සුදු වෑන් සංස්කෘතිය ගෙනා ගෝඨාභය ජනපති අපේක්ෂකයකු කිරීමෙන් පොහොට්ටු දේශපාලනය පැහැදිලි වෙනවා | දිනමිණ


 

සුදු වෑන් සංස්කෘතිය ගෙනා ගෝඨාභය ජනපති අපේක්ෂකයකු කිරීමෙන් පොහොට්ටු දේශපාලනය පැහැදිලි වෙනවා

‘සුදු වෑන් සංස්කෘතිය තුළින් මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් ඝාතනය කළ ගෝඨාභය ජනාධිපති තනතුරට අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් කිරීමෙන් පොහොට්ටුවේ දේශපාලනය පැහැදිලි වෙනවා. එ. ජා. පක්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කිරීම පිණිස රටම ඉල්ලන අපේක්ෂකයා නිසි වෙලාවට ඉදිරිපත් කරන්නේ යයි’ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නි‍යෝජ්‍ය ඇමැති එඩ්වඩ් ගුණසේකර මහතා පැවසීය.

නියෝජ්‍ය ඇමැතිවරයා එසේ පැවසුවේ ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් ගැටලු විසඳාලීමේ අරමුණින් මිනුවන්ගොඩ, වෑගොව්ව විද්‍යාලයේ පැවති ඉඩම් ගැටලු විසඳාලීමේ ජංගම සේවය ආරම්භ කළ අවස්ථාවේදීය.

එහිදී තවදුරටත් කථාකළ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය මහින්ද රාජපක්ෂ යුග‍යත් ගෝඨාභය රාජපක්ෂගේ ක්‍රියා කලාපයත් පිළිබඳව මුළු රටම දන්නවා. ඒ බිහිසුණු තත්ත්වය අවබෝධකරගෙන පසුගිය ජනාධිපතිවරණයේදී ඒ පිරිස ජනතාව ප්‍රතික්ෂේප කළා. ඉදිරි ජනාධිපතිවරණයේදීත් එම පිරිස ජනතාව ප්‍රතික්ෂේප කරනවා.

මේ රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් ඉඩම්වල ජීවත්වුවත් බොහෝදෙනකුට නීත්‍යානුකූල හිමිකම් පෙන්වීමට ඔප්පු නැහැ. මේ නිසා බැංකු ණයක් ගැනීමේදී පවා ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙනවා. මේ තත්ත්වය තේරුම්ගත් එක්සත් ජාතික පක්ෂ රජය ඒ ඉඩමේ අයිතිය තහවුරු කරමින් ඔප්පුවක් ලබාදීමට තීරණය කළා. ඒ අනුව මුළු දිවයිනේම ඉඩම්වල අයිතිය තහවුරු කළ නොහැකි අය වෙනුවෙන් නීත්‍යානුකූල ඔප්පු දශලක්ෂයක් ප්‍රදානය කිරීමට ක්‍රියාකරගෙන යනවා. එය ජනතාවාදී පියවරක්. මේ සෑම ජනතාවාදී පියවරකටම විපක්ෂය පොහොට්ටුව අකුල්හෙලනවා. එයින් පැහැදිලි වන්නේ ජනතා ප්‍රශ්න විස‍ඳෙනවාට ඒ පිරිස අකමැති බවයි.

එම නීත්‍යානුකූල ඔප්පු ප්‍රදානය කිරීමේදී ගැටලු සහගත ප්‍රශ්නවලට කල්තබා විසඳුම් ලබාදීමට ඉඩම් අමාත්‍යංශය අදාළ බලධාරීන් සහභාගී කරවාගෙන ගැටලු විසඳීමේ ජංගම වැඩසටහන් පවත්වනවා. එවිට ගැටලු හඳුනාගෙන විසඳුම් ලබාදීමට හැකිවෙනවා.

රජය ග්‍රාමීය මට්ටමින් ප්‍රශ්න විසඳාගෙන යනවා. නැති බැරි ආර්ථික අගහිඟකම් ඇති එහෙත් මෙතෙක් සමෘද්ධිය නොලැබූ විශාල පිරිසක් සිටිනවා. ඒ පිරිසෙන් ලක්ෂ හයකට සමෘද්ධිය නැවත ලබාදුන්නා. විපක්ෂය හරයක් නොමැතිව විවේචනය කරනවා.

මිනුවන්ගොඩ සංවර්ධනය කිරීම සඳහා මේ වනවිට රුපියල් කෝටි 300ක් ලබාදී තිබෙනවා. තවත් කෝටි 100ක මුදලක් ආසන මට්ටමෙන් ලබාදීමට මුදල් ඇමැතිවරයා තීරණය කර තිබෙනවා. පසුගිය දිනවල මිනුවන්ගොඩට එල්ලවූ ප්‍රහාරය පොදුජන පෙරමුණේ වැඩක්.

මෙහිදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ලක්මිණි කුලතිලක මහත්මිය ද කථා කළාය. මෙම ජංගම සේවයට දාහක් පමණ මහජනයා එක්ව සිටි අතර ජංගම සේවයට ගැටලු 354ක් ඉදිරිපත්ව තිබූ අතර ඉන් වැඩි සංඛ්‍යාවකට එහිදීම විසඳුම් ලබාදීමට ක්‍රියා කෙරුණි.

මේ අවස්ථාවට පළාත් සභාවේ, නගර සභා‍ හා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ද ඉඩම් කොමසාරිස් ඩබ්ලිව්. ඩබ්ලිව්. ඒ. චන්ද්‍රා, සහකාර ඉඩම් කොමසාරිස් ප්‍රබුද්දි ප්‍රේමදාස, සහකාර පළාත් ඉඩම් කොමසාරිස් (බ.ප.) ටී. ඩබ්ලිව්. එල්. සමන්ප්‍රිය, ජනපද නිලධාරීන් වන ඒ. එල්. එල්. එච්. ලියනාරච්චි, එම්. ඩී. අයි. අමරනායක යන මහත්ම මහත්මීහු ද ග්‍රාම නිලධාරීවරු ද එක්ව සිටියහ.

උඩුගම්පොළ සමූහ

නව අදහස දක්වන්න