අපේක්ෂකයන්ගේ සුදුසුකම්...! | දිනමිණ

අපේක්ෂකයන්ගේ සුදුසුකම්...!

ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ සුදුසුකම් පිළිබඳ බලවත් සංවාදයක් රට තුළ පවතී. එය කෙතරම් උණුසුම් ද යත්; භික්ෂු සංවිධාන කිහිපයක එකමුතුවෙන් ඊට අදාළ යෝජනාවලියක් ද සමාජගත කර තිබේ. එම යෝජනාවලියේ සඳහන් එක වගන්තියක් වන්නේ දූෂිතයන්, අපරාධකාරයන් හා අධිකරණයේ පවතින නඩු විභාගවල චුදිතයන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස නම් කිරීම නුසුදුසු බව ය. සිවිල් සංවිධාන ගණනාවක් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කියා සිටින්නේ ද රටේ මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස තෝරා පත්කර ගැනීමෙන් වළකින ලෙස ය. ඉතිහාසය විමසන විට පෙනී යන්නේ දූෂණයට, භීෂණයට හා වංචාවට එරෙහි ජනතා සටන ආරම්භ වූයේ 2015 දී බව ය. ඒ සටනින් ජනතාව ජයග්‍රහණය කළහ.

මේ වන විට ප්‍රධාන දේශපාලන ධාරාවෙන් ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොහොත් පොහොට්ටු පක්ෂය පමණි. එම අපේක්ෂකයා නම්; ගෝඨාභය රාජපක්ෂ මහතා ය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඔහු සම්බන්ධයෙන් බලවත් තර්කයක් ඉදිරිපත් කරයි. එය අභියෝගයක් ලෙස ද සැලැකිය හැකි ය. වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ප්‍රගීත් එක්නැලිගොඩ, තාජුදීන්, කීත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන් යන ප්‍රකට පුද්ගලයන්ට අදාළ සිද්ධි සම්බන්ධයෙන් ගෝඨාභය මහතා ජාතියෙන් සමාව ගත යුතු බව ය. තවද සිරස කාර්යාලයට පහර දීම, උදයන් කාර්යාලයට පහරදීම සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ය.

අගමැතිවරයා ඉදිරිපත් කරන තර්කය පහසුවෙන් බැහැර කළ හැකි එකක් නො වේ. ඉහත සඳහන් පුද්ගලයන්ගෙන් කිහිපදෙනකු ජීවතුන් අතර නැත. ඔවුන් ඝාතනය කර ඇති බව කව්රුත් දනිති. තාජුදීන්, ලසන්ත, ප්‍රගීත් නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේ සිදුවීම්වලට අදාළ නඩු විභාග අවසන් වී නැතත් අපරාධවලට සම්බන්ධ මූලිකයා කව්රුන්ද යන්න ගැන විවාදයක් නැත. අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට සුදු වෑන් සංස්කෘතිය සම්බන්ධයෙන් ද, ගෝඨාභය මහතා ජාතියෙන් සමාව ගත යුතු ය. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන සේවාවක් ඉටුකරමින් සිටි වෘත්තිකයෝ ගණනාවක් මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ රට හැර ගියහ. 2015 න් පසු නැවත මව්බිමට එන්නැ'යි අලුත් ආණ්ඩුව ඉල්ලා සිටිය ද කිසිවකු පදිංචියට පැමිණියේ නැත. සුදු වෑන් සංස්කෘතියේ භීතිය ඉන් වටහාගත හැකි ය.

ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ මහින්ද පාර්ශ්වයේ දුර්වල ම අපේක්ෂකයා ජනාධිපති තරගයට ඉදිරිපත් කර ඇති බව ය. ඔවුන්ගේ තර්කය වන්නේ මූල්‍ය විනයක් හා පරිපාලන විනයක් නැති තැනැත්තකු ජනාධිපතිවරයා ලෙස පත්කිරීමට සූදානම් වීම අතිශය භයානක බව ය. ශ්‍රී ලංකාව වැනි රටවල් නො දියුණු තත්ත්වයේ පැවැතීමට ප්‍රධාන හේතුව රටේ නායකයාගේ සිට පහළම නිලධරයා දක්වා දූෂණය හා වංචාව ව්‍යාප්ත වී තිබීම යැයි ආර්ථික විශේෂඥයන් පෙන්වා දී ඇත. මූල්‍ය වංචා පිළිබඳ චෝදනා ගණනාවක් රාජපක්ෂ පවුල වෙත එල්ල වී තිබේ. අධිකරණ කිහිපයක ඊට අදාළ නඩු විභාග වෙමින් පවතී. කොළඹ පැල්පත්වාසීන් බලහත්කාරයෙන් ‍තම වාසස්ථාන වෙතින් එළවා දැමීම පිළිබඳ චෝදනාවක් ද ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණයට පත්වූයේ ජනතා පොරොන්දු කිහිපයක් ද සමඟ ය. ඒ අතර වූ ප්‍රධාන සටන් පාඨ කිහිපයක් වූයේ ඒකාධිපති පාලනය අවසන් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය පිහිටුවීම හා මානව නිදහස ශක්තිමත් කිරීම ය. අඩු - වැඩි වශයෙන් ඉහත ක්ෂේත්‍රවල ජයග්‍රහණ ලබන්නට විධායකය හා ව්‍යවස්ථාදායකය සමත් වී ඇති බව දකින්නට ලැබේ. දැන් ගැටලුව වී ඇත්තේ ජනතාව මෙතැන් සිට තව ඉදිරිගාමී පියවරක් තබන්නේ ද? නැතහොත් පෙරළා අතීතය වෙත ගමන් කරන්නේ ද යන්න ය. මිලිටරි පාලනයක්, ඒකාධිපති ආණ්ඩුවක් හා නිදහස අහෝසි වූ සමාජයක් නැවත අපේක්ෂා කරන්නෝ කවරහු ද යන්න බරපතළ ගැටලුවකි.

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ මූලික සුදුසුකම් ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි දක්වා ඇත. ඉන් එක සුදුසුකමක් වන්නේ විදේශීය පුරවැසිභාවයක් නො වන පුද්ගලයකු වීම ය. විදේශීය පුරවැසිභාවයක් ලැබූ තැනැත්තා පුරවැසිභාවය ලබන රාජ්‍යයෙහි ව්‍යවස්ථාපිත වගන්ති ආරක්ෂා කිරීමට ද, ‍එම රාජ්‍යයට පක්ෂපාතී වීමට ද බැඳී සිටී. එබඳු තැනැත්තකු වෙනත් රටක නායකත්වයට නුසුදුසු බව පිළිගැනීම වෙයි. ප්‍රශ්නය ඇත්තේ විදේශීය පුරවැසිභාවය හෝ ද්විත්ව පුරවැසිභාවය හෝ නොවේ යැයි කිව හැකි ය. ස්වාධීන ශ්‍රී ලාංකික සමාජ නායකයකු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාව ප්‍රධාන ගැටලුවකි. පක්ෂයක් එබඳු තත්ත්වයකට ඇදවැටීම එක අතෙකින් ශෝචනීය වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ද අමෙරිකාවේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුවක් පවතී. එය ඉවත් කරගෙන තිබුණ ද; නොතිබුණ ද ස්වාධීන ශ්‍රී ලාංකිකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නො කිරීම එක අතෙකින් දේශපාලන පසුබෑමකි. තව අතෙකින් රාජපක්ෂ පාර්ශ්වය වෙත එල්ල වී ඇති පවුල්වාදය නම් ‍චෝදනාව තහවුරු කරන්නකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කෙරෙහි විරෝධාකල්පයක් දක්වන බව පෙනෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා මහින්ද පාර්ශ්වය, එනම්; ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ දෙකක් ලෙස ජනාධිපතිවරණයට මුහුණ දෙන ආකාරයක් ද දැකගත හැකි ය. පක්ෂ දෙක අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරා දෙක වන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යි. තෙවන බලවේගය හැටියට ජනතා විමුක්ති පෙරමුණ හැඳින්විය හැකි වුව; පොහොට්ටු පක්ෂය ද බලවේගයක් ලෙස පවතී. එක්සත් ජාතික පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ තව ම ජනාධිපති අපේක්ෂකයකු නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නැත. එබැවින් එම පක්ෂවල අපේක්ෂකයන් ගැන කතා කිරීමේ හැකියාවක් නැත. කුමක් වුව ප්‍රථමයෙන් ම ජනාධිපති අපේක්ෂකයා ලෙස කරළියට පැමිණි ගෝඨාභය මහතා සංකීර්ණ ගැටලු සමූහයක් ජනතාව හමුවේ තබා ඇත.

නව අදහස දක්වන්න