දෙපයින් නැගී සිටිය හැකි, කාටත් දැනෙන සංවර්ධනයක් රටේ ඇති කරනවා | දිනමිණ

දෙපයින් නැගී සිටිය හැකි, කාටත් දැනෙන සංවර්ධනයක් රටේ ඇති කරනවා

ඇමැති සජිත් කියයි

ශ්‍රී ලංකාවේම නිවාස ප්‍රශ්නය අංග සම්පූර්ණව විසඳා ජාති, කුල - මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව මාතෘ භූමියේ‘සැමට සෙවණ’ ලබා දෙන්නට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද වන විට රට පුරාම ශීඝ්‍රගාමී නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ වනවිට රටේ උදා ගම්මාන 2,548 ක වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බවද ඇමැතිවරයා කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීය.

2025 දී රටේ ‘සැමට සෙවණ’ ලබාදීමේ වැඩසටහන අප ක්‍රියාත්මක කරන්නේ පියවර 4ක් යටතේයි. එහි පළමු පියවර වන්නේ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි.දෙවන පියවර උදා ගම්මාන 5,000ක් ඉදිකිරීමයි. තුන්වන පියවර උදා ගම්මාන 10,000ක් සහ සිවුවන පියවර නැවත උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. මෙසේ පියවර 4කින් වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000ක් ඉදි කර ජාති, කුල - මල, පන්ති, පක්ෂ, පාට භේදයෙන් තොරව මාතෘ භූමියේ‘සැමට සෙවණ’ ලබා දෙන්න කටයුතු කරන බව මා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.

අපගේ පළමු පියවර වූ උදා ගම්මාන 2,500 ඉලක්කය අවසන් කිරීමට අප අපේක්ෂා කළේ මේ වසරේ සැප්තැම්බර් මාසය අග වන විටයි. නමුත් එම ඉලක්කය ජූනි මාසයේදීම අවසන් කිරීමට අපට හැකි වුණා. රටේ ඉදිවන 2,500 වන උදා ගම්මානයට ජුනි මාසයේ 15 වැනිදා මුල්ගල තබා අප වැඩ ආරම්භ කළා. එසේ කිරීමට හැකි වුණේ නිවාස, ඉදිකිරීම සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සිටින ඉතා දක්ෂ නිලධාරීන් නිසයි. එය අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. අපගේ ඉලක්කය කල්වේලා ඇතිව ජයගන්නට හැකිවීම පිළිබඳව මා බොහෝ සෙයින් සතුටට පත්වෙනවා.

අද වන විට රට පුරාම ශීඝ්‍රගාමී නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වනවිට රටේ උදා ගම්මාන 2,548ක වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා.අපගේ උදා ගම්මාන නිවාස වැඩසටහනේ පළමු පියවරින් අප ඉදි කරන්නේ තනි මහලේ නිවාසයි. නමුත් රටේ පවතින ඉඩම් සම්පත සීමාසහිත බැවින් දෙවන, තුන්වන සහ හතරවන පියවර අප ක්‍රියාත්මක කරන්නේ ‘තට්ටු නිවාස’ වැඩපිළිවෙළ යටතේයි. ඒ අනුව එක ඉඩමක අනු පවුල් දෙක තුනකටම නිවාස ඉදි කෙරෙනවා. එලෙස රටේ සීමාසහිත වූ භූමිය වඩාත් ඵලදායිව හා විධිමත්ව ප්‍රයෝජනයට ගනිමින් අප ‘සැමට සෙවණ’ ලබා දෙන්න කටයුතු කරනවා.

මම ඉලක්කයට වැඩ කරන පුද්ගලයෙක්. මට ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කය කරා මා යන්නේ කාලසටහනකට අනුවයි.

"යළි පිබිදුණු ගම් උදාව" වැඩසටහන යටතේ යහපාලන රජය ජනතා අයිතියට පත්කළ 244 සහ 245 වන උදා ගම්මාන වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ ඉදි වූ “සෙන්තමිල් ග්‍රාමම්” සහ “තිරුවේරපුරම්” උදා ගම්මානයි. මේ උදා ගම්මාන දෙක අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 416 ක් පමණ වැය කර තිබෙනවා. නව නිවාස 44 කින් සමන්විත වන මේ උදා ගම්මාන දෙක පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විතයි. යාපනය, වලිකාමම් බටහිර ප්‍රදේශයේ ඉදිවු “සෙන්තමිල් ග්‍රාමම්” උදාගම්මානය ඉදිකර ඇත්තේ ඉන්දීය රජයේ ආධාර මතයි.

උතුරු නැඟෙනහිර බල ප්‍රදේශයේ කාන්තා මූලික පවුල් ලක්ෂ ගණනක් සිටිනවා. එම පවුල්වල නායකත්වය දරන්නේ කාන්තාවන්. ඔවුන් ගත කරන්නේ ඉතා දුෂ්කර ජන ජීවිතයක්. ඔවුන් සිය දූ දරුවන් බලා ගන්නේ ඉතාම අමාරුවෙන්. එම කාන්තා මූලික පවුල් සිය දරුවන්ට අධ්‍යාපනය ලබා දී හොඳ ජීවිතයක් ලබා දෙන්නේ අමාරුවෙන්. එම නිසා මේ කාන්තා ගෘහ මූලික පවුල් සඳහා විශේෂිත වූ වැඩසටහනක් ආරම්භ කර,ඔවුන් සඳහා විශේෂ වූ අධ්‍යාපන, නිවාස, සෞඛ්‍ය සුබසාධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර, එම පවුල් ආරක්ෂා කර ගනිමින් හොඳ ආදායම් මාර්ග ඇති කර එම පවුල්වල සුබසාධනය වෙනුවෙන් ඇපකැප වන බවට මා ඔබට පොරොන්දු වෙනවා.

රටේ පුරවැසියන් සියලු දෙනාම එක හා සමාන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වී තිබෙනවා. ජාතිය, ආගම, පන්තිය කුමක් වුවත් රටේ උත්තරීතර නීතිය ඉදිරියේ සියලු දෙනාම සමානයි. නමුත් රට පුරාම ඇවිදින විට මට ප්‍රශ්නයක් තිබෙනවා. ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කළාට හැමෝම සමානයි කියා. ඇතැම් ප්‍රදේශවලට යන විට සමානාත්මතාවට වඩා අසමානාත්මතාව ඇති බව අපට පෙනෙනවා.උතුරු පළාතට පැමිණියාම අපට පෙනෙන්නේ අධ්‍යාපනය පහළ මට්ටමක තිබෙන බවයි. සෞඛ්‍යය ක්ෂේත්‍රයත් ඒ වගෙයි. යටිතල පහසුකම්ද පවතින්නේ පහළ මට්ටමකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සියලුදෙනා සමානයි කියා පැවසුවද, එය එසේ නොවන බව ඉන් අපට පැහැදිලි වෙනවා. මෙය රටේ උතුරු පළාතේ පමණක් නොව, නැඟෙනහිර පළාතේ මෙන්ම මුළු රටේම තිබෙනවා. නමුත් උතුරු නැඟෙනහිර පළාත්වල මෙය විශේෂිතයි.

මේ කරුණ නිසා උතුරු නැඟෙනහිර මෙන්ම රටේම අසරණ වී ඇති පොදු ජනතාවට මා පොරොන්දුවක් ලබා දෙනවා.

දැන් මේ එළැඹ තිබෙන්නේ දේශපාලන සමයයි. මෙය දේශපාලන සංගීත පුටු තරගයක්. ජනතාවට දේශපාලන ලොසින්ජර් හා බිස්කට් බෙදන කාලයක්. උතුරු නැඟෙනහිර ජනතාව මේ දේශපාලන සමයේ බොහෝ අය බයිට් එකට ගන්නවා. තම දේශපාලන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට මේ උතුරු නැඟෙනහිර ජනතාව යොදා ගන්නවා. මා කිසිවිටක දේශපාලන බයිට් ලබාදෙන අයෙක් නොවෙයි. මගේ පියාත් ඔබ වගේම පුංචි තැනක සිට ජනාධිපති පුටුව කරා ගිය පුද්ගලයෙක්. මගේ පියා සමඟ මා රට වටේම ඇවිද තිබෙනවා. අද මමත් රට වටේම ඇවිදිනවා. ඔබේ හදවතේ ඇති කැක්කුම ගැන මට කාගෙන්වත් ටියුෂන් අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව පිළිබඳව හොඳ අවබෝධයක් මට තිබෙනවා. පැහැදිලිවම ඔබේ ඇස්වලට පෙනෙන, පපුවට බඩට දැනෙන, සුවිශාල සංවර්ධන විප්ලවයක් රටේ ක්‍රියාත්මක කරනවා. එම සංවර්ධන විප්ලවය ක්‍රියාත්මක කරන විට 30 වසරක යුද්ධයෙන් විපතට පත්වූ ඔබේ ජීවිතය ආරක්ෂා කර ශක්තිමත් කර ඔබට රැකවරණය ලබා දී කිසිවකුගේ වහලෙකු නොවී තම දෙපයින් නැගී සිට ආත්මාභිමානය රැකගෙන ජන සමාජයේ ජීවත්වීමට අවස්ථාව ලබාදෙන ජාතික වගකීම ලබා දෙනවා කියා මා පොරොන්දු වෙනවා.

නව අදහස දක්වන්න