විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව ලැබෙන තෙක් සාෆිගේ නඩුව කල් යයි | දිනමිණ

විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ වාර්තාව ලැබෙන තෙක් සාෆිගේ නඩුව කල් යයි

රෝෂන් තුෂාර, කුරුණෑගල මධ්‍යම විශේෂ

වෛද්‍ය සාෆි සහබ්දීන් වඳ සැත්කම් සිදු කර ඇත්ද නැත්ද යන්න පිළිබඳව කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිනිය ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය විද්වත් මණ්ඩලයේ වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තැබීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඊයේ (09) නියම කෙළේය.

අදාළ විද්වත් මණ්ඩලය නිකුත් කරන වෛද්‍ය වාර්තාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළි ගන්නා බැවින් හොඳම ක්‍රියාදාමය එය බවත් දන්වා සිටි මහේස්ත්‍රාත්වරයා නඩුව දෙසැම්බර් 12 වැනි දිනට කැඳවීමට නියම කළ අතර, එම දිනට පෙර වාර්තාව ලැබුණහොත් නඩුව ඊට පෙර කැඳවන බව ද දන්වා සිටියේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිනි මහාචාර්ය ජෙනිකා පෙරේරා මහත්මිය අධිකරණය වෙත මේ වන විට ලිපි දෙකක් යොමු කර ඇති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මණ්ඩලයේ සභාපතිවරයා එම මණ්ඩලයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් විමසීමක් කර ඇති බවද දන්වා සිටියේය.

වෛද්‍ය සාෆි සහබ්දීන් සැකකරුට එරෙහිව වඳ සැත්කම් කළ බවට වන ඇසින් දුටු සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විශේෂඥ වෛද්‍ය සාක්ෂි අනාවරණය කර ගැනීමට විමර්ශන තව දුරටත් කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී එස්. බී. තිසේරා මහතා කළ කරුණු දැක්වීම්වලින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

වෛද්‍ය සාෆි සැකකරු තව්හිද් ජමාද් සංවිධානයේ ලෆීර් නැමති පුද්ගලයා සමඟ සමීප සම්බන්ධතාවක් පවතින්නේද ත්‍රස්ත කටයුතුවල නියැළී තිබේද යන්න පිළිබඳ ත්‍රස්ත විමර්ශන අංශය රාජ්‍ය බුද්ධි සේවාව හා ත්‍රිවිධ හමුදාව විමර්ශන කටයුතු සිදු කරන බව තිසේරා මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි‍‍යේය.

වඳ සැත්කම් කරමින් මවුවරුන්ට බරපතළ තුවාල සිදු කර තිබේද යන්න පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වගන්තිය යටතේ විමර්ශන කරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇද්ද මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන අයථා මුදල් ඉපැයීමක් සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බව දන්වා සිටියේය.

වැඩි දුරටත් කරුණු දැක් වූ තිසේරා මහතා මෙසේ ද පැවැසීය. සැකකරු රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධතාවක් පැවැත්වූයේද ත්‍රස්ත කටයුතුවල නියළුනේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැහැ. සැකකරුගේ කුරුණෑගල මහජන බැංකුවේ ගිණුම සම්බන්ධයෙන් විමර්ශන කරනවා. වෙනත් ගිණුම් 18ක් සම්බන්ධයෙන් වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. සැකකරුගේ කුරුණෑගල හා අනුරාධපුර ප්‍රදේශයේ ඇති නිශ්චල දේපළ සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව යටතේ වාර්තාවක් කැඳවා තිබෙනවා. කාන්තාවන්ගේ මද සරු භාවය පිළිබඳ කොළඹ සොයිසා රෝහල කාසල් රෝහල සිදු කළ පරීක්ෂණ දත්ත වාර්තා අධිකරණයට ලබා දෙනවා. මද සරුභාවය සම්බන්ධයෙන් කුරුණෑගල රෝහල මඟින් වෛද්‍ය සායනයක් පවත්වා තිබෙනවා. එම සායනයේ දී සිදු කළ සමීක්ෂණ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කරන ලෙස ඉල්ලා සිටිනවා.

සැකකාර වෛද්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නවරත්න බණ්ඩාර මහතා,

සැකකරුට එරෙහි කිසිදු ඇසින් දුටු සාක්ෂියක් නැහැ. සැකකරු නිර්දෝෂයි. එම නිසා සැකකරු නඩුවෙන් සම්පූර්ණයෙන් නිදහස් කර ඉදිරි පරීක්ෂණ සිදු කරන ලෙස ඉල්ලා සිටිනවා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පෙනී සිටියේය. පාර්ශ්ව තුනේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි විමර්ශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.

මද සරුභාවය සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ සිදු කළ පරීක්ෂණ වාර්තා ඇත්නම් ඒවාද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කරමින් දන්වා සිටියේය.

මේ අනුව නඩු විභාගය කොළඹ විශ්වවිද්‍යාලයේ විශේෂඥ ‍වාර්තාව ලැබුණු පසු කැඳවන බව දන්වා සිටිමින් දෙසැම්බර් 12 වැනි දිනට කල් තැබීය.

නව අදහස දක්වන්න