දිවයින පුරා අයිආර්සී කාරයන් 45000ක් | දිනමිණ

දිවයින පුරා අයිආර්සී කාරයන් 45000ක්

විජයානි එදිරිසිංහ

දිවයිනේ ලියාපදිංචි නම ගිය අපරාධකරුවන් හෙවත් අයි ආර් සී කාරයන් හතලිස්පන්දහසකට වැඩි ප්‍රමාණයක් සිටින බව වාර්තා වෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මෙම පිරිස අතරින් හතලිස් හතර දහස් හාරසිය හයක් පිරිමි අය වන අතර ඉතිරි පිරිස වන එක්දහස් එකසිය අටක් කාන්තාවන් බවයි.

දිවයිනේ මෙම ලියාපදිංචි අපරාධකරුවන් පිළිබඳ දිවයිනේ සෑම පොලීසියක්ම දැනුවත් කර ඔවුන් පිළිබඳ සියලු වාර්තා සහ ඡායාරුප ද යවා ඇති බවත් යම් අපරාධයක් සිදුවූ විට මෙම අපරාධකරුවන් වෙත දැඩි අවධානයක් යොමු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අපරාධ ආඥා පනතේ එහි උපලේඛන නියෝග මත මිනිමැරිම, ස්ත්‍රි දුෂණ, කොල්ල කෑම්, මුල්‍ය වංචා ආදි වශයෙන් වැරදි ගණනාවක් සඳහන්ව තිබේ. එම වැරදිවලට හසුවී අධිකරණයෙන් දඬුවම් ලබා අඩුම වශයෙන් දෙවරක් වත් සිරදඩුවම් ලබා ඇති පුද්ගලයකු මෙසේ අයි ආර් සී කරුවන් බවට ලැයිස්තු ගත වෙයි.

එහෙත් මෙවැනි වරදක් කර අධිකරණය හමුවේ දඩුවම් වශයෙන් දඩ මුදලකට යටත් වුවහොත් අයි ආර් සී කරුවකු බවට පත් වෙන්නේ නැත. විශේෂයෙන් මෙම පුද්ගලයා ඉහත පනත යටතේ ඇති වරදක් සිදු කර අනිවාර්යයෙන්ම බන්ධනාගාර ගතවීම අනිවාර්ය වෙයි.

දිවයිනේ නම ගිය අයි ආර් සී කරුවකු බවට පතවූ පුද්ගලයකු පසුව කොයිතරම් හොඳ පුද්ගලයකු බවට පත්වුවත් ඔහුට එම අයි ආර් සී නාමයෙන් ඉවත් විමට නොහැකිය. එසේ ඉවත් වීම සිදුවෙයි නම් එම පුද්ගලයා අයි ආර් සී කරුවකු බවට පත්වී වසර 70ක් ගත වීමෙන් පසු හෝ මිය යාමෙන් පමණක් එම අයි ආර් සී බව ඉවත් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසන අතර අයි ආර් සී ලැයිස්තු ගත වීමෙන් පසු එම පුද්ගලයාට සමාජයෙන් කිසිදු දෙයක් කර ගත නොහැකි වන තත්ත්වයකට පත්වනු ඇත.


නව අදහස දක්වන්න