රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපනයන වෙළෙඳපොළ පුළුල් කරනවා | දිනමිණ

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අපනයන වෙළෙඳපොළ පුළුල් කරනවා

නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර

නව අපනයනකරුවන් සඳහා වෙළෙඳපොළ හඳුන්වා දෙමින් අපනයන ආදායම මත පදනම්ව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

රටේ ව්‍යවසායකයින් සෘජු අපනයනකරුවන් බවට පත්කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පෙන්වා දුන් ඒ මහතා රටක් ලෙස ඉදිරියට යාමට අපනයන ඉතාම වැදගත් බව ද අපනයන ආදායම තවදුරටත් ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා බව ද පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

නිවේදන, ලිපි ලේඛන, මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්න සඳහා ඒ ඒ විෂය භාර ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග තුනක් සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ විය.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා - අපනයන සංවර්ධන මණ්ඩලය හරහා අපේ රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් දී තිබෙනවා. අපනයනකරුවන්ට අවශ්‍ය ශක්තිය දී තිබෙනවා. නව අපනයනකරුවන් 2000 ක් හඳුන්වා දීම වගේම ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපළ නිර්මාණය කර තිබෙනවා. 2018 වසරේ මුල් කාර්තුවට සාපේක්ෂව වෙළෙඳ අපනයන සියයට 7.5 ක වර්ධනයක් මේ වසරේ අරගෙන තිබෙනවා. අපනයන ආදායම සියයට 11.3 ක වර්ධනයක් තිබෙනවා.

අපනයන මත රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු වෙනවා. අපේ ඇඟලුම් ක්ෂේත්‍රය ඩොලර් මිලියන 4000 ක ආදායමක් 2015 දී තිබුණා. අපිට ජී. එස්. පී. සහනය ලබාගන්න පුළුවන් වුණා. ඒ හේතුවෙන් අපනයන ක්ෂේත්‍රයේ විශාල වර්ධනයක් මෑත කාලයේ සිදුව තිබෙනවා. පලතුරු අපනයන ආදායම, විසිතුරු මල් අපනයනය ඉහළ ගොස් තිබෙනවා. 2018 වන විට අපනයන ආදායම ඩොලර් මිලියන 11890 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අපේ ඉලක්කය සමඟ ඉදිරියට ගිහින් අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණ වී තිබෙනවා. දළ ජාතික නිෂ්පාදනයට දැක්වූ දායකත්වය සමඟ මෙය පිළිබිඹු වෙනවා. මේ ප්‍රතිශතය අපිට 2018 වන විට සියයට 18 දක්වා අපේ අපනයන ඉහළ නැංවීමට හැකිව තිබෙනවා. 2004 වන විට අපේ අපනයන ඉතාම ඉහළ මට්ටමක තිබුණා. නමුත් ඊට පසුව අපේ අපනයන අඩු අගයක් ගත්තා. අපි වැනි රටක් කෘෂිකාර්මික රටක්. අපේ ආහාර පරිභෝජනය ගත් විට විශාල ලෙස අපේ එළවළු, පලතුරු අපනයන කරන්න හැකිව තිබෙනවා.

බෝට්ටු නිෂ්පාදනය වෙනුවෙන් අපේ අවධානය යොමුව තිබෙනවා. තරඟකාරී නිෂ්පාදකයින්, ආයෝජකයින් පිරිසක් ඉදිරිපත් වී සිටිනවා. ලොව අංක එකේ නැව් නිෂ්පාදනය කරන රටකටත් අපේ නිෂ්පාදන අපනයනය කරන්න හැකි වුණා. කේබල් එලන නෞකාවක් අපනයනය කරන්න හැකි වුණා. රටක් ලෙස දියුණු වෙන්න අපේ ආනයන අපනයන පරතරය අවම කළ යුතු වෙනවා. ඉතාම වටිනා තීන්දු තීරණ අරගෙන අපි රට ඉදිරියට ගෙන යන්න කටයුතු කර තිබෙනවා.

අද ගම්පෙරළිය වැඩසටහන යටතේ විශාල සංවර්ධනයක් සිදු වෙනවා. රටේ ප්‍රමුඛතාවය හඳුනාගෙන පසුගිය කාලේ වැඩ සිදුවුණේ නැහැ. දේශපාලන හේතු නිසා පසුගිය කාලේ විෂමතා තිබුණා. මේ දක්වා අසාධාරණයට ලක්වූ ලක්ෂ 6 කට සාධාරණයක් ඉටුකරන්න හැකි වුණා. දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අයටත් සාධාරණය ඉටුකරන්න පියවර ගෙන තිබෙනවා. අපිට විශාල වැඩකොටසක් ඉදිරියට ‍කරගෙන යන්න හැකිව තිබෙනවා. අද සුව සැරිය මේ රටේ ව්‍යාප්ත වී තිබෙනවා. රාජ්‍ය සේවය ශක්තිමත් කර තිබෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා (එජනිස) - සුළු අපනයන භෝග සම්බන්ධයෙන් මේ නීති හදලා දෙන්නේ රටේ යහපතට ද? වෙළෙන්දන්ගේ යහපතට ද? මෙය ආණ්ඩුවේ තවත් දූෂිත උත්සාහයක් වෙනවා. කුරුඳුවලින් ජීවත්වෙන්නේ අපේ ගමේ මිනිස්සු. නමුත් කුරුඳු මිල ඉතා ශීඝ්‍රයෙන් බැස්සා. අපනයන සංවර්ධන මණ්ඩලය කළ දෙයක් නැහැ. අපේ රටේ තිබෙන කුරුඳු ලොව තිබෙන හොඳම කුරුඳු. ඉදිරියේ දී අපේ කුරුඳුවලට ලෝක වෙළෙඳපළේ ඉල්ලුම ඉහළ යනවා. එයින් ප්‍රයෝජන ගත යුතු වෙනවා. මේ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා.

ගම්මිරිස් නිෂ්පාදනය අද විනාශයට පත්වුණා. ගම්මිරිස් සඳහා රුපියල් 900 ට සහතික මිලක් දෙනවා කියලා දයා ගමගේ ඇමැතිවරයා කිව්වා. නමුත් දැන් මොකද වෙලා තිබෙන්නේ. මේක අවාසනාවන්ත තත්ත්වයක්. මේවා අපේ රටේ සම්ප්‍රදායක අපනයන. මේ වගාවෙන් අද මිනිසුන් ඉවත් වෙනවා.

නලින් බණ්ඩාර මහතා - ගම්මිරිස් ප්‍රතිඅපනයන අපි නවතා තිබෙනවා. ඒ හරහා විශාල මාෆියාවක් ක්‍රියාත්මක වුණා.

මහින්ද යාපා අබේවර්ධන මහතා - එසේ පියවර ගැනීම අගය කරනවා. නමුත් අද කුරුඳු වගාවෙන් ද මිනිසුන් ඉවත් වෙනවා. අපේ ගම්වලට ගියාම මිනිසුන් මේ ගැන කතා කරනවා. අවම මිලක් දාලා මේ මාෆියාව නතර කරන්න. කුරුඳු කිලෝවකින් රුපියල් 1000 ක් අපිට අහිමි වී තිබෙනවා. මේ ගැන පියවර ගන්න නොහැකි නම් අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ඇති වැඩේ කුමක්ද? මේ කර්මාන්තය දියුණු කළ යුතුයි. අද වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් අඩපණ වෙලා. මෙහි වෙනස අපිට දැඩි ලෙස බලපානවා. රටේ වගාවන් දියුණු කළ යුතු වෙනවා. තේ රුපියල් 75 ට මිල බැස තිබෙනවා. දැන් රබර් කපන්නේ නැහැ. දරට ගස් කපනවා. මේ වෙනුවෙන් යමක් කළ යුතු වෙනවා.

ඒ නිසා මේ රෙගුලාසිවලින් ඵලක් නැහැ. මේ කර්මාන්තයේ ඉන්න අපනයනකරුවන් ද උනන්දු කළ යුතු වෙනවා. මේ කර්මාන්තය සිදුවන්නේ වෙළඳුන් දෙතුන් දෙනෙක් අතරයි.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජයමුණි සොයිසා මහතා (එජනිස) - අපේ රටේ ජාතික ආර්ථිකය සම්බන්ධව වැදගත් මාතෘකාවක් ගැන කතා කරනවා. පාර්ලිමේන්තුව, රජයේ නිලධාරීන් කුමන තීරණ ගත්තත් දිගින් දිගටම මේ අහිංසක ගොවියාට අසාධාරණ සිදුවුණා. ගොවියා බොහොම අමාරුවෙන් මේවා නිෂ්පාදනය කරනවා.

අපේ රටේ වැව් 35000 ක් තිබෙනවා. අපනයන, ආනයන ගැන කතා කළ යුතු වෙනවා. අද නිෂ්පාදකයා අමාරුවේ වැටී තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරු සමඟ මම එකඟ වෙනාව. අද කිරි නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී තිබෙනවා. කර්මාන්ත සංවර්ධනය නිලධාරීන් තීරණ ගත් පසු අද උසාවි යන්න සිදුව තිබෙනවා. අපි එදා කිරි නිෂ්පාදනය කරන්න උත්සාහ ගත්තා. මේ වෙනුවෙන් රජයට අයත් ඉඩම් ටික හෝ ආරක්ෂා කළ යුතු වෙනවා. හොඳ නිෂ්පාදන සමඟ ලෝක වෙළඳපළේ අපිට තරග කරන්න පුළුවන්.

නමුත් පිටරටින් දේවල් ගෙනත් කලවම් කර ප්‍රතිඅපනයනය කරනවා ධීවර ඇමැතිවරයා ලෙස මම එදා බද්ද අඩු කරන්න පියවර ගත්තා. මේ රටේ ජනතාවගේ නිෂ්පාදනවලට නියමිත මිලක් ලැබිය යුතු වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වසන්ත දිසානායක මහතා මුලසුනට පැමිණියේය.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජවිපෙ) - අපි හැමදාම එක තැන. චීනය, සිංගප්පූරුව, තායිලන්තය, දකුණු කොරියාව, ඉන්දියාව අපනයන ආදායම අතරින් ඉදිරියට ඇවිත් තිබෙනවා. ඩොලර් බිලියන 84 ක ආදායමකට උරුමකම් කියන අපි අපනයන ආදායම ඩොලර් බිලියන 14 කට අඩුවෙලා. ලෝක වෙළෙඳපළේ සුළු අපනයන බෝග සඳහා අපට තිබුණු ඉල්ලුම අද නැතිවෙලා.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා (එජාප) - අපනයන ආදායම අරමුණු කරගත් ආර්ථිකයක් තිබෙන රටක් අපි බාරගන්නා විට අපනයන විශාල වශයෙන් කඩා වැටී තිබුණා. සියලු දේ විදේශවලින් ගෙනාවා. දැවැන්ත ණය කන්දරාවක් සමඟ නිරන්තරයෙන් පාඩු ලබන පරිසරයක් තුළ අපේ රජය අපනයන දිරිමත් කරන්නට කටයුතු කර තිබෙනවා. ලෝකය සමඟ හුදෙකලාව කටයුතු කළ සංකල්පයෙන් බැහැරව ජී. එස්. පී. සහනය දිනාගන්නට හැකි වුණා. මේ සියල්ල කළේ පෙළපාළි, විරෝධතා ආදී බාධකයන් මැදයි.

මේ රජය පාලනය කළ කාලයේදී ස්වාභාවික ව්‍යසනයන්ට ද මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසාම කෘෂි නිෂ්පාදන ඍණ මට්ටමකට ගියා. මේ තත්ත්වය තුළ අපි රටේ ආර්ථිකය යහපත් කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පසුගිය අප්‍රේල් මාසයේ ඒලල වූ බෝම්බ ප්‍රහාරයෙන් රටේ සියලු අංශවල ආර්ථික ක්‍රියාවලියට බලපෑම් එල්ල වුණා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එජනිස) - අධීක්ෂණ මන්ත්‍රීවරුන් 60 දෙනෙකුට ලක්ෂ දෙක බැගින් දෙන්න කියා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් පැමිණ තිබෙනවා. එය වැරැදි ලෙස අර්ථකථනය කරන්න එපා.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා (එ.ජ.නි.ස) - හැම අංශයකින්ම අපනයන ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බව කිවුවා. නමුත් අද අපනයන ආර්ථිකය කඩා වැටිලා ආනයන ශක්තිමත් වී තිබෙනවා. මේ රටට විශාල ආදායමක් ගෙන ආ අපනයන කර්මාන්තය අද කඩා වැටීමට ලක්ව තිබෙනවා. කුළු බඩු, මුතුමැණික් ආදිය නිසා විවිධ ජාතීන් අපේ රටට පැමිණියා. ලෝක කුරුදු නිෂ්පාදනයෙන් සියයට 25ක් අපේ රට සපයනවා. එදා අපරදිග ජාතීන් අපේ රට යටත් කරගන්න හේතුව වූයේ මෙයයි. අපනයන භෝග හරහා ජාතික ආර්ථිකයට දැක්වූ දායකත්වය ඉතාම ඉහළයි.

අපනයන කර්මාන්ත තුළ විවිධ නිෂ්පාදන ගොවියන් බිහි වුණා. ඒ ගොවියන් අද බරපතළ තත්ත්වයට පත්ව සිටිනවා. එදා නිකන් දුන්නාට වඩා වැඩිය මුදලට අද කුරුඳු පැළ ගොවියන්ට බෙදා දෙනවා. ගොවියන් අපහසුතාවට පත්කර තමන්ගේ සාක්කුවට මුදල් දමා ගන්නා ඇමැතිවරයා වහාම ඉවත්විය යුතු වෙනවා.

නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා - ගම්මිරිස් ප්‍රති අපනයන නතර කර තිබෙනවා. නමුත් එහි මිල තීරණය කරන්න රජයට බැහැ.

රංජිත් ද සොයිසා මහතා - ගොවියා ආරක්ෂා කර ගන්න බැරි නම් ආණ්ඩුවක් මොකට ද? මේ අය දින 52 ආණ්ඩුවක් ‍ ගැන කතා කරනවා. ව්‍යවස්ථාවට අනුව සිදු වූ දේවල් ගැන කතා කළයුතු නැහැ.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා (එ.ජ.නි.ස)‍ - අපේ රටේ සුළු අපනයන භෝග සම්බන්ධයෙන් පමණක් නොව සියලු අපනයන බෝග වර්ධනය කරගන්න නොහැකි වී තිබෙනවා. එම අපනයන අඩු වී වෙනත් ක්ෂේත්‍ර ඉදිරියට යනවා. 1977 න් පසුව බලයට පැමිණි රජය විවෘත ආර්ථිකය හදුන්වා දුන්නා. රටට අවශ්‍ය දේ මෙන්ම අනවශ්‍ය දේ ද රටට ගෙනාවා. අද අපේ තේවලට කසළ තේ එකතු කරනවා. ප්‍රති අපනයන කියා ලංකාවට තේ ගේනවා. මේ නිසා අපේ රටේ තේවලටත් හානි වෙන්න පුළුවන්. අපේ රටේ කුරුඳු ප්‍රචලිත කරන්න ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ.

රජය නිසි වෙලාවට නිසි විදියට මැදිහත් වුණේ නැහැ. පසුගිය කාලේ පොල් අපනයන කරන්න අවසර ලබා දුන්නා. අපනයන කිරීම නැවැත්තුවා. මෙවැනි සිදුවීමක් සිදු වූ විට රජය අවශ්‍යයි ක්‍රියාමාර්ග ගන්න. 77 න් පසුව අපේ නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. එයිට පෙර අපිට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කරගෙන අතිරේක ආහාර අපනයනය කළා. නමුත් 1977 න් පසුව මේ රටේ කෘෂිකර්මය අමතක කර දැම්මා. මේ සම්බන්ධයෙන් සියලු ආණ්ඩු වගකිවයුතු වෙනවා. බොහෝ දේ අපනයන කරන්න අපේ රටට අවස්ථාව තිබෙනවා.

අපේ ගොවියා හොඳින් නිෂ්පාදනය කරනවා. ඔවුන්ට අවශ්‍ය මිලක්. මගේ කාලයේ ලංකාවේ වැඩිම වී අස්වැන්න ලබා ගත්තා. පුරන් කුඹුරු අක්කර 28000ක් වගා කළා. පළතුරු පැළ බෙදා දුන්නා. නමුත් රටින් ගේන බලාපොරොත්තුවෙන් දැන් වැඩ කරගෙන යනවා.

වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමැති වඩිවෙල් සුරේෂ් මහතා - කඳුරට ජනතාව වැවිලි ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් දරනවා. එම ජනතාව වෙනුවෙන් වත්මන් රජය මුදල් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා. එය එසේ නොවේ යැයි කාටවත් කියන්න බෑ. වතු කම්කරුවන්ට පිළිගත හැකි සමාජ තත්ත්වයක් ඇතිකිරීමට කටයුතු කළා. නිවාස ලබා දුන්නා. විදේශීය ජාතීන් වතු පාලනය කරන කාලයේ වතු කම්කරුවන්ගේ ලිපිනයන්ගෙන් පවා ඔවුන්ට පහත් සමාජයක් ලබා දී තිබුණා. අපි එය වෙනස් කළා.

මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා (එජනිස) - සමස්ත ආර්ථිකය නන්නත්තාර කරපු කාලයක් ලෙස වත්මන් පාලන සමය හැඳින්විය හැකියි. අපනයන ආදායම බිලියන 11 ක් වන විට ආනයන වියදම බිලියන 22ක් බවට පත්වෙලා තිබෙනවා. සම්ප්‍රදායික අපනයන බෝග අද කඩාවැටීමට ලක්වෙලා. නිෂ්පාදනය කරන ආදායමවත් ගොවියාට නෑ. සුළු අපනයන බෝග ගොවියාට වෙළඳපළේ මිලක් නෑ. විදේශ විනිමය උල්පත් විනාශයට ලක්වෙලා. ගම්මිරිස් ගොවියාට මිලක් නෑ.

පත්කළ මන්ත්‍රී සරත් අමුණුගම මහතා (එ.ජ.නි. ස.) - සුළු අපනයන ගොවියාට ලැබුණ තැන අප සුළුකොට තැකිය යුතු නෑ. අපේ රටේ අපනයන බෝග සඳහා නියම මිලක් නෑ. අපේ නිෂ්පාදන ගුණාත්මක බවින් ඉහළයි. නව අපනයන ක්‍රමයකට අප යොමු විය යුතුයි. අපනයන කෘෂි බෝගවල තිබෙන දූෂණ අප නැති කළ යුතුයි. අප පළතුරු අපනයන කරන්න කටයුතු කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී වේළු කුමාර් මහතා (එජාප) - ශ්‍රී ලංකාවේ ආනයන හා අපනයන අතර වෙනස දිගින් දිගටම ඉහළ යනවා. මෙය අවාසනාවන්ත තත්ත්වයක්. අපේ රටේ අපනයන ආදායමින් විශාල ප්‍රමාණයක් හිමිකර ගන්නේ තේවලින්. අනෙක් වැවිලි භෝගවලින්ද අපනයන ආදායම් ලැබුවා. පුද්ගලික අංශයක් ලෙස මුල් කාලයේ මෙය තිබුණත් රාජ්‍ය ව්‍යවසායන් බවට පසුකලෙක පත්කළා. තේ නිෂ්පාදනය වැඩිකරන්න රජයට තිරසාර ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. කාලයෙන් කාලයට විකල්ප ප්‍රතිපත්ති හදුන්වා දුන්නා. මේ ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ඒ නිසා කිසිම අරමුණක් නැති ගමනක යෙදෙනවා.

ලංකාවේ තේවලට තිබුණු කීර්තිනාමය අද විනාශ වෙමින් තිබෙනවා. මේ පිළිබඳව අපේ යන්ත්‍රණයේ දෝෂ තිබෙනවා. මේ ගැන අපි කල්පනාකාරී වියයුතු වෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා (එ.ජ.නි.ස)‍ - ඕනෑම රජයක් උත්සාහ කරන්නේ අපනයන ඉහළ නංවා ආනයන අඩු කරන්නයි. නමුත් මේ රජය අපනයන අධෛර්යමත්කොට ආනයන සඳහා විවිධ බදු සහන ලබා දෙනවා. අද ඉදිරිපත් කරන පනතත් ආනයන සඳහා සහන දෙන්න වෙනවා. ආනයන වැඩි කරනවා. ආනයන පළතුරුවලට බදු සියල්ල ඉවත් කරනවා. අපනයනය සංවර්ධනය කරනවා වෙනුවට ආනයන සංවර්ධනය කරනවා ආනයනය සියයට 14කින් ඉහළ ගොස් තිබෙනවා.

ඩොලර් බිලියන 5ක තිබුණු අපනයන ඩොලර් බිලියන 15දක්වා ඉහළ නංවන්නට මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී තාරක බාලසූරිය මහතා (එ.ජ.නි.ස) - ලංකාවේ අපනයන වැඩි කරන්න ජාත්‍යන්තර ආයෝජන වැදගත් වෙනවා. එසේ නම් දේශපාලන ස්ථාවරත්වයත් වැදගත්. ඒ අනුව අවශ්‍ය පසුබිමත් අපි නිර්මාණය කරදිය යුතු වෙනවා. ස්වාභාවික සම්පත් ගැන අපි වැඩි අවධානයක් යොමුකර නැහැ. අපිට ලක්ෂ 4ක පඩියක් නම් හම්බවෙලා නැහැ. ආණ්ඩු පක්ෂයේ අයට නම් හම්බවෙනවා ද දන්නේ නැහැ.

අද (09) පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.

ස්වර්ණා විජේකෝන්, රෝෂන් තුෂාර, මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න