අධ්‍යාත්මික බැඳීම | දිනමිණ


 

අධ්‍යාත්මික බැඳීම

‍ෙථරවාදී බුදුදහමේ ලෝක ව්‍යාප්තිය සඳහා කාම්බෝජයට හා ශ්‍රී ලංකාවට විශාල වැඩ කොටසක් ඉටුකළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටී. ජනාධිපතිවරයාගේ කාම්බෝජ නිල සංචාරයත් සමඟ එබඳු එකඟතාවක් ද ආරම්භ විය. එය ඉතිහාසගත විය යුතු වැදගත් අවස්ථාවක් සේ සැලැකිය හැකි ය. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ ගෞරවය ද ශ්‍රී ලංකාවට හා එහි නායකයාට හිමිවිය යුතුය. නූතන යුරෝපය හා අමෙරිකාව බෞද්ධ දර්ශනය කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වති. බෞද්ධ ඉගැන්වීම් හා භාවනා ක්‍රම ඉගෙනීමට බටහිර උගත්තු පෙළැඹී සිටිති. මේ පසුබිම මත ථෙරවාදී බුදුදහම පවත්නා රටවල් කෙරෙහි ලෝක අවධානය ද යොමුවී ඇත.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සම්බන්ධතා පුළුල්වීමට බලපෑ එක් ප්‍රධාන සාධකයක් හැටියට ථෙරවාදී බුදුදහම හැඳින්විය හැකිය. අතීතයේ දී ඉන්දියාව, බුරුමය, සියම් දේශය, චීනය වැනි රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා ස්ථාවර වී තිබුණේ බුදුදහම ද පාදක කරගෙන ය. මෙහිලා වැදගත් ලක්ෂණ කිහිපයක් දකින්නට ලැබිණි. පළමු ලක්ෂණය වන්නේ ශාසනයේ පැවැත්ම සඳහා ඒ මඟින් විශාල පිටුබලයක් ලැබීම ය. දෙවන ලක්ෂණය වන්නේ ආගමික පිරිහීම් මතුවන අවස්ථාවල දී ජාත්‍යන්තර සහයෝගය මත ඌන පූරණයට කටයුතු යෙදීම ය. තෙවන ලක්ෂණය වන්නේ බෞද්ධ රටවල් අතර අධ්‍යාත්මික බැඳීමක් තහවුරු වීම ය. මේ සඳහා රාජ්‍ය නායකයන්ගේ කැපවීම අතිශයින් ම වැදගත් වෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කාම්බෝජයේ නිල සංචාරයක යෙදෙන්නේ එරට සම්ප්‍රදායික නායකයා වන සිහනුක් රජුගේ ද, රජයේ ද ආරාධනයකට අනුව ය. නිල සංචාරය දින හතරකට සීමා වූ අතර එහි දී ශ්‍රී ලංකාවේ දූත පිරිසට ලැබුණු ඉහළ පිළිගැනීමෙන් පෙනී යන්නේ කාම්බෝජය අප කෙරෙහි දක්වන ගෞරවය හා විශ්වාසය යැයි කිව හැකි ය. එරට ආගමික නායකයන්ගේ ප්‍රකාශවලට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් නායකයා ආගමික වශයෙන් ඓතිහාසික කාර්යභාරයක් ඉටුකළ රාජ්‍ය නායකයෙකි. ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා ආරම්භ කළ ප්‍රයත්නය මෙහිලා විශේෂයෙන් සඳහන් කර තිබිණි. බෞද්ධයා බුදුදහමෙහි හරය ලෙස දකින්නේ ත්‍රිපිටකය යැයි කිව හැකි ය.

ජනාධිපතිවරයා මෙහි දී කාම්බෝජයෙන් ඉල්ලීමක් සිදුකළේ ය. එනම්; කාම්බෝජයේ තරුණ භික්ෂුන් හැකිතාක් ශ්‍රී ලංකාවට වැඩම කොට බෞද්ධ අධ්‍යාපනය ලබාගන්නා හැටියට ය. බෞද්ධ දර්ශනයට හා ඊට සමගාමී අනෙකුත් විෂයයන්ට උපාධි හා පශ්චාත් උපාධි ලබාගත හැකි උසස් අධ්‍යාපන ආයතන ගණනාවක් ම ශ්‍රී ලංකාව තුළ පවතී. මේ වනවිට ද විදේශිකයෝ සැලැකිය යුතු ප්‍රමාණයක් ඒවායෙහි අධ්‍යාපනය ලබති. කාම්බෝජ භික්ෂුහු ද මේ ආයතනවල උගනිති. ථෙරවාදී බුදුදහම හැදෑරිය හැකි හොඳම ස්ථානය ශ්‍රී ලංකාව බව බොහෝ දෙනා පිළිගනිති. “සිද්ධාර්ථ” නම් ලෝක ප්‍රකට නවකතාව රචනා කළ හර්මන් හෙස සිය වැදගත් ම ගවේෂණය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකාව තුළ දී ය. ඔහු ඒ බව තැන් කිහිපයකදීම සඳහන් කර තිබේ.

කාම්බෝජයේ කඳු මුදුනක පිහිටි ප්‍රකට ම භාවනා මධ්‍යස්ථානයක් වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි නා පැළ දහයක් පිහිටුවී ය. නාගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය පමණක් ම නො වේ. ඉතිහාසයේ සඳහන් වන අන්දමට බුදුවරුන් කිහිප නමකට ම බුද්ධත්වය ලබාගැනීම සඳහා ආධාරකයක් ලෙස නාගස පැවැතී ඇත. නා වෘක්ෂයෙන් පිටවන කිරණ මිනිසාගේ මොළයට සාධනීය රසායනික නිකුත් කරන බව විද්‍යාත්මක ව තහවුරු වී තිබේ. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක් ද මේ සංචාරය තුළ දී කාම්බෝජයේ පිහිටුවන ලදී. ධාතුන් වහන්සේ කිහිප නමක් ද කාම්බෝජ වැසියන්ගේ වන්දනාව සඳහා ත්‍යාග ලෙස ලබා දී ඇත. කාම්බෝජ ජනතාවගෙන් 90% ක් ම බෞද්ධයෝ වෙති. මේ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල සංචාරය කාම්බෝජයට අනුස්මරණීය අවස්ථාවක් වනු ඇත.

ලෝක ප්‍රකට විද්‍යා ප්‍රබන්ධ රචකයකු වූ ආචාර්ය ආතර් සී. ක්ලාක් මහතා වරක් කියා සිටියේ 2050 පමණ වනවිට ලෝකයේ ප්‍රධාන දර්ශනය බවට බුදුදහම පවත්වන බව ය. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට කීර්ති නාමයක් ලැබිය හැකි බව ද ආතර් සී. ක්ලාක් මහතා සඳහන් කර ඇත. ඒ කතාවේ පෙර නිමිති අද වනවිට‍ අපට දැකගන්නට ලැබේ. බෞද්ධ අධ්‍යාපනය, භාවනාව හැදෑරීම හා බෞද්ධ සංස්කෘතිය විශ්ලේෂණය කිරීම උදෙසා බටහිර ජාතීන් අතර විශාල උනන්දුවක් පවතී. බෞද්ධ දර්ශනය හා එම සංස්කෘතිය හැදෑරිය හැක්කේ ආසියාවේදී ය. ශ්‍රී ලංකාව, මියන්මාරය, කාම්බෝජය, ඉන්දියාව, තායිලන්තය හා ලාඕසය ඒ අතරින් ප්‍රධාන වෙයි. දෙවනුව ජපානය, චීනය, කොරියාව, වියට්නාමය වැනි රටවල් පවතී. කොයි අතින් බැලුව ද බෞද්ධ දර්ශනයට සම්බන්ධ ප්‍රධාන රාජ්‍යය ශ්‍රී ලංකාව යැයි කිව හැකි ය.

ශ්‍රී ලංකාව තුළ බුදුදහම ස්ථාපිත වන්නේ රාජ්‍ය අනුග්‍රහය මත ය. මහින්දාගමනයෙන් පසු රට පුරා බුදුදහම ව්‍යාප්ත වන්නේ ඊට රාජ්‍ය අනුග්‍රහය නොමදව ලැබෙන නිසා ය. පසුකලෙක අපේ රටේ පාලකයාගේ ප්‍රධාන වගකීමක් වන්නේ බුදුසසුන ආරක්ෂා කිරීම ය. දුටුගැමුණු මහ රජු ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදීමට පෙර කියා සිටියේ මාගේ මේ ව්‍යායාමය හුදෙක් ශාසනය බේරාගැනීම සඳහා ය යන්න ය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන අන්දමට ද ශාසනය ආරක්ෂා කිරීම රාජ්‍ය නායකයාගේ ප්‍රමුඛ වගකීමක් වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත කී සම්ප්‍රදාය හා වගකීම හොඳින් වටහාගෙන ක්‍රියාකරන බව පෙනෙයි.

ඇතැම් දේශපාලකයෝ බුදුදහම ආගම්වාදය හා ජාතිවාදය ඇවිලවීම සඳහා යොදා ගනිති. එහෙත් බුදුන්ගේ දර්ශනය තුළ ආගම්වාදයකට හෝ ජාතිවාදයකට හෝ ඉඩක් නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බුදුදහම ඔස්සේ අධ්‍යාත්මික බැඳීම් ඇති කිරීමට උත්සුක වන නායකයකු හැටියට සැලැකිය හැකි ය. බෞද්ධ රාජ්‍යයන් අතර ගොඩනැගෙන අධ්‍යාත්මික බැඳීම ලෝකයට ආදර්ශයක් වනු ඇත.

 

නව අදහස දක්වන්න