දේශපාලනය ගැන කිසි මනාපයක් නෑ | දිනමිණ

දේශපාලනය ගැන කිසි මනාපයක් නෑ

අසේල කුරුළුවංශ

දළදා සමිඳුන්ට මී පැණි පූජාවට එක්වෙමින් වැදිනායක කියයි

තමන්ට ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස නොයෙක් දෙනා යෝජනා ඉදිරිපත් කරන බව වැදි නායක ඌරුවරිගේ වන්නියලෑඇත්තෝ පවසයි.

දේශපාලනය පිළිබඳව තමන් තුළ කිසිදු මනාපයක් නොමැති බවත් ජනතාව ආදි වාසි නායකයාට දේශපාලනයට එන්නට කියන්නේ ඇයිද යන්න වත්මන් දේශපාලන නායකයන් සිතා බැලිය යුතු බවත් වැදි නායකයා කීය.

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා වාර්ෂිකව සිදු කරන මී පැණි පූජාව වෙනුවෙන් පෙරේදා (10) මහනුවරට පැමිණි වැදිනායකයා මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

ජනතාවට සේවය කිරීමට දේශපාලනඥයන් එකිනෙකා ගහමරා ගන්නා බවත් මොවුන් මේ උත්සහ කරන්නේ තමන්ට සේවය කිරීමට නොවන බව එයින්ම ජනතාවට තේරුම් ගැනීමට හැකි බවත් වැදිනායකයා පැවසුවේය.

සෑම වසරකම ප්‍රථම රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන දින වැදි ජනතාව ශ්‍රී දළදා සමිඳුන් උදෙසා මීපැණි පූජාව පවත්වන අතර මෙවර 60 දෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් ඊට එක්ව සිටියහ.

දළදා මාලිගාවට පැමිණි වැදිනායකයා ඇතුළු පිරිස දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගෙන මී පැණි පූජාව සඳහා දළදා සමිඳුන් වැඩසිටින කුටිය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

දේශපාලනඥයන්ගේ වගකීම රට, ජාතිය, ආගම රැක ගැනීම බවත් අද මේ අය ජනතාවට සේවය කිරීමට පක්ෂ වශයෙන් බෙදී ගහමරා ගන්නා බවත් කී වන්නියලෑ ඇත්තෝ මේ අය සැබෑවමට උත්සහ කරන්නේ ජනතාවට සේවය කරන්නද නැතහොත් තමන්ටම සේවය කර ගැනීමටද යන්න තේරුම් ගත යුතු බවද ප්‍රකාශ කළේය.

ඡන්දය දැමීම පවා එපා වන තරමට දේශාපලනය එපාවී තිබෙන බවත් ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති අනුව ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවත් හෙතෙම පැවසුවේය.

මල් අඩු වීම නිසා මී පැණි සොයා ගැනීම අසීරු වී තිබෙන බවත් සෑම වසරකම මී පැණි ලීටර 60 ක් පමණ තමන් දළදා වහන්සේට පූජා කිරීමට රැගෙන එන මුත් මෙවර එම ප්‍රමාණය තරමක් අඩුවූ බවත් වන්නයලෑ ඇත්තෝ කීවේය.

මී පැණි පූජාවෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට ගිය වැදි නායකයා පෙරේදා (10) රාත්‍රියේ වීදි සංචාරය කළ ප්‍රථම රන්දෝලි පෙරහරද නැරඹුවේය.

ඡායාරූප - කුණ්ඩසාලේ සමූහ

 

නව අදහස දක්වන්න