විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව සබරගමුවට | දිනමිණ


 

විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා ශූරතාව සබරගමුවට

රුහුණ විශ්වවිද්‍යාලයේ සත්කාරකත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල මලල ක්‍රීඩා තරගාවලියේ සමස්ථ ශූරතාව දිනා ගැනීමට සබරගමුව විශ්වවිද්‍යාලය සමත් විය. පසුගිය වසරේ පැවැති මේ තරගාවලියේ ශූරතාව දිනාගත් සබරගමුව පිල මෙවර එය රැකගැනීම කැපී පෙනුණි.

මේ තරගාවලියේදී සබරගමුව විශ්වවිද්‍යාල පිල ලකුණු 248ක් ලබාගත් අතර ලකුණු 146ක් රැස්කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුශූරතාව හිමිවිය. තෙවැනි ස්ථානය කොළඹ විශ්වවිද්‍යාලය (100) සතුවිය.

ශූරතාව දිනාගත් සබරගමුව විශ්වවිද්‍යාල ක්‍රීඩකයෝ ලකුණු 101ක් ලබමින් පිරිමි මලල ක්‍රීඩා ශූරතාව දිනාගත් අතර එම ක්‍රීඩිකාවෝ කාන්තා මලල ක්‍රීඩා ශූරතාව දිනා ගත්තේ ලකුණු 147ක් රැස් කරමිනි.

පිරිමි මලල ක්‍රීඩා වලදී කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල දෙවැනි සහ තෙවැනි ස්ථානයන්ට පත්විය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය පිළිවෙළින් කාන්තා මලල ක්‍රීඩා ඉසව්වල දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

මේ තරගාවලියේදී නව තරග වාර්තා 16ක් බිහිවූ අතර ඉන් වාර්තා 9ක් ශූරතාව දිනාගත් සබගරමුව විශ්වවිද්‍යාලය සතුවිය.

මෙහිදී ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ රෝෂාන් ධම්මික රණතුංග මීටර් 110 කඩුලු, උස පැනීම සහ දුරපැනීම ඉසව් ත්‍රිත්වය සමග මීටර් 100 සහාය තරගයේ නව තරග වාර්තාවක් තැබීමටද තම කණ්ඩායමට දායකත්වය දැක්විය. රෝෂාන් තුන්පිම්ම මීටර් 15.45ක්, 110 කඩුලු ඉසව්වෙන් මූලික වටයේ දී තත්. 15.12ක කාලයකින් වාර්තා තැබූ ඔහු අවසන් වටයේ එම ඉසව්වෙන් තත් 14.64ක් වාර්තා කොට තරග වාර්තාව යළිත් අලුත් කළේය. උස පැනීම මී.2.06ක් නව තරග වාර්තාව පිහිටවු රෝෂාන් සමත්වූ අතර මී.100 සහාය ඉසව්වෙන් මූලික වටයේදී තත්.42.3ක කාලයකින් වාර්තාව පිහිටුවීමට සබරගමුව ක්‍රීඩකයෝ සමත්වූහ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බී. ලවනන් රිටි පැනීමෙන් මීටර් 3.91ක උස වාර්තා කරමින් නව තරග වාර්තාවක් පිහිටවනු ලැබීය. මීටර් 39.56ක් දුර කවපෙත්ත විසිකිරීමෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කේ.ඒ.පී. ජයවර්ධන නව තරග වාර්තාවක් පිහිටවූ අතර විනාඩි 3:24 .75ක කාලයක් වාර්තා කොට මීටර් 400 සහාය ඉසව්වෙන් නව තරග වාර්තාවත් පිහිටුවීමට සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩකයෝ සමත්වූහ. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඒ.එම්.පී.ඒ. අබේරත්න මීටර් 400 කඩුලු ඉසව්වෙන් මූලික තරගයේ දී 1.07.62 කාලයකින් නව තරග වාර්තාවක් පිහිටවූ අතර එම ඉසව්වේ අවස්න තරගයේදී ඇය විනාඩි 1:06.21 වාර්තා කළාය. මීටර් 200 ඉසව්වේ සබරගමුවේ ඔමායා උද්‍යාංගනී මූලික වටයේ දී තත් 25.71 නව වාර්තාවක් බිහිකළ අතර අවසන් තරගයේදී එම වාර්තාව යළිත් අලුත් කරමින් තත්.25.21 ක කාලයක් වාර්තා කළාය. ඇය මීටර් 400 ඉසව්ව තත්.56.30කින් නිමකරමින් නව වාර්තාවක්ද පිහිටවූවාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ඒ.එම් නිප්‍රාස් මීටර් 800 තරගයේ දී විනාඩි 1:54.26කින් සහ මීටර් 1500 විනාඩි 4:00.50 කාලයකින් නව වාර්තා පිහිටවූ අතර මීටර් 12.91 සටහන් කරමින් තුන්පිම්ම වාර්තාවට හිමිකම් කීවේ ශ්‍රී ජයවර්ධනපුර බී.එම්.එච්.පී බාලසූරියයි. කාන්තා මීටර් 400 සහාය තරගයේ නව වාර්තාවක් පිහිටුවීමට ද සබරගමුව විශ්වවිද්‍යාලය සමත් විය.

බෙලිහුල්ඔය සමූහ 
සමන්තා කංකානම්ගේ

නව අදහස දක්වන්න