පාර වැරදුණු පාර කියන්නෝ | දිනමිණ

පාර වැරදුණු පාර කියන්නෝ

පසුගිය තෙමසක කාලය තුළ රටේ සිදුවුණ සිදුවීම් සම්බන්ධයෙන් සම්ප්‍රදායික ජනමාධ්‍ය මෙන්ම සයිබර් මාධ්‍යද හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් රට තුළ විවිධ මති මතාන්තර ඇතිවී තිබේ. ජනතාව අතර මෙන්ම විද්වතුන් අතර ද මාධ්‍ය හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් මහත් අප්‍රසාදයක් පැන නැගී තිබේ. මින් අප්‍රසාදය වඩාත්ම පළවන්නේ විද්‍යුත් මාධ්‍ය කෙරෙහිය. රටේ යම් ව්‍යසනයක් සිදුවූ විට මාධ්‍ය එය රටට වාර්තා කළයුත්තේ ඉතා පරෙස්සමිනි. ඉන්පසු ඇතිවන සිද්ධි සම්බන්ධ වාර්තාකරණය කළ යුත්තේ ද එසේමය. ජනතාව හැම මොහොතකම ඇස් කන් දල්වා සිටින්නේ මාධ්‍ය කෙරෙහි ය. විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය කෙරෙහිය. ඉන් ලබාදෙන අලුත් ප්‍රවෘත්තිය ජනතාවගේ සිත සැනසීමට විනා වැනසීමට යොදා නොගත යුතුය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මිනුවන්ගොඩ සහ ගම්පහ ඇතිවුණ සිද්ධි දාමයද එසේමය. හැම දේම ඒ අයුරින්ම වාර්තා කිරීම සුදුසු නැත. ඒ මොහොතේ සිංහල ජනතාවගේ සිත් තුළ ගිනි පුපුරු දැල්වෙමින් තිබුණු අවධියකි. ඉන්පසු ඇතිවුණ සිද්ධි ගත්විට, රතන ස්වාමින් වහන්සේගේ උපවාසය, ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ කරන ලද ප්‍රකාශ මෙන්ම වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම් ප්‍රශ්නය ද ඇතැම් මාධ්‍ය විසින් වාර්තාකෙරු‍ණේ ඉතා අසංවර ලෙසිනි. ජනතාවගේ ආකර්ශනය දිනා ගත යුත්තේ සාධාරණ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් මිස අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන මගින් නොවේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින්, විද්වත් මණ්ඩලයක් කැඳවා අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් කරන ලද ජනමාධ්‍ය සාකච්ඡාවේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කාරිනිය සීතා රංජනී මහත්මිය ප්‍රකාශ කරන අන්දමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මඟින් අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශන සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් මින් පෙරද කටයුතු කොට තිබේ. ඔවුන්ගේ තේමාව වී ඇත්තේ ද සමාජ වගකීම සමඟ නිදහස් මාධ්‍ය සංස්කෘතිය යන්නයි. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් දෘෂ්ඨි කෝණයක පිහිටා කටයුතු කිරීම ද මෙම ව්‍යාපාරයේ අරමුණයි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත මඟින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන නමුත් වර්තමානයේ වෛරී ප්‍රකාශන සහ අසත්‍ය ප්‍රකාශනවලට වැඩි නැඹුරුවක් දක්නට ලැබේ. මානව හිමිකම් අගයන සමාජ වගකීම් සහිත මාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම සඳහා මෙම අභියෝගයන් සමඟ වැඩ කළ යුතු ආකාරය සම්බන්ධව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වගකීමෙන් ක්‍රියා කරමින් සිටී.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කරගත යුත්තේ කුමන සීමාවක් තුළද යන ගැටලුව සාකච්ඡා කළ යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේය. අප ජීවත් වන්නේ අසත්‍ය පුවත් සහ වෛරී ප්‍රකාශන තුළින් ගොඩනැගෙන ගැඹුරු කතිකාවක් බවට පත්වූ අමිහිරි අත්දැකීම් තිබෙන සමාජයක ය. සාම්ප්‍රදායික මාධ්‍ය වන විද්‍යුත් සහ මුද්‍රිත යන අංශ දෙකම තම තමන්ගේ සීමාව අතික්‍රමනය කර තිබේ. ජනතාව නව මාධ්‍යවලට ගොදුරු වී ඇති අතර එවිට මාධ්‍යවේදියාගේ භූමිකාව ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වේ. මෑත කාලයේ රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමට කටයුතු කළ ආකාරය සම්බන්ධව ද සමාජයේ කතිකාවක් ඇති විය.

වෛරී ප්‍රකාශන

මේ වන විට නව මාධ්‍ය හෙවත් ඩිජිටල් අවකාශයේ පමණක් නොව සාම්ප්‍රදායික ජනමාධ්‍ය තුළද ප්‍රධාන ඉදිරිපත් කිරීමක් ලෙස, නැතහොත් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ වැදගත්ම කොටස බවට වෛරී ප්‍රකාශන සහ අසත්‍ය පුවත් පත්ව තිබේ. මෙවැනි දේ රූපවාහිනිය තුළ මෙන්ම පුවත්පත්වලද දක්නට ලැබේ. ඒ මත ඇතිවන කැලඹීම් විසින් සමාජය ව්‍යසනකාරී තත්ත්වයට තල්ලු කෙරේ. ඇතැම් අත්දැකීම් වඩාත් කටුක බවට පත් කරනු ලබන්නේ ද මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කෙරෙන අසත්‍ය ප්‍රකාශ සහ වෛරී අවමන් සහගත ප්‍රකාශ නිසාය. උදාහරණ ලෙස කුරුණෑගල වෛද්‍යවරයාගේ සිද්ධියේදී සාම්ප්‍රදායික මාධ්‍ය ධාරාවේ ප්‍රධාන පුවත්පතක් සෘජුවම සම්බන්ධ වී තිබේ. මෙවැනි සිද්ධින් නිසා ඇතිවන හානිය දකින මාධ්‍ය සාමජය සහ මධ්‍යස්ථ සමාජය මේවා සීමා කළ යුතු ය යන මතයේ සිටිති. නමුත් එම සීමා කිරීමේ ඉම ගැටලුවකි. ඉන් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් සිදුවෙයි ද? නැතහොත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් සිදුවුණද, ඒ බාධාව නොසලකා එය කිරීමට ඉඩදෙන තත්ත්වයට සමාජය තල්ලු විය යුතු ද යන්න සිතා බැලිය යුතුය. එමෙන්ම කතා කිරීමේ ස්වයං නියාමනයක් හෝ නියාමනය සඳහා කිසියම් අධිකාරිමය බලයක් ඇතිවිය යුතුය යන කතිකාවතක් ද සමාජය තුළ තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යවේදී රාවය පුවත්පතේ උපදේශක මෙන්ම රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා දැරුවේ මෙවන් අදහසකි. වටාපිටාව දෙස බැලූවිට ලංකාවේ දේශපාලන තලය බොහෝ අශීලාචාර තත්ත්වයක තිබේ. දේශපාලන තලය එම අශීලාචාර තත්ත්වයෙන් නිදහස් කරගැන්මෙන් මෙරටට නිදහස ලබාගත හැකි වේ යැයි බො‍හෝ දෙනා සිතා සිටියද ලංකාව එම තත්ත්වයෙන් මුදාගත නොහැකිය. දේශපාලනයේ ගැඹුරු තලයක් ද ඇතිකළ නොහැකිය. රටේ ජනතාවගේ අවධානය පළමුවෙන්ම යොමුවිය යුත්තේ පාර්ලිමේන්තුවට හෝ රටේ ජනාධිපතිවරයා වෙත නොව රටේ ජනමාධ්‍යයට ය. ජනමාධ්‍යය ශීලාචාර තත්ත්වයකට ගෙන ඒමට ආණ්ඩුවකට නොහැකිය. මෑත කාලයේ මෙරට ජනමාධ්‍යය ඉතා විනාශකාරී කාර්ය භාරයක් කරමින් සිටී. දේශපාලකයන්ට ද වඩා ඉතා බිහිසුණු කාර්යයක් කරමින් සිටින්නේ ජනමාධ්‍යවේදීන් විසිනි.

ලංකාව ශීලාචාර කිරීමට නම් ජනමාධ්‍ය ශිලාචාර කළ යුතු ය. එය මෙරටේ මහජනතාව තේරුම් ගත යුතුය. ජනමාධ්‍ය ශීලාචාර කිරීමත් සමඟම ලංකාවේ බොහෝ දේ වෙනස් වනු ඇත. ග්‍රාමීය සමාජය තුළ පවා ජනමාධ්‍ය පිළිබඳව බරපතළ විරෝධයක් පවතී. අනෙක් විරෝධය පැන නගිනුයේ පූජක පක්ෂය වෙතටය.

අතීතයේ මිනිසුන් රූපවාහිනිය වටා රොක් වී සිටියේ ඉතා ආසාවෙනි. නමුත් වර්තමානයේ එකම දේ නැවත නැවත අසා නරඹා මිනිසුන්ට එපා වූ තත්ත්වයක් උදගත වී තිබේ. එමෙන්ම, ලංකාවේ සමහර නීති විශාල කන්දක් වී අභ්‍යන්තරය පටු වෙමින් තිබේ. මෙය එසේ මෙසේ කන්දක් නොව ගිනි කන්දකි. ඒ වටා සිටි කුඩා සතුන් එම කන්ද අතහැර යමින් සිටිති.

අද රටේ නිමිඇඳුම් කර්මාන්ත ශාලාවක රැකියාවට යන කාන්තාවන් දෙස වැරදි දෘෂ්ඨීකෝණවලින් බලන තත්ත්වයක් ඇතිවී තිබේ. ඔවුන් විවාහ ජිවිතයකට එළැඹීමේදී ද රැකියාව බාධකයක් වී තිබේ. සමාජය ඔවුන් ඉතා නරක ලෙස හංවඩු ගසා තිබේ. රට රැකියා සඳහා යන කාන්තාවන්ගේ තත්ත්වය ද එසේම ය. තමන්ගේ ස්වාමිපුරුෂයන්ට නිවෙසේ, පවුලේ යුතුකම් ඉෂ්ට කිරීමට නොහැකි වූ විට කාන්තාවන් විදෙස් රැකියාවක් සඳහා පිටත්ව යන්නේ තමන්ටම කියා නිවෙසක් සාදා ගැනීමේ සහ දරුවන්ට හොඳින් ඉගැන්වීමේ අහිංසක සිහිනයන් සිත දරාගෙනය. නමුත් ජනමාධ්‍ය විසින් ඔවුන්ව ඉතා දරුණු ලෙස විවේචනය කරනු ලැබේ. රට යන දස ලක්ෂයක් පමණ කාන්තාවන්ගෙන් දහ දෙනකුගෙන් පමණ නරක සිද්ධින් වාර්තා වුවද සමාජය විසින් පිළිගනු ලබන්නේ සියලුම දෙනා නරක අය ලෙසය. ඊට තටු සපයන්නේ ජනමාධ්‍යයයි.

මෑත කාලයේ වාර්තා වූ වෛද්‍ය සාෆිගේ සිද්ධිය ද එසේම ය. වෛද්‍ය සාෆිගේ නඩුව අසන විනිශ්චයකාරවරයා විසින් වෛද්‍ය සාෆි සේවයේ නියුතු රෝහලේ අධ්‍යක්ෂවරයාද කටඋත්තර දීම සඳහා කැඳවනු ලැබිණි. නමුත් ඔහු දන්ත වෛද්‍යවරයෙකි. මෙම විෂය සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමට නොදන්නා අයකු කැඳවීමට විනිශ්චයකාරවරයාට අයිතියක් නොමැති බව පැවසේ. එසේම ඔහුගේ ප්‍රකාශ අඩංගු වාර්තා සියල්ල උසාවි පොතෙන් අතුරුදන් වී තිබේ.

බියගැන්වීම

මෙම සිද්ධිය වටා සිද්ධිදාමයක් ගොනු වී තිබේ. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිය වෛද්‍ය සාෆි සේවයේ නියුතු රෝහලේම සේවය කරන අතර ඔහුගේ දරුවන් වෛද්‍ය සාෆිගේ දරුවන් යන පාසලට යන බව පැවසේ. වෛද්‍ය සාෆිගේ දරුවන් අනෙක් දරුවන් අතර බෙහෙවින් කැපී පෙනෙන තත්ත්වයක සිටින බව පැවසේ. රටේ ජනමාධ්‍යයත් සමඟ එකතු වී රට තුළ මහා සිද්ධියක් නැතහොත් ඇඟ කීරි ගැහෙන සිද්ධියක් බවට පත් කෙරිණි. මිනිසුන් බියගන්වන සිද්ධියක් මවා පා තිබේ. මෙම තත්ත්වය දෙස බැලූවිට ජනමාධ්‍යවේදීන් වශයෙන් අප ලජ්ජා විය යුතුය. කනගාටු විය යුතුය. අප මිනිසුන්ගෙන් සමාව ගත යුතුය. ජනමාධ්‍ය සංස්කෘතිය වෙනස් කිරීමට අපට යුතුකමක් හා වගකීමක් තිබේ.

වෘත්තීයවේදීන්ගේ තත්ත්වයද ඉතා පහළ මට්ටමක තිබේ. එමෙන්ම දේශපාලකයන් පමණක් නොව වෛද්‍යවරු, නීතිඥවරු, ඉංජිනේරුවන් සහ ගණකාධිවරු ඇතුළු ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම කුණු වී තිබේ. වැදගත්ම කරුණ වන්නේ ජනමාධ්‍යවේදීන්ට හෝ වෘත්තීයවේදීන්ට හෝ ගෞරවය ලබා දීම කිසිවකුට කළ නොහැකි බව ය. ඒ අය තමන් විසින්ම නැවත ගෞරවනීය තත්ත්වයක් ඇතිකර ගත යුතුය.

ලංකාව තුළ ගොඩනැඟිලි, ව්‍යාපාර යන්ත්‍ර සූත්‍ර තිබුණද, ඒවා ඉතා ගාම්භීර ලීලාවෙන් පෙනී සිටිය ද එතුළ ඇති නිෂ්පාදන ඉතාමත් පහත් මට්ටමක පවතී. ඒ පිළිබඳව අප කම්පා විය යුතුය. ලංකාවේ ජනමාධ්‍ය ද නිම් ඇඳුම් කර්මාන්ත ශාලාවක තත්ත්වයට වැටී තිබේ.

මේ රට වසර 30ක් ලේ මත පිහිනපු රටකි. තොග ගණනින් මිනිසුන් මැරුණු රටකි. මෙම අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට අපට යුතුකමක් සහ වගකීමක් තිබේ. ඒ සඳහා ඇති ප්‍රධාන බාධාව දේශපාලනඥයන් ‍නොව මෙරටේ ජනමාධ්‍යයි. මේ තුළ අසත්‍යය, වෛරය, එකතුවී තිබේ. ප්‍රමිතියක්, ගෞරවයක් සහ අභිමානයක් නොමැති වීම මෙයට මූලිකම හේතුව බවට පත්වී තිබේ. ජනමාධ්‍ය වගකීමෙන් ක්‍රියාකරන, ශීලාචාර තැනකට පත්කර ගැනීම සඳහා ජනමාධ්‍ය සමඟ ගැටුම් ඇතිකර ගැනීම ගැනීම අවශ්‍ය නැත. ජනමාධ්‍ය ඉදිරියට ගොස් හූ කීම රණ්ඩු කිරීම හෝ උද්ඝෝෂණ කිරීම ද අවශ්‍ය නොවේ. මුද්‍රිත ජනමාධ්‍යවලට වඩා විද්‍යුත් මාධ්‍යවලට විශාල වගකීමක් තිබේ. මන්ද ඔවුන් භාවිත කරන්නේ මහජනතාවට අයිති ගුවන් තරංගය. එම නිසා විද්‍යුත් ජනමාධ්‍යයට මුද්‍රිත මාධ්‍යයන්ට වඩා ජනතාව පිළිබඳ වගකීමක් තිබේ. අනෙක් රටවල මෙන් ජාතික ප්‍රතිපත්ති රාමුවකට යා යුතු ය. මිනිසුන් ද මේ තත්ත්වයේ වෙනසක් දැකීමට කැමතිය. ජනමාධ්‍ය විසින් මෙය තේරුම් ගත යුතුය. මේ සඳහා කළ යුත්තේ කැරළි ගැසීම නොව තමන්ගේ ආයතනය පීඩනයට පත්කිරීමයි. මහත්මා ගාන්ධි තුමා සහ නේරු තුමා ජනමාධ්‍යවේදීන් ලෙස ඉන්දියාවේ නිදහස් අරගලයේ දී විශාල කර්තව්‍යයක් කළ බව සැවොම දන්නා කරුණකි. ඔවුන් ඉතාම නිර්මාණශීලී ලෙස එම මහා විපර්යාසය දියත් කොට තිබුණි. එම සංස්කෘතිය විසින් ඉන්දියාවේ සෑම දෙයක් ම වෙනසකට ලක් කෙරිණි. අප සැවොම එකම අධිෂ්ඨානයක පිහිටා මෙම තත්ත්වය වෙනස් කළ යුතු ය.

සයිබර් මාධ්‍ය

මානව හිමිකම් කොමිසන් සභාවේ කොමසාරිස්වරිය වන නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම මහත්මිය ගේ අදහස් වූයේ වර්තමාන සමාජය තුළ නිතරම භාවිත කරන වචන අතරට නව මාධ්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය, ඩිජිටල් මාධ්‍ය නොහොත් සයිබර් මාධ්‍ය, පුරවැසි මාධ්‍යවේදීන් ද අයත්වන බවයි. පුරවැසි මාධ්‍යවේදීන් පිළිබඳව සමාජයේ පුද්ගලයන් සිතා සිටිනුයේ සමාජය ඔවුන්ට පූජා කොට ඇති බවයි. එසේත් නැතහොත් සමාජය ආරක්ෂාවනුයේ ඔවුන් නිසා බවයි. නමුත් සාම්ප්‍රදායික මාධ්‍යවේදීන්ට ඇති ආරක්ෂාව වත් පුරවැසි මාධ්‍යවේදියාට නැත.

පසුගිය වසර 10 තුළ නව මාධ්‍ය ක්‍රම සමාජය තුළට ඇතුළු වී ඉතා ඉක්මනින් ප්‍රසිද්ධියට පත්විය. අප බැලිය යුත්තේ මෙතැනින් සිදුවන්නේ කුමක්ද? කියායි. මෙම නව මාධ්‍ය මෙතරම් ප්‍රසිද්ධියට පත්වීම පිළිබඳව විවිධ මත සමාජය තුළ තිබේ. තරුණයින් තරුණයින් සමඟ සාකච්ඡා කිරීමක් නිසා මේවා ප්‍රසිද්ධ වූ බව පැවසේ. ඇතැම් අය පවසන පරිදි තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවන් ඇති බැවින් ප්‍රසිද්ධ වී ඇත. තවත් අය පවසනුයේ අලුත් දෙයක් නිසා ප්‍රසිද්ධ වූ බවයි.

රූපවාහිනිය ලංකාවට පැමිණි මුල් කාලයේ ද ඒ වටා බො‍හෝ පිරිසක් රොක් වී එය ආදරයෙන් වැලඳගත්හ. මෙම නව මාධ්‍යයන් ද තවත් වසර 10කට පසු කොහේ තිබේදැයි කිසිවකුට කිව නොහැකිය. අප නිතරම බැලිය යුත්තේ අපේ සමාජය තිබෙන්නේ කොතැනද යන්නයි. මාධ්‍ය කොතැන තිබුණ ද සමාජය දෙස අප විමසිලිමත්ව සිටිය යුතු ය. නව මාධ්‍යයන්හි සේවය කරන ඇතැම් අයට නම් නැත. නම් නැති වුවද ඔවුන් දෙන ව්‍යාජ ප්‍රවෘත්ති ජනතාව ඉක්මණින් බාර ගනිති. එය විශ්වාසයෙන් යුතුව අදහති. මාධ්‍යවේදීන්ට පමණක් දොස් කියා පලක් නැත. නිර්ණාමික මිනිසුන් විසින් වඳ පෙති තිබෙන ආහාර පිළිබඳව පවසා සමාජය බයකරනු ලබයි. භාවිත කිරීමට නුසුදුසු යට ඇඳුම් පිළිබඳව පවසනු ලබයි. මෙම ව්‍යාජ දේ පැවසීම මඟින් සමාජයට බලවත් අසාධාරණයක් සිදුවේ. මෙවැනි ප්‍රවෘත්ති සපයන නව මාධ්‍යයන්හි සේවය කරන අය තම නමවත් නොපවසන්නේ එම ප්‍රවෘත්තිවල ඇති අසත්‍යභාවය නිසාය. එය නිවැරදිව තේරුම් ගැනීමට හෝ සමාජය බුද්ධිමත් නැත. මෙය කොතැනින් කෙළවර වේදැයි කිසිවකුට කිව නොහැකිය. ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ද සයිබර් මාධ්‍ය මඟින් අසත්‍ය ප්‍රවෘත්ති පවසන පිරිස් සිටිති.

මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියකු ලෙස නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අදහස් දැක්වූයේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය (ICCPR) පිළිබඳවය.

ලංකාවේ GSP සහනය ලබා ගැනීම සඳහා පැවතුණු යම් යම් කොන්දේසි ඇගයීම සඳහා ජාත්‍යන්තරයට කරන්නා වූ කිසියම් එකඟවීමක් ලෙස මෙම ICCPR පනත 2007 වසරේ දී පනතක් වශයෙන් ලංකාවේ ස්ථාපනය විය. මෙම පනතේ තුන්වැනි වගන්තියේ සඳහන් වනුයේ වෛරී ප්‍රකාශන, ජාතීන් අතර අසමගිය ඇතිකිරීම සම්බන්ධවය. එළෙස කටයුතු කරන පුද්ගලයන් සීමා කිරීමේ හැකියාවක් මෙම පනත හරහා ලැබී තිබේ. ප්‍රචණ්ඩත්වය, ගැටලුකාරී තත්ත්වයන් ඇති කිරීම වැනි ක්‍රියාවන් ක්‍රියාත්මක කරන ආකාරය ප්‍රවර්ධනය කිරීම, ඒවාට ප්‍රයත්න දැරීම මෙම පනතට අනුව වරදක් වේ.

සටහන-චතුමී පිටිපන

නව අදහස දක්වන්න