වෙමින් පවතී. ස්වාභාවික රබර් කම්පුචියාවේ ප්‍රධාන අපනයනයකි. මෑතක සිට අපනයන ආර්ථිකය කෙරෙහි වැඩි නැඹුරුවක් එරට ආර්ථිකයෙහි පවතී. ශ්‍රී ලංකාවේ අනාගත ඉලක්කය ද අපනයන ආර්ථිකය ඔස්සේ ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබීම ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස සිය සංචාරය ආරම්භ කළ පළමු දිනයේ ම එරට ව්‍යාපාරික සභාවකට සහභාගී වූහ. එහි දී මතු වූ වැදගත් අදහසක් වූයේ ඇඟලුම් කර්මාන්තයේ දී රටවල් දෙකට සාමූහිකව ක්‍රියා කිරීමේ හැකියාවක් ඇති බව ය. ශ්‍රී ලංකාව ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ප්‍රකට ය. ඉන්දියාව, බංගලිදේශය මෙන්ම කම්පුචියාව ද ආසියාවේ එම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රකට රටවල් ය. ශ්‍රී ලංකාවේ විරැකියාවට විසැඳුමක් ලෙස ද, විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් ලෙස ද ඇඟලුම් ක්ෂේත්‍රය පවතී. කම්පුචියාවේ තත්ත්වය ද එය ම වේ. එහෙත් අපේ ඇඟලුම් කර්මාන්තය වරින් - වර විවිධ අභියෝගවලට ලක් වෙයි. ආසියාවේ රටවල් සමඟ සාමූහිකව ක්‍රියා කිරීමෙන් මේ තත්ත්වයට විසැඳුම් සපයාගත හැකිය.

ආසියාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ප්‍රකට රටවල් කලාපීය වෙළෙඳපොළ ගැන දක්වන උනන්දුව අඩු බව පෙනී ගොස් තිබේ. ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ අමෙරිකාව හා යුරෝපීය වෙළෙඳපොළ කෙරෙහි ය. අපෙන් මිලට ගනුලබන ඇඟලුම් අමෙරිකන් ලේබලය සහිතව ආසියානු වෙළෙඳපොළට නැවත ඉදිරිපත් වන්නේ ඉහළ මිල ගණන් යටතේ ය. ඒ හැරත් අමෙරිකානු හා යුරෝපීය වෙළෙඳපොළ තත්ත්වයන් විවිධ චලනවලට හා විවිධ බලපෑම්වලට හසුවෙයි. අපේ ඇඟලුම් හා “විදේශීය කෝටා” අතර ගැටලු වරින් - වර පැන නඟී. ආසියාවේ රටවල් සාමූහිකව ක්‍රියා කරන්නේ නම්; මේවාට සාර්ථක විසැඳුම් සපයාගත හැකි ය.

ස්වභාවික රබර්, දැව, රෙදිපිළි හා මැණික් කම්පුචියාවේ ප්‍රධාන අපනයන ලෙස සැලැකිය හැකි ය. කම්පුචියාව වනාන්තර වවමින් ඒවායෙහි දැව අපනයනය කරයි. වන කළමනාකරණය පිළිබඳ පාඩම් ලබාගත හැකි රාජ්‍යයන් දෙකක් ලෙස මැලේසියාව හා කම්පුචියාව සැලැකිය හැකි ය. මෙයින් කම්පුචියාව කෙරෙහි අපගේ අවධානය යොමුවී තිබුණේ අඩුවෙන් ය. ජනාධිපතිවරයාගේ නිල සංචාරයෙන් පසු දැව කර්මාන්තය සම්බන්ධයෙන් කම්පුචියාවේ පාඩම්ද අපට ලබාගත හැකි ය. කම්පුචියාවේ මැණික් කර්මාන්තය විදේශ විනිමය උපයන ප්‍රධාන ක්ෂේත්‍රයකි. ආසියාවේ මැණික්වලට සේම අප්‍රිකාවේ දියමන්තිවලට ලොව පුරා විශාල ඉල්ලුමක් පවතී. ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය පවතින්නේ යම් පසුබෑමකට ලක්වෙමින් ය. කම්පුචියාවේ තත්ත්වය ඊට වඩා වෙනස් ය. එහි මැණික් කර්මාන්තය තුලනාත්මකව පවත්වාගෙන යයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ සිව්දින නිල සංචාරයක යෙදෙන්නේ එරට රජයෙන් ලැබුණු ආරාධනයකට අනුව ය. ශ්‍රී ලංකාවේ නායකයා ප්‍රමුඛ දූත පිරිස් පිළිගැනීම සඳහා මහජනයාගෙන් පවා උණුසුම් ප්‍රතිචාරයක් ලැබී තිබුණු බව පෙනෙන්නට තිබේ. ඉහත ආරාධනයෙන් ද මහජනයාගේ ප්‍රතිචාරවලින් ද පෙනීයන්නේ කම්පුචියාව අපේ රට කෙරෙහි දක්වන ගෞරවනීය සැලැකිල්ල බව කිව හැකි ය. ජනාධිපතිවරයා සිය සංචාරය තුළ දී කම්පුචියා රජු, අගමැතිවරයා හා තවත් විශේෂ පුද්ගලයන් ගණනාවක් හමුවීමට නියමිත ය. වෙළෙඳ, ආර්ථික හා හා සංචාරක ක්ෂේත්‍රවල ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට ද නියමිත ය. විශේෂයෙන් බෞද්ධාගමික සබඳතා තර කරගැනීම සඳහා සාකච්ඡා කිහිපයක් පැවැත්වෙන බව ද වාර්තා වී ඇත.

2015 න් පසුව ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක මතය හා ආසියානු මතය සුබවාදී ලෙස වෙනස්වූ බව පිළිගත යුතු ය. රටේ ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා මානව නිදහස ඊට හේතුවන්නට ඇත. මේ හැරෙන්නට නූතන ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ලෝකය සමඟ එකට ගමන් කරන ප්‍රතිපත්ති සමූහයක් අනුගමනය කරයි. මෙබඳු හේතු - සාධක නිසා ශ්‍රී ලංකාව ලෝකයේ අවධානය හා ආකර්ෂණය දිනාගෙන ඇත. එය මෑත කාලයේ අප ලැබූ සුවිශාල ජයග්‍රහණයක් ලෙස සැලැකීම වඩා නිවැරැදිය. ශ්‍රී ලංකාව තවදුරටත් අසමත් රාජ්‍යයක් නොවන බව එයින් පැහැදිලි වෙයි.

අපගේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුත්තේ අමෙරිකාවට හා යුරෝපයට ප්‍රමුඛතාව ලබා දෙමින් නොවේ. අමෙරිකාව හා යුරෝපය අතර හොඳ හිත පවත්වාගෙන යා යුතු අතරම ආසියානු රාජ්‍යයන් කෙරෙහි වැඩි නැඹුරුවක් තබා ගැනීම වැදගත් ය. ජනාධිපතිවරයා එම අව‍බෝධයෙන් යුතුව ක්‍රියාකරන බව පෙනෙයි.

 

නව අදහස දක්වන්න