ශ්‍රී ලංකාවට වඩා පහළ ආර්ථික වර්ධන රටවල් ගිය වසර 50 දී අපේ රට පසු කළා | දිනමිණ

ශ්‍රී ලංකාවට වඩා පහළ ආර්ථික වර්ධන රටවල් ගිය වසර 50 දී අපේ රට පසු කළා

සාම්ප්‍රදායික සටන් පාඨ කියමින් සිටින ආණ්ඩුවලට රට දියුණු කරන්න බැහැ

සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ 50 වැනි සංවත්සරයට එක්වෙමින් අගමැති කියයි

ශ්‍රී ලංකාවට වඩා පහළ ආර්ථික වර්ධන වේගයක් තිබූ රටවල් පසුගිය වසර 50 තුළ දී ශ්‍රී ලංකාව පසු කර ගිය බවත් දේශපාලන පක්ෂවලට බෙදී රට, ජාතිය, සිංහලකම යන සාම්ප්‍රදායික සටන් පාඨ කියමින් සිටින කිසිදු ආණ්ඩුවකට රට දියුණු කළ නොහැකි බවත් නව අදහස් මඟින් ඉදිරියට යෑමට ජනතාව සූදානම් වුවහොත් එළැබෙන වසර පහ තුළ දී අපේ රටේ ප්‍රශ්න විසදා ගැනිමේ අඩිතාලම දමාගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (7) සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ 50 වැනි සංවත්සරයට එක්වෙමිනි. ඒ වෙනුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ විශේෂ උත්සවයක් සංවිධානය කැර තිබිණි.

එහිදී සපුගස්කන්ද ඛනිජ තෙල් පිරිපහදු මධ්‍යස්ථානයට වසර 50 සැපිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විය. ආයතනයේ පැරණිම සේවකයන් 12 දෙනකු ඇගයීමට ද ලක් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

රට ගොඩනැගීමට නම් නව ආයෝජන ලබාගෙන උත්සාහයෙන් ඉදිරියට යා යුතුයි. එම වැඩකටයුත්ත කරන්න බැරිනම් රට තවත් පිරිහෙනවා. ඇෆ්ගනස්ථානය මෙන් රට ආපස්සට යවනවාද, නැතිනම් රට ඉදිරියට ගෙනයනවාද කියා ජනතාව බුද්ධියෙන් සිතා වැඩකටයුතු කළයුතුයි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සමඟ මට ලොකු සම්බන්ධයක් තිබෙනවා. බියගම ආසනයේ ප්‍රථම මන්ත්‍රීවරයා ලෙස 1977 සිට 1994 දක්වා මා මේ ප්‍රදේශයේ සිටියා. 1975 සිට පිරිපහදුවේ සේවක මණ්ඩලය මා දැනගෙන සිටියා. 1977 ඡන්දයට මුහුණදුන් කාලයේ මාගේ නිවෙස තිබුණේ පිරිපහදුව කිට්ටුවෙන්. ඒ නිසා මෙම පිරිපහදුව ගැන හොඳින් දන්නවා. මෙහි සේවකයන් අපේ නිවෙසට නිතරම එනවා. මෙහි කළමනාකරු චන්ද්‍රසේකර මහතා ඒ කාලයේ මුණගැසී තිබෙනවා. මා බියගම ආසනයේ මන්ත්‍රී වී සිටිද්දී එතුමා තමයි පිරිපහදුවේ වැඩ කටයුතු කෙළේ.

පරිපහදුවෙන් 1979 දී බොරතෙල් බැරල් 50000ක් නිපදෙව්වා. කැළණිය ආසනයේ එදා සිටි කර්මාණ්ත ඇමැති සිරිල් මැතිව් මහතා පිරිපහදුවේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඒ වගේම දහම් විමලසේන හිටපු සභාපතිවරයා මෙහි දියුණුවට විශාල සේවයක් කළා. වසර පනහක් මෙම පිරිපහදුව ඉදිරියට ගොස් තිබෙනවා.

1983න් පසුව විශාල අභියෝගයක් වුණේ පිරිපහදුව ආරම්භ කරන්න. නමුත් අපි කොහොම හරි පිරිපහදුව ආරක්ෂා කළා. පිරිපහදුව ආරක්ෂා කරන ගමන් චර්ච් හිල් ජලාශයත් ආරක්ෂා කරන්න පියවර ගත්තා. මොකද එතන සිට තමයි පිරිපහදුවට පහර දෙන්න පුළුවන්. ප්‍රහාර කොපමණ එල්ල වුණත් පිරිපහදුවට එල්ල වුණේ නෑ. ඒ සඳහා ආරක්ෂක අංශ එදා ශක්තිමත් කළා. විශාල වැඩ කොටසක් කරලා එදා පිරිපහදුව ආරක්ෂා කළා. දැන් මේ පිරිපහදුව තවත් දියුණු වී තිබෙනවා. ඉදිරියටත් දියුණු කිරීමට වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. මෙම පිරිපහදුවේ වැඩකටයුතු කළ අයට මා නැවතත් ස්තූතිවන්ත වෙනවා. ඒ අයගේ උදාර සේවය අපි යළිත් මතක් කරනවා. මා බියගම මන්ත්‍රී වී පැමිණි කාලයේ බියගම කියන්නේ ග්‍රාමීය ප්‍රදේශයක්. මේ පිරිපහදුව පමණයි තිබුණේ. ඒත් එදා අපි තීරණය කළා බියගම කර්මාණ්ත කලාපයක් බවට පත්කරන්න. අද බියගම කර්මාණ්ත රාශියක් ඉදි වී තිබෙනවා. එදා කර්මාණ්ත මෙහෙට එන්න ප්‍රධාන හේතුව තමයි බලශක්තිය.

පසුගිය වසර 50 තුළ දී අපි රට ගැනත් සිතිය යුතුයි. පිරිපහදුව ඇති කෙළේ 1963. එදා තිබූ පුද්ගලික සමාගම් ජනසතු කර සංස්ථාව ආරම්භ කිරීම මඟිනි. එවකට අපි කුඩා කාලයේ ඛනිජ තෙල් ලබා දුනේ ශෙල්, කැල්ටෙස්, මොබිල් යන සමාගම් මඟින්. අද ලෝකයේ ඒවට වඩා විශාල සමාගම් තිබෙනවා. අපි මේ පිරිපහදුව මඟින් ලංකාවට අවශ්‍ය ඛනිජ තෙල්වලින් කොටසක් ලබා ගත්තා. ශෙල්, කැල්ටෙස්, මොබිල් යන සමාගම් තුනම සිංගප්පූරුවට ගියා. එදා සිංගප්පූරුවේ කිසිදු පිරිපහදුවක් තිබුණේ නෑ. අද වන විට සිංගප්පූරුවේ පිරිපහදු ගණනාවක් තිබෙනවා.

සිංගප්පූරුවට අවශ්‍ය ඛනිජ තෙල් ප්‍රමාණයටත් වඩා ඔවුන් තෙල් නිපදවා වරායට එන නැව් වලටත් දෙනවා. සිංගප්පූරුවේ වරාය සහ ඛනිජ තෙල් පිරිපහදුව දෙකම එකට දියුණු කෙළේ. අද සිංගප්පූරුව විශාල දියුණුවක් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම සිංගප්පූරුවේ විශාලම ගුවන්තොටුපල ශැන්ගින් ගුවන්තොටුපළයි. එතනට එන ගුවන් යානා සඳහා තෙල් ලබාදෙන්නේ මෙම පිරිපහදු මඟින්. ඛනිජ තෙල් මඟින් විශාල ආදායමක් සිංගප්පූරුව ලබා ගත්තා. අපි සිංගප්පූරුවට පෙර පළමු පිරිපහදුව ආරම්භ කළත් අපිට සිංගප්පූරුව වගේ දියුණු වීමට හැකි වුණේ නෑ. ඒ අය ඉදිරියට ගිහින් විශාල පිරිපහදු කර්මාන්තයක් ඇති කළ ඒ අයට සහ අවට ප්‍රදේශයට අවශ්‍ය තෙල් ලබා දෙනවා. අද අපි මිලදී ගන්නා තෙල් එන්නේ සිංගප්පූරු කොටස් වෙළෙඳ පොළෙන්. අපිට තිබූ අවස්ථාවෙන් අපි ප්‍රයෝජනය ගත්තේ නෑ.

අපිට හොයන්න තිබෙන ප්‍රශ්නය තමයි මොකද්ද ලංකාවට සිදු වුණේ කියන එක. ඇයි අපි පිටුපසට ගියේ. 1977 අපිට වඩා නොදියුණු වියට්නාමය අද අපේ රටේ මට්ටමට සිටිනවා. වියට්නාමයේ කර්මන්ත ඇමැති 1991 මා කර්මාන්ත ඇමති වී සිටිද්දි මා මුණ ගැසි ඇහුවා කොහොමද ආයෝජන ලබා ගන්නේ කියා. දැන් අපිට ඒ අයගෙන් අහන්න වෙලා තියෙනවා කොහොමද කර්මාන්ත ලබාගන්නේ කියා. බංගලාදේශය හැදුනේ 1971 දී පකිස්ථානයෙන් වෙන් වෙලා. ඒ අය හැදුවේ ගෝනී විතරයි .නමුත් අද අපිටත් වඩා විදේශ විනිමය එනවා. ඉන්දුනීසියාව අපට වඩා පිටුපසින් සිටියේ. තායිලන්තය අපිට වඩා පිටුපසින් සිටියේ. මැලේසියාව ලංකාව හා සමානව සිටියේ. නමුත් අපිට රට ගැන ක්‍රියා කරන්න බැරි වුණා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එදා ලංකාවට නොහැකි වුණා. ඒ රටවල් සිතුවේ තමන්ගේ දේශපාලනය කුමක් වුණත් රටේ ජනතාවට හොද ජීවන තත්ත්වයක් ලබාදීමටයි. ඔවුන් එයින් මිදුනේ නෑ.

අපි හැමදාම කතා කෙළේ රට බේරගන්න ඕනෑ. ජාතිය, සිංහලයන් බේරා ගන්න ඕනෑ කියා කිව්වා. නමුත් රටත්, ජාතියත්, සිංහලයනුත් වසර 50ක සිට ආපස්සට ගිහින්. ඇයි අපිට ඒ පිළිබඳව සිතන්න නොහැකි වුණේ . තාම මේ රටේ විරැකියාව තිබෙනවා. රැකියා තිබුණත් ආදායම් මට්ටම අඩුයි. ඒ නිසා රටේ දේශපාලනය ගැන විශ්වාසයක් නැති වෙලා. සටන් පාඨ වලින් විතරක් රටක් දියුණු කරන්න බෑ. කැපවීමෙන් ක්‍රියා කළ යුතුයි. දැන් අපි ඇෆ්ගනස්ථානය මෙන් ආපස්සට යනවාද, නැතිනම් අපි ඉදිරියට යනවාද යන්න ගැන බුද්ධියෙන් සිතිය යුතුයි. එයයි අපිට තිබෙන එකම ප්‍රශ්නය. අපි අපේ උත්සාහයෙන් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපිට ශක්තිය තිබෙනවා. නව දේශපාලන ක්‍රමයක් තිබෙනවා. කැපවීමක් තිබෙනවා.

ඒ වැඩකටයුත්ත කරන්න බැරිනම් රට තවත් පිරිහෙනවා. අනාගතයට විශාල පිම්මක් ගෙන රට ගොඩගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. ජනතාවගේ විශ්වාසය ලැබෙන පරිදී අපේ අදහස් වෙනස් කර ගනිමින් අපි ඉදිරියට යා යුතුයි. එම විප්ලවයට අපි ලෑස්ති විය යුතුයි. එයට ජනතාව සූදානම් වුණොත් එළැබෙන වසර පහ තුළ දී අපේ ප්‍රශ්න විසදාගත හැකි ලෙස අඩිතාලම දාගත හැකියි. අපි ඉන්නේ ඉන්දියන් සාගරය මැදයි. ඉන්දියන් සාගරයේ නැව් සියල්ල සිංගප්පූරුවට යැවීමට අවශ්‍ය නෑ. එම නැව්වල සේවා සඳහා ලංකාවට ගෙන්වා ගන්න පුළුවන්.

කොළඹ වරාය මේ කලාපයේ විශාලම වරායයි. එතනින් අපි දියුණු විය යුතුයි. අපේ ගුවන්තොටුපොළ දියුණු කළ යුතුයි. ඒවා සඳහා අවශ්‍ය සේවා සැපයිය යුතුයි. අපි කලාපයේ කේන්ද්‍රස්ථානය විය යුතුයි. සම්පූර්ණ අපනයන ආර්ථිකයකට අපි ගමන් කළ යුතුයි. ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කළ යුතුයි. ලංකාව ලෝකයේ අලුත් වෙළෙඳ පොළවල් සමඟ එකතු වී ආයෝජන ලබා ගෙන කලාපය ජයගත යුතුයි. පිරිපහදුවේ වසර 50 ගැන සතුටු වෙමින් අපේ අනාගතය පිළිබඳව කණගාටු වෙනවා. අපි අපේ උත්සාහයෙන් දියුණු විය යුතුයි.

මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා-

මා විෂය භාර ඇමැතිවරයා වශයෙන් සිටිය දී, සපුගස්කන්ද පිරිපහදුවට වසර 50ක් සැපිරෙන අවස්ථාවේ සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මේ සපුගස්කන්ද ප්‍රදේශයේ බියගම ආසනයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පය නොගහපු තැනක් නෑ. 1977 රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ බියගම ආසනයෙන්. ඒ නිසා එතුමා තෙල් පිරිපහදුව පිළිබඳව හොඳින් දන්නවා. මෙම තෙල් පිරිපහදුව ඛනිජ තෙල් සංස්ථාවේ හදවතයි. මෙම පිරිපහදුව ආරම්භ කිරීමට පෙර ලංකාවට ඛනිජ තෙල් ආනයනය කෙළේ පිරිපහදු කළ ඒවායි. නමුත් මෙම පිරිපහදුව ආරම්භ කිරීමත් සමඟ වසරකට කෝටි ගණනක මුදලක් ඉතිරි කර ගැනීමට අපට හැකි වුණා.

රුපියල් කෝටි 18ක ආයෝජනයක් මත මෙම පිරිපහදුව ඉදි කළා. මෙය ආරම්භ කළ අවදියේ තෙල් බැරල් 38000ක් නිෂ්පාදනය කළා. නැවතත් එම ප්‍රමාණය 50000ක් කිරීමට කටයුතු කෙළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබියදීයි. මෙම පිරිපහදුව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හැරුණු කොට කිසිදු පක්ෂයක් සතයකවත් ආයෝජනයක්, ප්‍රතිසංස්කරණයක්, අලුත්වැඩියාවක් කර නෑ. මෙම පිරිපහදුව මඟින් රටට විශාල මුදලක් ඉතිරි වෙනවා. එය හොඳින් වටහාගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම සංකල්පයක් අනුව ගුවන්යානා තෙල් පිරිපහදුව ආරම්භ කළා. ඒ මඟින් විශාල මුදලක් රටට ඉතිරි වුණා.

ඉදිරියේදී මෙහි නිෂ්පාදනය බැරල් 76000ක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඕමාන් රජය සමඟ එකතු වී නව පිරිපහදුවක් ආරම්භ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉන්ධන සුරක්ෂිතතාව, ගබඩා කිරීමේ ටැංකි සංකීර්ණ ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. එහි ප්‍රසංම්පාදන කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. මෙම ප්‍රතිසංස්කරණය මඟින් රටේ ඉන්ධන සුරක්ෂිතතාව වැඩිවෙනවා. වසර ගණනාවක් පැරණි ඉන්ධන ප්‍රවාහන නල අලුත් වැඩියා කිරීමට අපි ක්‍රියාත්මක වුණා. ඒවා වසර 70ක පරණයි. ඒවා ප්‍රතිසංස්කරණය නොකළොත් දින කීපයක් නැව් වරායේ තබන්න සිදු වෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය වෙනවා. මෙම නල මඟින් පෙරට වඩා අඩු කාලයකින් තෙල් ගබඩා කළ හැකියි. ඒ නිසා විශාල මුදලක් ඉතිරි වනවා.

මන්නාරම් අක්කවේලි ද්‍රොණියේ ස්වාභාවික වායු පිහිටා තිබෙනවා. එයින් ප්‍රයෝජන ගෙන ස්වභාවික වායු නිපදවීමේ වැඩසටහන ආරම්භ කිරීමට අපි සාකච්චා කර තිබෙනවා. ඒ මඟින් විශාල ධනයක් රටට ලබාගත හැකියි. ලංකාව 2023දී ස්වභාවික වායු නිපදවන රටක් බවට ලංකාව පත් වෙනවා.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය-

මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් රුධිරය අවශ්‍ය වෙනවා සේ ප්‍රවාහනය ශක්තිමත් කිරීමට ඉන්ධන අවශ්‍යයි. එම ඉන්ධන අවශ්‍යතාවයෙන් සියයට 35ක් ලංකාවේ හදනවා. අනෙක් ප්‍රමාණය ආනයනය කරනවා. මෙම පිරිපහදුවේ කිසිදු නවීකරණයක් 2015ට පෙර සිදු වී නෑ. අපි හැකි අයුරින් නවීකරණය කළා. විවිධ සමාගම් මෙය නවීකරණය කිරීම සඳහා යෝජනා කළද මෙහි කළමානාකර මහතුන් ප්‍රකාශ කරන්නේ කොටස් වශයෙන් පිරිපහදුවේ සේවකයන් ලවා අලුත්වැඩියා කර තිබෙන බවයි. අපි පසුගිය වසර කීපය තුළදී මෙහි විශාල ගැටලුවක්ව පැවතුන සේවක ප්‍රශ්න විසදීමට කටයුතු කළා. සේවකයන්ගේ ගැටලු සියල්ල දැන් අවසන්.

සමහරු කියනවා තෙල් ටැංකි සින්නක්කරව පිටරටට විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනවා කියා. නමුත් එසේ කිසිදු ගණුදෙනුවක් වන්නේ නෑ. රටට අහිතකර ක්‍රියාමාර්ග මෙම ආණ්ඩුව ගන්නේ නෑ. විදුලිබලයට, දුම්රිය සේවයට, ගුවන්තොටු පොළට ඉන්ධන ලබාදීමේදී පිරිපහදුවට පාඩු වුණත් ආයතනයේ ස්ථාවර බව එළසම තබා ගැනීමට අපිට හැකි වුණා. ආයතනයේ සේවකයන්ගේ කැපවීම මත නොසැලී මෙම ආයතනය ඉදිරියට ආවා. අපි මෙරට ඉන්ධන අවශ්‍යතාවයේන් සියයට 50ක් මෙහි නිෂ්පාදනය කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ආයතනයේ මුදල් විශාල ප්‍රමාණයක් ප්‍රයෝජන රහිත වැඩවලට යෝදා ගෙන තිබුණා .අපි එය වැලැක්වූවා.

මෙම අවස්ථාව සඳහා රුවන් විජයවර්ධන, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ජී.එස්. විතානගේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවක මණ්ඩලය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වුහ.

අසේල ලියනගේ සහ බියගම විශේෂ
ජයාරූප - හිරන්ත ගුණතිලක 

 
 

නව අදහස දක්වන්න