නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙන් ඉදිකිරීම් වැඩබිම්වල සේවකයන්ට දෑ අභිමානී උපහාර | දිනමිණ

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙන් ඉදිකිරීම් වැඩබිම්වල සේවකයන්ට දෑ අභිමානී උපහාර

මහානගර අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් වැඩබිම්වල සේවය කරන ශ්‍රමිකයන්ගේ සේවය අගයනු වස් සංවිධාන කළ ‘දෑ අභිමානී - 2019 උපහාර උළෙල පසුගිය දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ආර්ථිකයේ නියම ප්‍රතිලාභ සියලු වැඩකරන ජනතාවට ලබාදෙන අලූත් සමාජ ක්‍රමයක් ගැන සැලසුම් කළ යුතුයි බව මහානගර අමාත්‍ය චම්පික රණවක මහතා

එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, මුඩුක්කු පැලපත් නිවාසවල ජීවත් වූ අයට ලිපිනය කියා ගන්න ලැජ්ජා වෙලා හිටපු යුගයක ඒ ජනතාවට එම ශක්තිය ලබාදුන්නේ ඔබයි. ඒ වගේම මේ වැඩකරන ජනතාව, අපගේ කය මහන්සිකරන ජනතාවට අනාගතයක් ඇතිකරදීම සඳහා ඔවුන්ටත් මේ රටේ ශ්‍රම දායකත්වයෙන් දායක වෙන්නට හැකියාව අවස්ථාව තව තවත් ඉදිරියේ දී අපි උදාකර ගත යුතුයි. පැරණි ආකාරයට මහන්සි වෙනවාට වඩා නවඋපකරණ සමඟ නව තාක්ෂණය සමඟ අද අප විප්ලවකාරීව ඉදිරියට යා යුතුයි. අපි සතුට විය යුතුයි. අපගේ ඉදිකිරීම් ක්‍ෂෙත්‍රය ලෝකයේ ඕනෑම ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයක් සමඟ තරග කිරීමට හැකි අයුරින් අපගේ ඒ ව්‍යාපාරික මහතුන් කටයුතු කර තිබෙනවා. ඒකට විශාල දායකත්වයක් ශක්තියක් දුන්නේ පිටිපස ඉන්න ඔබයි ශ්‍රමබළකාය හැටියට. ඒ අනුව ඒ ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ අපේ සමාගම් ඉදිරියට යනවා කියන්නේ රට ඉදිරියට යනවා කියන එක. රටට තවත් ශක්තිය ලැබෙනවා කියන එක. අපගේ අමාත්‍යාංශය ඉදිරි කාලයේ දී රජයේ අරමුදල් යොදවා කරන සෑම කොන්ත්‍රාත්තුවක් ම අපි ලබාදෙන්නේ දේශීය ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයට පමණක් බව මේ අවස්ථාවේ දී මම ප්‍රකාශ කරනවා.

ඒ වගේම එහි ඍජු ප්‍රතිලාභය අපේ ජනතාවට ලැබෙන බවත් අපි ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා අපි හැමෝටම එකිනෙකාට සමාජ වගකීමක් තිබෙනවා. අපි හැම කෙනාම තමන්ගේ රැකියාව පිටින් සමාජයට යන මෙහෙවරක්, සේවයක් කරනවා. ඒ බව අපි හැමදෙනාම මතක තබා ගත යුතුයි. ඒ වගේම අපි හැම දෙනාම භාණ්ඩ මිල දී ගන්න කොට අපි බදු ගෙවනවා. ඒ බදුවලින් අපට පොදු සේවා සැපයෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය වගේ පොදු සේවාවන් රජය සපයන්නේ අපේ ඒ පොදු කටයුතුවල දී අපි බදු හරහා දක්වන දායකත්වය නිසායි.

අප මෙම උත්සවය පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ පසුගිය මැයි දිනයට සමාන්තරව වැඩකරන ජනතාවගේ දිනය සිහිකිරීම සඳහායි. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය නිසාවෙන් අපේ රට බරපතළ ආපස්සකට ගමන් කළා. නමුත් අපි කල්පනා කළා මෙම උත්සවය කෙසේ හෝ අප පවත්වනවා කියා. ඒ අනුව අද දින ඔබ සියලු දෙනා මෙහි පැමිණ තිබෙන්නේ අපගේ මේ අනාගතය ගොඩනඟන දරු පවුල් 50, 000ක ජීවිත ගොඩනැඟෙන මහා ව්‍යාපෘතියක කොටස් කරුවන් හැටියට. මෙහි දී මට මතක් වෙනවා පුංචි කතාවක්, එක්තරා පුද්ගලයෙක් නගරයක යනවිට ඔහු දැක්කා කම්කරුවන් කිහිප දෙනෙක් වැඩකරන පිරිසක් යම් කිසි ගොඩනැගිල්ලක් ඉදිකරනවා. ඔහු පළමුවැන්නාගෙන් ඇහුවා මොකද්ද කරන්නේ කියා, ඔහු කිව්වා පේන්නේ නැද්ද මම මේ ගඩොල් පාවිච්චිකර බැම්මක් බඳිනවා කියා. දෙවැන්නගෙන් ඇහුවා මොකද්ද කරන්නේ කියලා ඔහු කිව්වා මම මේ ඕටී එක හොයා ගන්න වැඩ කරනවා කියා. තුන්වැන්නෙක්ගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා, ඔහු කිව්වා මේ නගරයට පෞර්ෂය ලබාදෙන මහා නගර ශාලාවක් ඉදිකරන කටයුත්තයි මම කරන්නේ කියා කීවා. තුන් දෙනාම කළේ ගඩොල් බඳින එක. නමුත් තුන්දෙනාට තමන් කරන කාර්යය සම්බන්ධයෙන් තිබුණේ තුන් ආකාරයක ඇගයීමක්. එක්කෙනෙකුට එය නිකං ගඩොල් බැඳීමක්. තව එක්කෙනෙකුට එය ගානක් සොයා ගැනීමක්. තව එක්කෙනෙකුට අනාගතයේ නගර ශාලාවක් ගොඩනඟන එකක හවුල් කරුවකුවීම.

එනිසා ඔබ සියලු දෙනා කය වෙහෙසලා, යකඩ, ගල්, සිමෙන්ති, වැලි එක්ක එහෙමත් නැත්නම් නොයෙක් ආකාරයේ යාන්ත්‍රික උපකරණ සමඟ ජීවිත ගෙවන පිරිස්. ඔබ අනතුරට ලක් වෙන්න තිබෙන ඉඩකඩ ඉතා අධිකයි. ඒ වගේම ඔබේ සේවය අගය කිරීමට තවත් අය ඉදිරිපත් වීමත් ඉතා අල්පයි. එවැනි තත්ත්වයක ඔබ මේ සිදු කරගෙන යන්නේ හුදු රැකියාවට කරන ක්‍රියාවලියක් නෙමෙයි. ඒ වගේම ඔබේ සමාගම් හිමිකරුවන් මේ සිදු කරගෙන යන්නේ තමන්ගේ දරුපවුල්වලට ලාභ උපයන ව්‍යාපාරයක් නෙමෙයි. මෙය මේ කොළඹ නගරයේ ජීවිත ලක්ෂ ගණනක් ගොඩනඟන ව්‍යාපෘතියක්. අපි දැක්කා 2014 වර්ෂයේ නව කැලණි පාලමට ජපන් ආධාර ලැබී ඒ කැලණි පාලම ගොඩනැගීමට කටයුතු යෙදුණා. නමුත් ඒ පාලම ඉදිකරන්න අවුරුදු 4ක් ගියත් ඒ මුල්ගලෙන් එහාට යන්න බැරි වුණා. ඒකට ප්‍රධාන හේතුව වූයේ එම පාලම යට ජීවත් වූ අපේ ජනතාවයි.

මේ නාගරික පුනර්ජීවන ව්‍යාපාරයෙන් අපි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු මහත්ම මහත්මීන් සමඟ ගෙන් ගෙට ගිහින් ජනතාවට කරුණු පැහැදිලි කර දී ඒ අය අපේ නිවාස ව්‍යාපෘතිවලට ගෙන ගියා. අද එතන බලගතු නව කැළණි පාලමක් ගොඩනැඟෙනවා. ඒ පාලමත් සමඟ වරායට ප්‍රවේශ මාර්ගය ගොඩනැෙඟනවා. නව රටක් ගොඩනැඟෙන්න ඒ අයත් දායක වුණා කියා ඒ අයටත් ආඩම්බර වෙන්න පුළුවන්.

ඒ නිසා මේ අතර සමතුලිත භාවයක්, ධනය උත්පාදනය කරන්න ඒ ධනය අපගේ ව්‍යවසායකයන් අතර පවත්වාගන්න, ඒ අතරේ ඒ වැඩෙන වර්ධනයේ නියම ප්‍රතිලාභ අපගේ වැඩකරන ජනතාවට ලබාදෙන අලූත් සමාජ ක්‍රමයක් ගැන දැන් අපි කල්පනා කළ යුතුයි. ඒ වගේම පොදු පහසුකම් හැකිතාක් දුරට පුළුල් කර ප්‍රවාහනය එහෙමත් නැත්නම් සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස, ජලය, විදුලිය ඒ වගේම අලූත් අලූත් රැකියා අවස්ථා නවෝත්පාදනයට අවස්ථා මතු කර ඉදිරියට ගෙනයාමේ වගකීම ඔබ අප හැමෝටම තිබෙනවා. ඒ නිසා මේ වැඩකරන ජනයා, කම්කරු පන්තිය මෙන්න මෙවැනි කාරණා පිළිබඳ අලූත් අරුතක් දැන් රටට ලෝකයට අවශ්‍ය යුගයකයි ඔබ අප හැම ඉන්නේ. ඒ නිසා ඉංජිනේරු මහත්වරු, සැලසුම් ශිල්පීන්ගේ සිට පහළ සිමෙන්ති ටික අනන වැඩකරන ශ්‍රමිකයා දක්වා එන ඔබ සියලුදෙනාම මේ මහා ව්‍යායාමයේ කොටස් කරුවන්. ඒ නිසා තමයි අපි තීරණය කළේ ඔබව අගයන්න. ඔබට සතුටුවෙන්න පුළුවන් අද කොළඹ නගරයේ පැල්පත් හැටියට හඳුන්වපු, තමන්ගේ ලිපිනය කියා ගන්න බැරිව හිටපු පාසල් නොගිය, පාතාල ලෝකයට සම්බන්ධ, අම්මා පේමන්ට එකේ නම් පුතා පේමන්ට් එකේ, තාත්තා ත්‍රීවිල් එකේ නම් පුතාත් ත්‍රීවිල් එකේ හිටපු ඒ යුගය මත්කුඩු ජාවාරමෙන්, ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් බොහොම විදිහට සදාචාරයෙන් සංස්කෘතියෙන් වැටිච්ච මිනිස්සු පිරිසක් අද පියවරෙන් පියවර ඉහළට එසවෙනවා. මේ තට්ටු නිවාසයේ තට්ටුවෙන් තට්ටුව තට්ටු 12 නගිනවා වගේ සමාජයෙත් ඔවුන් පියවරෙන් පියවර ඉහළට යනවා. එහි අඩම්බරයේ ඔබත් කොටස් කාරයෙක්, එහි ගරුත්වයේ ඔබත් කොටස් කාරයෙක්. ඒ නිසා තමයි ඔබව අගයන්න නාගරික සංවර්ධන අධිකාරියත් ඒ අයුරින් කටයුතු අද සම්පාදනය වී තිබෙන්නේ.

2015 යහපාලන රජය පැමිණෙන්න පෙර පාරේ මිනිස්සු පෙළපාලි ගියා අපේ ගෙවල් කඩනවා කියලා. ඒවගේම ගැටුම් ඇතිවුණා, සුදු වෑන් ඇතිවුණා, පැහැර ගැනීම් වුණා. ඒ වගේම මේ ඉඩම් ධනපතියන්ට විකුණනවා කියලා ආකල්පයක් ඇති වුණා. අද මේ කොළඹ නගරයේ කිසිම ගැටීමක් නැහැ. අද කොළඹ නගරයේ තමන්ගේ අත්වලින්ම නිවාස කඩලා අලූත් නිවාසවලට යන්න අලූත් ජීවිතවලට එකතු වෙන්න අපේ ජනතාව සූදානම් වී තිබෙනවා. ඒ වගේම අපේ කොන්ත්‍රාත් සමාගම්වල ආධාරයෙන් මොන්ටිසෝරියේ සිට උසස් අධ්‍යාපනය දක්වා මේ දරුවන්ගේ අධ්‍යාපනයට උදව් කරනවා. සංස්කෘතික, කලා, ක්‍රීඩා කටයුතු නංවන්න අපි කටයුතු කරනවා. අද වෛද්‍යවිද්‍යාලයට, ඉංජිනේරු පීඨයට, කළමනාකරණ පීඨයට අපේ දරුවෝ යනවා. අපි විශාල අවුරුදු උත්සවයක් පැවැත්වූවා. අපි දැක්කා දරුවන්ගේ කුලතාවයන්. අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට දරුවෝ ගෙන ගියා අපි දැක්කා ඒ අයගේ කලා කුසලතාවය. මේ අනුව මේ කොළඹ නගරයෙන් මේ රටේ අනාගතය පාලනය කරන ශක්තිමත් පාලන පැලැන්තියකුත් මේ පහළ මට්ටමේ තමන්ගේ ලිපිනය කියා ගන්න බැරිව හිටපු මේ දරු පරපුර අතරින් අනාගතයේ බිහි වේවා.

ඒ වගේම දරු පරපුරට ඒ ආත්ම ගරුත්වය ලැබෙන ඒනිවස ගොඩනැගීමට දායක වූ ඒ සියළුම අපගේ කොන්ත්‍රාත් සමාගම් මෙන්ම එයට ශ්‍රමය වගුරවමින් එයට දායක වූ සියලුම දෙනාම ඒ මහා පුණ්‍ය කර්මයේ කොටස් කරුවන් බවට සලකලා ඔබ සියලු දෙනාමට අනාගතයේ තව තවත් සතුටු විය හැකියි.


නව අදහස දක්වන්න