කීත් නොයාර් හඳුනාගැනීමේ පෙරට්ටුවට කැඳවයි | දිනමිණ

කීත් නොයාර් හඳුනාගැනීමේ පෙරට්ටුවට කැඳවයි

ද නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා අගෝස්තු මස 20ට ප්‍රථම ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී‍. එච්. ජී. ලියනගේ මහතා ඉකුත්දා (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධ නඩුව ඉකුත් නඩු වාරයේ කැඳවූ අවස්ථාවේදී අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නීතිපතිවරයාගේ, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාගේ හා අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව නව වීඩියෝ තාක්ෂණය භාවිතා කරමින් වින්දිත මාධ්‍යවේදී කීත් නොයාර් මහතා ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ කර ගනිමින් හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී සැකකරු හඳුනා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කිරීමේ හැකියාව පවතින බව හා මේ සම්බන්ධව නීතිපති අවධානය මේ වනවිට යොමු කර ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කරුණු දක්වමින් පැවසීය.

නමුත් ඉකුත්දා (08) නඩුව යළි කැඳවමින් ඉකුත් නඩු වාරයේ දෙපාර්ශ්වයම ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරයා විසින් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා හට ලංකාවට පැමිණියහොත් ඔහුට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට නොහැකි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාධාරණ හේතු දැක්වීමක් සිදුකර නොමැති නිසා සාමාන්‍ය පටිපාටිය යටතේ සැකකරු සම්බන්ධව හඳුනා ගැනීමේ පෙරට්ටුව තැබීමට හැකියාව පවතින බවට දන්වමින් වින්දිත තැනැත්තා ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරනු ලැබීය.

පසුගිය නඩුවාරයේ දී පෙරට්ටුව සඳහා නියම කළ සැකකරු අධිකරණ භුමියට ආවරණ රහිතව රැගෙනවිත් තිබූ ආකාරය සී.සී.ටී.වී. දර්ශනයන්හි පැහැදිලිව සැකකරු හඳුනා ගැනීමට නොහැකි නිසා පෙරට්ටුව පැවැත්වීමට බාධාවක් නොවන බැවින් සාමාන්‍ය පටිපාටිය ඔස්සේ හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්විය හැකි බව මහේස්ත්‍රාත්වරයා කරුණු දක්වමින් පැවසීය.

අමෝදා ජයමහ


නව අදහස දක්වන්න