කොළඹ කසළ ප්‍රශ්නයට විසඳුම අරුවක්කාලු කසළ අංගණය | දිනමිණ


 

කොළඹ කසළ ප්‍රශ්නයට විසඳුම අරුවක්කාලු කසළ අංගණය

චමීර ඇල්ලදෙණිය

කොළඹ කසල ප්‍රශ්නයට තිරසාර පිළියමක් ලබාදීමට අරුවක්කාලු විද්‍යාත්මක කසළ අංගණය මඟින් හැකියාව තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා පැවැසීය.

ඉදිරි වසර පහය දක්වා මෙම කසල රදවනයේ කසල බැහැ කර හැකි බවත් හුණුගල් වලවල් භාවිත කිරීම තුළින් වසර 80 දක්වා කසළ බැහැර කිරිමට හැකියව පවතින බවත් රූපසිංහ මහතා අනාවරණය කෙළේය.

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් එසේ කී ලේකම්වරයා අරුවක්කාලු කසළ රදවනයේ සියලුම වැඩ කටයුතු ලබන මාර්තු මාසය වන විට නිමාවන බව ද පෙන්වා දුන්නේය.

එහි දී අදහස් දැක්වූ නිහාල් රූපසිංහ මහතා මෙසේද කීය.

කසළ බැහැර කිරීමේ ක්‍රියාවලය විධිමත්ව සිදු කිරිමට ආරම්භ කළ අරුවක්කාලු විද්‍යාත්මක කසල අංගනයේ පළමු අදියරේ වැඩකටයුතු නිම කෙළේ මේ වසරේ පෙබරවාරි මාසයේයි. මේ පිළබඳ අප කොළඹ මහ නගර සභාව පවා අප දැනුම්වත් කළා. නමුත් මෙහි දෙවන අදියර නිම වීමට තිබෙන්නේ ලබන වසරේ මාර්තු මාසයේදීයි. ඒ සඳහා කසළ විධිමත්ව බැහර කිරීමට දුම්රිය මාර්ග පද්ධතිය භාවිත කිරිමට අදාළ ඉදිකිරීම් අප සිදු කරමින් තිබෙනවා. විශේෂයෙන් කැලණිය වනවාසල දුම්රිය ස්ථානය අසානන්නයේ කසළ හුවමාරු මධ්‍යස්ථානයක් ඉදිවෙමින් තිබෙනවා. කොළඹ එකතු කරන කසළ එතැනට ගෙනවිත් කම්පැට් කර දුම්රිය මගින් අරුවක්කාලුවට ගෙන යාමට කටයුතු කරනවා. මේවා සියල්ල ඉදිකිරිම් මට්ටමේ පවතින්නේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණතිලක මහතා

කෙරවළපිටිය කසළ අංගනය කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටලුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව ආරම්භ කලද මේවන විටත් වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන යන ලදී. මේ වනවිට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා ගියද ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මෙම කසළ අංගනය පවත්වාගෙනයාමේ අභිලාශය වුයේ නොපැවරුණු ජාතික වගකීමක් ඉටුකිරීමේ සමාජමය සද්භාවය වන බව ඉතා නිහතමානීව ප්‍රකාශ කළ යුතුය.

මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් පරිදි අරුවක්කාලූ ප්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යාත්මක සනීපාරක්‍ෂක කසළ රඳවනය වෙත මේ වනවිටත් කසළ බැහැර කිරීමේ හැකියාව ඇතත්, ඒ සඳහාත් විවිධ බාධාවන් මතුවී ඇති පසුබිමක සංස්ථාවට මේවන තෙක් වත්තල කෙරවලපිටිය කසළ අංගනය පවත්වාගෙන ඒමට සිදුවිය. කෙසේ වෙතත් අධික ධාරිතාවයක් සහිතව කසළ භාරගැනීම විවිධ පාරිසරික හා සමාජයීය ගැටලු නිර්මාණය වන බවට පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන මගින්ද දැනුම්වත් කර ඇත.

මෙරට ජනතාව මුහුණදුන් ඉතා ඛේදනීය අත්දැකීමක් වන පසුගිය 2017 වර්ෂයේ අප්‍රියෙල් මස 14 වන දින සිදුවූ මිතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසුව කොළඹ ඇතුළු තදාසන්න නගරවල තැනින් තැන කසළ කඳු ගොඩගැහෙන්නට විය. විවිධ වසංගත රෝග අවදානමක් මෙන්ම මිනිසුන්ට ජීවත්වීමටවත් අපහසු තත්ත්වයක් නිර්මාණය වන පසුබිමක් තුළ කොළඹ හා තදාසන්න නගරයන්හි ජනතාව එකී අවධානම් සහගත තත්ත්වයෙන් මුදවාගැනීමේ වගකීම රජය විසින් භාරකරන ලද්දේ මහානගර හා බස්නාහිර සංවර්ධනඇමැති පාඨලී චම්පික රණවක මහතාටය. එහි දී ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යටතේ සියලූ පලාත්පාලන ආයතන ඒකරාශී කරගනිමින් ත්‍රිවිධ හමුදාවන්හි සහ පොලීසියේ දායකත්වය ඇතුව දින තුනක් වැනි කාලයක් ඇතුළත කොළඹ නගරයේ කැලිකසළ ගැටළුව නිසිලෙස කළමනාකරණය කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව කසළ ගැටළුවට හදිසි තාවකාලික විසඳුමක් ලෙස ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කෙරවලපිටිය කසළ අංගනය ආරම්භ කොට පවත්වාගෙන ගියා.

මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක, මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ සරෝජනී ජයසේකර මහත්ම මහක්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය- කැලුම් ලියනගේ

නව අදහස දක්වන්න