ජගත් කීර්තිධර ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා නමින් ආදර්ශ ගම්මානයක උදාව | දිනමිණ

ජගත් කීර්තිධර ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා නමින් ආදර්ශ ගම්මානයක උදාව

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජගත් කිර්තියට රැගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ අතිවිශිෂ්ට ක්‍රීඩා දිවියට උපහාරයක් ලෙසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත, මිහිඳුපුර ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ උදාවූ සැමට සෙවණ නව ආදර්ශ ගම්මානය, සදාලෝක පුජිත අරවින්ද ද සිල්වාගම, නමින්, නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (14) දින නිවාසලාභීන්ගේ අයිතියට පත්කිරිම සිදුකෙරේ.

සැමට සෙවණ ජාතික නිවාස වැඩපිලිවෙළින් උදාවන නව ආදර්ශ ගම්මාන හෙළ රජදරුවන්, රණවිරුවන්, සාහිත්‍යධරයන්, විශ්ව කීර්තියටපත් පුද්ගලයන් ඇතුළු විවිධ ප්‍රභූන් නමින් නම්කිරිම සිදුවේ. එමෙන්ම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ සුවිශේෂි දක්ෂතා පෙන්නුම් කළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ලෙසින් ගෞරවයක් ගෙනදුන් ක්‍රීඩකයන් නමින් ද මෙම ආදර්ශ ගම්මාන නාමකරණය සිදුවේ.

ඒ අනුව 2018 වසරේ 2018 සැප් 22 දින ජගත් ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා ශූරින්ගේ සහභාගීත්වයෙන් ඇරැඹි සදාලෝක පුජිත අරවින්ද ද සිල්වා ගම නව නිවාස 27කින් සමන්විත වේ.

1984 වසරේ එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලාංකික ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වූ අරවින්ද ද සිල්වා පුරා වසර 18 ක් තුළ ටෙස්ට් තරඟ 93 කට සහභාගිවී 2002 වසරේ බංගලාදේශය සමඟින් ශ්‍රී ලංකාවේ පැවැති ද්විත්ව ශතකයක් හිමිකරගත් ක්‍රිකට් තරගයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ලැබීය.

ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා වැන්නෙකු නමින් ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන ව්‍යාපෘතීන් නම් කිරිම වඩාත් උචිත බව පෙනීයයි. මේ අයුරින්ම ක්‍රීිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර නමින් ද සැමට සෙවණ ආදර්ශ ගම්මාන නම් කර තිබේ.

තමන්ගේම නිවහනක පිළිසරණක් නොමැතිව සිටි තරුණ පවුල් සමූහයක් එක්වීම තුළින් මෙම නව ආදර්ශ ගම්මානයේ නව නිවාස නිර්මාණය විය. වසරක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ මෙම නිවාස ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් දැක්වූ සුවිශේෂි දායකත්වය සදා ලෝකපුජිත අරවින්ද ද සිල්වාගම වඩාත් කඩිනමින් සහ විධිමත් අයුරින් නිමකරගැනීමට හැකිවිය. අරවින්ද සිල්වාගම ආදර්ශ ගම්මානයේ මෙන්ම සැමට සෙවණ ජාතික නිවාස වැඩපිලිවෙළ යටතේ උදාවන සියලු ආදර්ශ ගම්මානයන් නව නිවාසයන් පමණක් සීමා නොවේ. නව නිවසකින් අපේක්ෂා කරනුයේ එම නිවහනේ ජීවත්වන පවුලේ සාමාජිකයෙන්ගේ තිරසාර දිවිපෙවෙතයි. අන් අය තමන් වෙත ප්‍රදානය කරන හුදු ගොඩනැගිල්ලකින් මෙම අපේක්ෂාව ඉටු නොවේ. මෙය වඩාත් නිවැරදිව තේරුම්ගත් සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන, නිවාස අපේක්ෂාව පවත්නා ජනතාවගේ පුර්ණ මැදිහත්වීම හා දායකත්වයට රාජ්‍ය අරමුදල් තාක්ෂණය හා ශිල්පීය දායකත්වය එක්කරලමින් මෙම ආදර්ශ ගම්මාන ආශ්‍රිත නිවාස නිර්මාණය කරලීම සිදුකරයි. එදා උදාගම් ව්‍යාපාරයේ සහභාගිත්ව නිවාස සංවර්ධන ක්‍රියාදාමය තුළින් මෙම අදහස ඉදිරිපත්විය. වර්තමාන සමාජයට ගැළපෙන අයුරින් ප්‍රති නිර්මාණය වූ සැමට සෙවණ ජාතික නිවාස වැඩසටහන මෙම ආදර්ශ ගම්මාන වැඩසටහන වඩාත් සැලසුම්ගත වූත්, ඉලක්කගගත වූත් සංවර්ධන වැඩ සටහනක් ලෙසින් ක්‍රියාවට නැංවේ. සියළු ප්‍රදේශ ආවරණයවන අයුරින් ක්‍රියාත්මක මෙම ආදර්ශ ගම්මාන වැඩපිළිවෙළ ආදර්ශමත් සංවර්ධන සංස්කෘතියක් සමඟින් ක්‍රියාවට නැංවේ. ඉදිවන සෑම නිවසකට අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම නිවාසයන්හි ජිවත්වන ආර්ථික, සමාජිය අවශ්‍යතාවයන් ඉටුකරලිම සඳහා වූ සමගාමි ව්‍යාපෘතීන් ද මෙහිලා ක්‍රියාවට නැංවේ. ඒ සියල්ල එක්කරලිම තුළින් නිර්මාණය වන්නා වු අංගසම්පර්ණ නිවහන සැමට සෙවණ ආදර්ශ ගම්මාන ක්‍රියාදාමයේ ඒකාබද්ධ ආයතනික දායකත්වයේ ප්‍රතිඵලයකි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම සංවර්ධන වැඩපිලිවෙල තුළ නිවාස සංවර්ධන කාර්යයදාමයේ ප්‍රමුඛතම ආයතන ලෙසින් කටයුතුකළ ආදර්ශ ගම්මාන සංවර්ධන වැඩසටහන සාර්ථක කරගැනීමට විවිධ වු සේවාවන් සපයන රේඛිය අමාත්‍යාංශ, ආයතන, පුද්ගල හා සංවිධාන සහාය නොමඳව හිමිවේ. දිවයිනේ සියලු ප්‍රදේශවල ඉදිවන සෑම ආදර්ශ ගම්මානයකම සාර්ථකත්වයට හේතුව එයයි. ඒ සියල්ල එක්වී සාමුහික ක්‍රියාකාරිත්වයකින් නිශ්චිත අරමුණක් සහ ඉලක්කගත නිමාවක් තුළ සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිලිවෙළ නොබිඳි ක්‍රියාවට නැංවේ. එම සංවර්ධන වැඩසටහනේ සිව් වසරක කාර්යයදාමයෙන් නව ආදර්ශ ගම්මාන 2500කට අධික ප්‍රමාණයක සංවර්ධන සමාරම්භය සිදුවී ඇති අතර, ඒයින් සදා ලෝක පුජිත අරවින් ද ද සිල්වාගම නිවාසලාභීන්ගේ අයිතියට පත්කරනන් 248 වන සැමට සෙවණ ආදර්ශ ගම්මානය ලෙසයි. ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තමන් වෙත පැවරුනු වගකීම උත්කර්ෂවත් අයුරින් ඉටුකරමින් ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ජාත්‍යන්තරයට ගෙනගිය ක්‍රිකට් ශූර අරවින්ද ද සිල්වාහට සිදුකරන උපහාරයක් ලෙසින් ජගත් කීර්තියට පත් උදාගම් සංකල්පයේ වත්මන් සංවර්ධන ක්‍රිියාදාමය ලෙසින් ක්‍රියාත්මක සැමට සෙවණ ආදර්ශ ගම්මාන වැඩපිලිවෙළින් උදාවූ මෙම නව ආදර්ශ ගම්මාන උදාවෙන් නව සමාජ සලකුණු සනිටුහන්කර තිබේ.

ලක්විජය සාගර පලන්සූරිය

නව අදහස දක්වන්න