රට පෙරට ගෙන යන කත | දිනමිණ

රට පෙරට ගෙන යන කත

කාන්තාව මූලික කරගත් ඛේදාන්තයන්, ඔවුන්ට සිදුවන හිරිහැර පීඩාවන්, ඔවුන් ලක්වන අසාධාරණයන් පිළිබඳ ඔබ අනේකවර කියවා හෝ අසා ඇත. සමාජයේ බහුතරය අතර කතාබහට ලක්වන්නේ කාන්තාවට “සමතැන නොලැබීමේ” ඛේදවාචකය පිළිබඳවයි. නමුත් සමතැන නොව “නිසි තැන” ඉල්ලා අරගල කරන්නට කාන්තාව බුද්ධිමත් විය යුතුය.

මේ ප්‍රයත්නය භාගෙට වැසී ඇති දොර භාගෙට ඇරී ඇති බව ඔබට පසක් කරවන්නටයි. ආසියාතික රටවල්වල කාන්තාව මුළුතැන්ගෙයට පමණක් සීමාකර තිබූ ඉතිහාසයක් තිබුණි. ඔවුන්ට පුරුෂයින්ගේ හවුහරණ නොමැතිව කරන්නට හැකි කිසිවක් නොමැති බව දැඩිසේ විශ්වාස කරන මානසිකත්වයක් තිබුණි. අධ්‍යාපනය ලැබීමේ වරම ද ප්‍රමුඛව හිමිවූයේ පුරුෂයින්ටය. එයට හේතුව කාන්තාවගේ උගත්කම ඇයව මුළුතැන්ගෙයි මෙහෙකාරිය බවට පත් නොවී ඉදිරියට ඒමට සවිබල සැපයීමය.

එම සියලු බාධා බිඳ දමමින් වර්තමානය වන විට අධ්‍යාපනයේ පමණක් නොව විවිධ ක්ෂේත්‍රවල ඉහළට ගමන් කරන්නට කාන්තාව ශක්තිමත් වී ඇත. සමාජයේ කුඩාම ඒකකය ලෙස සලකන පවුල් සංස්ථාව තුළ මවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ඇතැමුන් මෙය පීතෘ මූලික සමාජයක් වශයෙන් හංවඩු ගැසූවද 21 වන සියවසේ අප ජීවත්වන්නේ මාතෘ මූලික සමාජයක බව මනාව පිළිබිඹු වේ.

මවගේ උගත්කම හා බුද්ධිමත්කම සමස්ථ සමාජයේම ප්‍රගමනයට ගෝචර වන්නා වූ ප්‍රමුඛ කරුණකි. මන්දයත් දරුවන් බිහිකිරීමෙන් නොනැවතී ඔවුන් ඇති දැඩිකොට උගතුන් බවට පත්කරන්නේ සුවහසක් මවුවරුන්ගේ අනේකවිධ කැපකිරීම් ය. මවගේ භූමිකාව සාර්ථකව සිදු කරන අතර අනෙක් වගකීම් ද වගවීමෙන් ඉටුකරන්නට කාන්තාවට අනූපමේය ශක්තියක් ඇත.

වැටෙන්නට දහසක් කරුණු තිබුණ ද නැඟී සිටින්නට ඇය තුළ ඇත්තේ අප්‍රමාණ ධෛර්යයකි. ඒ නිසාවෙන්ම ලෝකයේ මුල් පුටුවල අසුන්ගන්නට කාන්තාව සුදුසුකම් සපුරයි. ඇය සතු චිත්ත ධෛර්යය, වගකීම, ලෙන්ගතුකම හා ‍මව්වත්කම ඕනෑම ක්ෂේත්‍රයක නායිකාවක් බවට පත්වන්නට මංපෙත් විවර කරයි.

“තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි.”

මෙම උද්ධෘතය සත්‍යයක් බවට පත්කළ කාන්තාවන් කොතෙකුත් සිටී ද? නම් ගම් ගෙන හැර පෑම අවශ්‍ය නොවේ. ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ආසියාතික කාන්තාවගේ ප්‍රගමනයට මුලපිරූ එක් ප්‍රකට චරිතයකි. දේශපාලන ලෝකයේ හිණිපෙත්ත කරා ගමන් කළ කාන්තා චරිත පමණක් නොව විවිධ ව්‍යාපාර ස්වයංරැකියා මට්ටමින් ආරම්භ කරමින් ජාත්‍යන්තර තලය දක්වා ගමන් කරන්නට සමත් වූ කාන්තාවන් ද අප අතර සිටී. ඔවුන් මේ සියලු කර්තව්‍යන් සිදු කරන්නේ පවුල තුළ “ගැහැනු කම” නිසා දෙවුර මත පැටවෙන සියලු වගකීම් ද නොපිරිහෙලා ඉටුකරමිනි.

කාන්තාවන් සතුව පවතින සුවිශේෂී ඥානය නොහොත් “ඉව” බොහෝදුර ගමන් කරන්නට ඔවුන්ට මංපෙත් විවර කරනවාට සැකයක් නැත.

මීට වසර ගණනාවකට එහා අතීතයේ කාන්තාවට කතා කිරීමට, සිනාසීමට අවසර ගත යුතුව තිබුණි. නිවසින් බැහැරව තනිව ගමන් කිරීමට නිදහසක් නොතිබුණි. නමුත් අතීත කාන්තාව එම රාමුවෙන් බැහැරවීමට සිතුවේද නැත. නමුත් වර්තමානයේ තත්ත්වය වෙනස්ය. ත්‍රීරෝද රථ හා පාසල් වෑන් රථ පදවන කාන්තාවන් කොතෙකුත් සිටී ද? “වෑන් අංකල්ලා වෙනුවට” “වෑන් ඇන්ටිලා” කොතෙකුත් සිටී ද?

මෙකී සියලු කාරණාවන්ගෙන් පසක් වන්නේ ධෛර්ය සම්පන්න කාන්තාවකට ගමන් කළ හැකි දුරට සීමා නොමැති බවය. අවශ්‍ය වන්නේ පම්පෝරිගත පාරම්පරික රාමුවෙන් බැහැරවී සිතීමට යොමුවීම පමණි. ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන ශක්තීන් ඇය සතුව පවතින බව ඔප්පුවී හමාරය.

ප්‍රහර්ෂයට කාරණය නම් 21 වන සියවසේ බහුතර කාන්තාව තම අරමුණු කරා ගමන් කරන්නට සංස්කෘතිකමය, ගතානුගතික චින්තනයක් බාධාවක් කර නොගැනීමයි. ඔවුන් ඒවා හුදු මනෝරාජික කල්පිතයක් පමණක්ම බව පසක් කරගෙන හමාරය.

“පිරිමි අධිකරණය තුළ විත්තිකරුද, පැමිණිලිකරු ද ඇයම” වූ යුගය නිමාවී, කාන්තා අධිකරණයක් බිහිවෙමින් පවතින යුගයක් ආරම්භ වී ඇති බව කිවයුතුය.

 

යසාරා කස්තුරිආරච්චි
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

 

නව අදහස දක්වන්න