මහින්ද, ගෝඨාභය නම් කෙළේ අමෙරිකාව සමඟ සාකච්ඡා කරලා | දිනමිණ

මහින්ද, ගෝඨාභය නම් කෙළේ අමෙරිකාව සමඟ සාකච්ඡා කරලා

එසේ නම් ඩීල් තිබෙන්නේ පොහොට්ටුවේද එජාපයේද

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට පෙර මහින්ද රාජපක්ෂ මහතා අමෙරිකාව සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය.

අමෙරිකාව සමඟ ඩීල් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයටද, පොහොට්ටුවට ද යන්න ඉන් ජනතාවට තහවුරු කර ගත හැකි බව දෙනියාය ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට එක්වෙමින් ඇමැතිවරයා ප්‍රකාශ කෙළේය.

එක්සත් ජාතික පක්ෂය අමෙරිකාව සමඟ සාකච්ඡා කෙළේ නම් ඒ කෙළේ රාජතාන්ත්‍රික මට්ටමින් මිස ඩීල් දැමීමට නොවන බව හෙතෙම කීවේය.

වැඩිදුරටත් ඇමැතිවරයා ‍මෙසේද ප්‍රකාශ කෙළේය.

එක්සත් ජාතික පක්ෂයකට තියෙනවා චෝදනාවක් අමෙරිකාවත් සමඟ ඩීල් දානවා කියලා. එත් පසුගිය දවසක මහින්ද රාජපක්ෂ මහත්තයා ගිහින් අමෙරිකාවේ තානාපතිතුමියයි, සහකාර රාජ්‍ය ලේකම්වරියයි හමුවෙලා තිබෙනවා. පොහොටුවේ අපේක්ෂකයා නම් කරන්න කලින් තමයි මේ ගිහින් හමුවීම සිදු කෙළේ. ඒකයි මම මුල ඉදලම කිව්වේ පොහොට්ටුවේ කණ්ඩායම අපේ රටේ මිනිස්සුන්ට එක මුහුණකුත් අමෙරිකාවට තව මුහුණකුත් පෙන්වමින් ඉන්නවා කියලා. ඒ වගේම තමයි පසුගිය දවසක බදුල්ලේ නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරන්න එන්න කියලා සජිත් ඇමැතිතුමාගෙන් ආරාධනාවක් තිබුණා.එතුමා හැම නිවාස යෝජනා ක්‍රමයක්ම විවෘත කරද්දී අපිට ආරාධනා එවනවා. නමුත් මට මෙතෙක් එතුමාගේ එක නිවාස යෝජනා ක්‍රමයකටයි සහභාගී වෙන්න පුළුවන් වුණේ. ඒකත් මම එතුමාට කරපු ඉල්ලීමකට අනුව එතුමා මොනරාගල දිස්ත්‍රික්කයට ලබාදුන් නිවාස යෝජනා ක්‍ර‍මයක්. ඒකට මුදල් දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන්. එය ක්‍රියාත්මක කෙළේ සජිත් ඇමැතිතුමාගේ අමාත්‍යාංශයෙන්. ඒකට මම සහභාගී වුණා.


නව අදහස දක්වන්න