ශාන්ත බණ්ඩාරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන කාටද? | දිනමිණ


 

ශාන්ත බණ්ඩාරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන කාටද?

ශ්‍රී ලංකා නිදහස් ජාතික ලැයිස්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩුව පවතින මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ ප්‍රබලයන් තිදෙනෙකුගේ නම් පක්ෂ මූලස්ථානයට යෝජනා වී තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

මේ තිදෙනා නම් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක නාමයක්ව පැවති හිටපු ආණ්ඩුකාරවරයෙකු වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාහ්, හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර හා යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ කාර්යයේදී සිය ජිවිතය පවා පරදුවට තබා පොදුජන පෙරමුණු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්ව ඊට එක්වූ කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ නායකයෙකු වන ප්‍රසන්න සෝලංග ආරච්චි මහත්වරුන්ය.

මේ අතරින් හිස්බුල්ලාහ්‍ හා ජගත් පුෂ්ප කුමාර මහත්වරු හිටපු පාර්ලිමේන්තු මැති ඇමති හා ආණ්ඩුකාර තනතුරක්ද දැරූ පුද්ගලයින් වන අතර සෝලංග ආරච්චි මහතා මහා මැතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත්වූ එහෙත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ඡන්දයේදී ශ්‍රී ලංකාවේ වැඩිම වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබමින් ප්‍රාදේශීය සභා සභාපතිකම හා සමස්ත ලංකා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ සම්මේලනයේ සභාපති තනතුරද දැරූ කොළඹ දිස්ත්‍රික්කයේ සුප්‍රකට තරුණ දේශපාලනඥයෙකි.

මේ අතර පසුගිය දිනවල මාධ්‍ය වෙත මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව අදහස් පළ කළ ප්‍රසන්න සෝලංගආරච්චි මහතා මේ මන්ත්‍රී ධුරය මේ අවස්ථාවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ දේශපාලනඥයෙකු වන තමාට ස්ථිර වශයෙන්ම ජනාධිපති විසින් පිරිනැමීම ඒකාන්ත බවද ප්‍රකාශ කොට සිටී. ඒ සම්බන්ධ‍ව දිනමිණ කරන ලද සංවාදයකට පිළිතුරු දුන් ඒ මහතා මෙසේ කීය.

ප්‍රශ්නය - මේ පුරප්පාඩුව තිබෙන මන්ත්‍රී ධුරය සඳහා අපේක්ෂිත නම් තුනක් තිබෙනවා. ඒ අතර දෙදෙනෙකුම පරිණත දේශපාලනඥයන්. ඔබ කොහොමද ඔබට මේ මන්ත්‍රී ධුරය ස්ථිර වශයෙන්ම ලැබෙයි කියා කියන්නේ.

පිළිතුර - ඔව්. මේ දෙන්නාම පරිණත දේශපාලනඥයන් මෙන්ම මා ගෞරව කරන දේශපාලන චරිත දෙකක් තමයි. නමුත් මට වඩා සමහර අංශවලින් මේ දෙන්නාම සුදුසුකම් තිබිය හැකියි. එසේම මේ දෙන්නාටම වඩා වෙනත් අංශවලින් සුදුසුකම් මට මේ මන්ත්‍රී ධුරය ඉල්ලීමේදී තිබිය හැකියි. ඒ බව ජනාධිපතිතුමාද අනිවාර්යයෙන්ම දන්නා බව මගේ හැඟීමයි. එකම අඩුපාඩුව මම මැති ඇමැතිවරයෙකුගේ හෝ ප්‍රභූ පවුලක නොවීම හා නිකම්ම නිකන් තරුණ දේශපාලනඥයෙකු වීමයි.

ප්‍රශ්නය - ඒ කියන්නේ කොයි වගේ දේවල්ද? ඔබට එම දෙන්නාට වඩා වැඩියෙන් තිබෙන සුදුසුකම්.

පිළිතුර - යහපාලන ආණ්ඩුව පිහිටුවා ගැනීමේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් වෙලා එනකොට එතුමාට එවකට පැවති රජයෙන් විවිධ අන්දමේ වාග් ප්‍රහාර මෙන්ම තර්ජන ගර්ජන හා ජීවිතයත් මරණයත් අතර සටනකටද මුහුණ දෙන්න සිද්ධ වුණා. මමත් ඒ එක්කම පක්ෂය අත්හැර ආවේ අන්තිම කැමති පත්‍රයක් ලියලා තියලයි. කොයි මොහොතකදී කොතැනක මරා දමයිද කියන සැකයත් බියත් ඇතිවයි මම හිටියේ. මට පමණක් නොවෙයි මගේ බිරිය ඇතුළු සැමටම මේ බිය තිබුණා. මේ භයානක ගමනත් එක්තරා විදියක සුදුසුකමක් නොවේද?

ප්‍රශ්නය - ඒ කාලයේ ඔය කියන හිස්බුල්ලාහ් හා ජගත් පුෂ්පකුමාර මහත්වරුන්ට ඔය බිය තිබුණේ නැද්ද? එහෙම වෙන්න බැහැනේ. ඒ ගොල්ලත් පක්ෂයට එකතු වුණේ මමත් ජනාධිපතිතුමාත් පැමිණි ආකාරයට නොවෙයිනේ. මේ වගේ දේවල් විතරක් නොවෙයි. පක්ෂය වෙනුවෙන් මා කැපවූ ආකාරය මීට වඩා මට කියන්න පුළුවන්කම තිබෙනවා.

ඒ වගේ තවත් අවස්ථා කියන්නේ කුමන අවස්ථාවක්ද?

පිළිතුර - එදා යහපාලන රජය පිහිටුවලා ඊට පස්සේ අපේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ලබාගත්තු අවස්ථාවේ අපේ පක්ෂයට ලැබිය යුතු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර පිළිබඳ හා සභාපතිත්වය සම්බන්ධව නීතිමය ගැටලුවකට මුහුණ දෙන්න සිදු වුණා. අප සමඟ සිටි පිරිසක්ද සභාපති ඉවත් කිරීමේ කුමන්ත්‍රණයට හසුව සිටියා පමණක් නොවෙයි. නායකත්වය මඟ හැරදා අනාගත මැති ඇමැතිකම් ලබාගැනීමේ ව්‍යායාමයක යෙදුණා. ඒ වෙලාවේ මම තමයි වහාම ක්‍රියාත්මක වෙලා එම අභියෝගයට මුහුණ දීලා උසාවියට ගිහින් වාරණ නියෝගයක් අරගෙන ඇවිදින් පක්ෂය රැක ගත්තේ. එදා ඒ මුවාවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකම් ලබාගත්තු අය අද පක්ෂයේ නැහැ. සමහරුන් පොදුජන පෙරමුණේ. තවත් අය ඉන්නේ එක්සත් ජාතික පක්ෂය සමඟයි. නමුත් සෝලංගආරච්චි වගේ තරුණ නායකයෝ කවදාවත් පක්ෂය පාවාදීලා නැහැ. මේකත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමට මට ඇති සුදුසුකමක් හැටියට මා සලකනවා. එදා පරිණතයි කියන දේශපාලනඥයන්ගෙන් සමහරු හෙමින් සීරුවේ මඟ හැරපු හැටි මට තවමත් මතකයි. නමුත් එදා සිට මේ දක්වා කිසිම තනතුරක් නොඉල්ලපු මම අදත් ශ්‍රීලනිපයේම රැඳී ඉන්නවා.

ප්‍රශ්නය - කුමන ආකාරයකින් හෝ ජනාධිපතිතුමා සමඟ පක්ෂ නායකත්වය මේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ඔබට දීමට තීරණය කළොත් අනෙක් දෙදෙනාට සිදු වෙන්නේ අසාධාරණයක් නොවේද?

පිළිතුර - ජනාධිපතිතුමා තීරණ ගන්නේ හොඳට හොයලා බලලා ඉතාමත් නිවැරැදි අන්දමටයි. හිස්බුල්ලාහ් මහතා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වගේම ආණ්ඩුකාර තනතුරක් දැරුව කෙනෙක්. පවතින ප්‍රශ්න හමුවේ එතුමා ඉල්ලා අස්වෙලා තිබෙනවා. එතුමාට මේ මන්ත්‍රී ධුරය නැතිවාට වෙනත් සුදුසු රාජ්‍යායතනයක ප්‍රධාන තනතුරක් ලැබිය හැකියි. එසේම ජගත් පුෂ්පකුමාර මහතා බලාපොරොත්තු වූ ආණ්ඩුකාර ධුරය කොහෙන් හෝ එතුමාට දිය හැකියි. නමුත් තරුණ දේශපාලනඥයකු වූ මා මේ ඉල්ලීම කරන්නේ අද කොළඹ දිස්ත්‍රික්කයේ සිටින තරුණ පරපුර ගැන හිතලයි. එදා මා තරග කරපු මන්ත්‍රී ආසනය අහිමිවීමට හේතුවුණේ පොදු ජන පෙරමුණු කණ්ඩායමට එරෙහිව ගෙනා වාරණ නියෝගය එම පක්ෂයට කරපු අසාධාරණයක් ලෙස ඡන්ද දායක පක්ෂ සාමාජිකයන්ට කාවැද්දීමට එම නායකයන් කටයුතු කිරීමයි. එම නිසා දිනන්න තිබුණු ආසනයක් මට අහිමි වුණා. මේ නිසා මේ අනගි අවස්ථාව පැහැර හරින්න මා සූදානම් නැහැ. මේ මන්ත්‍රී ධුරය මට ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වුණාට මේ රටේ සිටින කිසිම පාක්ෂිකයෙකු එතුමාට දොස් පවරන්නේ නැහැ. මේ තමා මෛත්‍රී ගත්තු නිවැරැදිම තීන්දුවක් බව කියමින් ජනතාව එතුමාට ප්‍රශංසා කරයි. එහෙම වුණොත් මම මට ලැබෙන එම මන්ත්‍රී ධුරයෙන් රටේ හදවත බඳු කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් වෙනුවෙන් ලබාදිය හැකි උපරිම ඵල ප්‍රයෝජන ලබා දෙනවායිද ඉදිරි මැතිවරණවලදී තමා පක්ෂය දිනවීමේ කාර්යයේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කරනවායිද හෙතෙම කීය.

ඒ. සුමනසේන -කො‍ළොන්නාව සමූහ

නව අදහස දක්වන්න