ආරුගම්බේ මැරතන් තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට | දිනමිණ

ආරුගම්බේ මැරතන් තරගයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට

පොතුවිල් ආරුගම්බේ සංවර්ධන පර්ෂදය සංචාරක ව්‍යාපාරය වර්ධනය කිරීමට දායකත්වය ලබාදීමේ අරමුණින් ‘ශ්‍රී ලංකාව නැවත නඟා සිටවමු’ තේමාව යටතේ සිවුවැනි වරට සංවිධාන කළ මැරතන් තරගයක් පසුගියදා පොතුවිල් ආරුගම්බේදී පැවැත්විණි.

ආරුගම්බේ සිට පොතුවිල් ඌරනිය දක්වා කිලෝමීටර් 21 දක්වා පැවැති මේ මැරතන් තරගයට දෙස් විදෙස් තරගකරුවන් දෙසීය පනස් දෙනෙකු පමණ සහභාගී වූහ. කිලෝමීටර් 21.1, කිලෝමීටර් 10, කිලෝමීටර් 5 කනිෂ්ඨ සහ වැඩිහිටි ලෙස තරග ඉසව් හතරකින් සමන්විත වූ තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

එහිදී කි‍.මී 21 පිරිමි තරග ජය ගැනීමට නිශාන් මදුරංග සමත්වූ අතර කි.මී.10 පිරිමි තරගයේ ජය විමල් කාරියවසම්ට හිමිවිය.

කි.මී.21 කාන්තා තරගයෙන් ප්‍රංශයේ එමිලි ඔලිවියා ජය ගනිද්දී, කි.මී.10 තරගයේ ජය හිමිවූයේ ඔස්ට්‍රියාවේ ඇනා පෙට්සෝල්ඩ් ට ය.

කි.මී. 5 කනිෂ්ඨ තරගය අබ්දුල් සමාද් සකී ද, වැඩිහිටි තරගය නෙදර්ලන්තයේ ටිම් පැන්හොෆ්ට් ද ජයගත් අතර කාන්තා තරගයේ ජය එංගලන්තයේ ලීස් හයිලර් සතුවූවාය.

පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට ආධාර කිරීම සඳහා මේ තරගය සංවිධන කළ බව සංවර්ධන පර්ෂදයේ සභාපති හා තරග අධ්‍යක්ෂක ඉසෙඩ්.එම් හජිත් මහතා පැවසීය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානය පොතුවිල් කොමාරිය ශ්‍රී ලංකා යුද හමුදා 242 වෙනි බලසේනාධිපති බ්‍රිගේඩියර් දමිත රණසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරිණි.

තරග ප්‍රතිඵල මෙසේය.

කි.මී.21.1

පිරිමි - 1.නිශාන් මදුරංග, 2.අනුර බණ්ඩාර, 3.කැලුම් ධර්මරත්න

ගැහැණු - 1.එමිලි ඔලිවියා (ප්‍රංශය), 2.ඇන්ජලීනා පෙටින්පියුරෝ‍ (ෆින්ලන්තය), 3.ෆ්‍රැන්සිස්කා බෝනිසියා (ප්‍රංශය)

කි.මී.10

පිරිමි - 1.විමල් කාරියවසම්, 2.ක්‍රිෂාන් දොඩම්වත්ත, 3.වසන්ත රත්නායක

ගැහැණු - 1.ඇනා පෙට්සෝල්ඩ් (ඔස්ට්‍රියාව), 2.මියුරා වැලන්ටිනා (ඉතාලිය), 3.මාරියා ලිලේබේක් (ඩෙන්මාර්ක්)

කි.මී. 5

කනිෂ්ඨ - 1.අබ්දුල් සමාද් සකී අහමඩ් මුහානි, 2.මොහමඩ් නිසාර්, 3.මොහමඩ් මුර්සීත් සෙයිනුතෙන්

වැඩිහිටි

පිරිමි - 1.ටිම් පැලන්හොෆ්ට් (නෙදර්ලන්තය), 2.මන්සා, 3.දිසානායක සුදත්

ගැහැණු - 1.ලීස් හයිලර් (එංගලන්තය), 2.ශ්‍රී ගුණසේන (එංගලන්තය)

ඌව වෙල්ලස්ස විශේෂ 
ඩී.එස් ගුණතිලක

 


නව අදහස දක්වන්න