එකට එකතු වී රට ආරක්ෂා කරමින් නව ශ්‍රී ලංකාවක් බිහි කරනවා | දිනමිණ


 

එකට එකතු වී රට ආරක්ෂා කරමින් නව ශ්‍රී ලංකාවක් බිහි කරනවා

ජීවිතය පරදුවට තබා හෝ සජිත් ජනපති කරනවා 
- ඇමැති හරීන් ප්‍රනාන්දු

රටේ අනාගතය වෙනුවෙන් අපි මේ ගමන යනවා 
-ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර

දුප්පත් ජනතාව නඟාසිටුවීමේ මෙහෙයුමට එකතු වන්න 
- රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ

කිසිදු සතුරු බලවේගයකට මෙරට විනාශ කරන්න, කඩා බිඳ දමන්නට ඉඩ නොදෙන බවත්, එකට එකතු වී රට ආරක්ෂා කරමින් නව ශ්‍රී ලංකාවක් බිහි කරන්න වුවමනා බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (12) බදුල්ල විල්ස්පාක් ක්‍රීඩාංගණයේ පැවති පිළිගැනීමේ රැළියකට සහභාගී වෙමිනි.

ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු බදුල්ල දිස්ත්‍රික් එ.ජා.ප. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, මන්ත්‍රීවරුන් සහ එ.ජා.ප. පාක්ෂිකයන් මෙය සංවිධාන කර තිබුණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

අද එකක් කියා හෙට එකක් කියන දිව දෙකේ දේශපාලනඥයෙක් නෙවේ මම. මට හොඳට ශක්තිය තිබෙනවා. මම බය නෑ. මගේ පියා මහ පාරේ දී ජනතාව වෙනුවෙන් ජීවිතය පරදුවට තිබ්බා වගේ මමත් රටේ ජනතාව වෙනුවෙන් අද වුණත් මහ පාරේ මැරෙන්න සූදානම්.

මාතෘ භූමියේ හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරමින් මේ අලුත් ගමන ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. මේ කාර්යය කරට ගෙන අභීත නායකත්වයක් ලබා දුන් හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ සියලු මැති ඇමැතිවරුන්ට මගේ ශීර්ෂ ප්‍රණාමය පුද කරනවා.

අපේ අලුත් ගමනේ සැලසුම් අනුව තුන්සිය හැටපස් දවසේ මාතෘ භූමිය ආරක්ෂා කරන අභිමානවත් දේශයක් බිහි කරනවා. රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන විට සෑම සියලු දෙනාම අවබෝධ කරගන්නට ඕනෑ මේ රාජ්‍ය පාලනය තාවකාලික බව. මෙය අපට ලැබෙන්නේ පොදු ජනතාවගේ ආශිර්වාදයෙන්. මේ රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන විට එහි ප්‍රධානතම කොටස්කරුවා විය යුත්තේ රටේ පොදු ජනතාවයි. රටක් පාලනය කරන විට ශීඝ්‍ර ගමනක් කරා යෑමට නම් ඒ කාර්යය ඉටු කළ යුත්තේ ගජ මිතුරු කල්ලිය නොව දක්ෂ හැකියාවක් තිබෙන, බුද්ධියෙන් පරිපූර්ණ වූ, නව අදහස් ඇති දක්ෂයන්ට සුදුසු තැන ලබා දීමට අපේ අනාගත රජය ඇප කැප වෙනවා.

රටක් දියුණු වෙන්නට නම් කුඩා සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් ශක්තිමත් කර දේශීයත්වයට මුල්තැන දී ඉදිරියට යා යුතුයි. අපි මේ නිර්මාණය කරන අලුත් ගමනේ දී තරුණ පරපුර දේශපාලන ආයුධයක් ලෙස භාවිත නොකර රට දිනවීමේ පෙර ගමන්කරුවන් හැටියට ඔවුන් ඉදිරියටම ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. යල් පැනගිය අදහස් සියල්ල අතුගා දමා තරුණ පරපුරට නායකත්වය ලබා දී මේ රටේ ඉදිරි ගමන ගෙන යනවා.

රටක් පාලනය කරන විට ආවාට ගියාට සංකල්ප නිර්මාණය කරන්න බෑ. හිතුමතේට සැලසුම් හදන්න බෑ. නිශ්චිත ජාතික සැලසුමක්, ඉලක්කගත වැඩපිළිවෙළක් කේන්ද්‍ර කරගෙන අපි ඉදිරි ගමනක් යන්න ඕනෑ. අනාගත ශ්‍රී ලංකාව බුද්ධිය දැනුම මත පදනම් වූ සංවර්ධිත ශ්‍රී ලංකාවක් බවට පත් කරනවා. සංවර්ධනයෙන් හැමෝම දිනන්න ඕනෑ. කොටසක් පමණක් ප්‍රතිලාභ ගෙන හරියන්නේ නෑ. පසුගිය කාලයේ සංඛ්‍යා ලේඛන බලන විට අපි හැමෝම මවිතයට පත් වෙනවා. පුදුමාකාර සංඛ්‍යා ලේඛන තිබුණේ. හැමෝම ආර්ථික සංවර්ධනය ගැන කතා කරනවා. ජාතික ආදායමෙන් 54%ක් භුක්ති විඳින්නේ රටේ ඉන්න පොහොසත් මිනිසුන්. රටේ දුප්පත් මිනිසුන්ට කුඩම්මාගේ සැළකිල්ල ලැබුණේ.

අපට මේ ගමන යන විට අලුත් විදියට හිතන්න සිදු වෙනවා. අපි හැමෝම බලාපොරොත්තු වන්නේ විප්ලවීය වෙනසක්. තුරුණු ශක්තිය රටේ දැවැන්ත ශක්තියයි. රට පුරා ගොඩනඟන තරුණ සංවර්ධන බළකායක් පිහිටුවන්න ඕනෑ. ඒ අනුව තරුණ ශක්තියෙන් ශ්‍රී ලංකාව උසස් මාතෘ භූමියක් බවට පත් කරනවා.

රටම වෙලා ගත් සංවර්ධන ක්‍රමවේදයක් අපට අවශ්‍යයි. එදා මගේ පියා සිටි සීමාසහිත කාලසීමාවේ දී ඇඟළුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කළා. මේ රට කර්මාන්ත යුගයකට නැවත ගෙනගොස් අපනයන සංවර්ධන රටාවක් ඇති කරන්න ඕනෑ. ගමේ කර්මාන්ත ශාලා ආරම්භ කරන්න අපි සැලසුම්කර තිබෙන්නේ.රටේ සෑම උපදිසාපති කොට්ඨාසයකම ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු මධ්‍යස්ථාන, භාෂා විද්‍යාගාර ආරම්භ කරනවා. අධ්‍යාපන ක්‍රමය දියුණු වුණාම රට දියුණු වෙනවා. රට ශක්තිමත් වෙනවා.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඕනෑ. ඒ වගේම ආර්ථික, දේශපාලන, සමාජ ආරක්ෂාව ශක්තිමත් කරන්න ඕනෑ. රණවිරු පවුල් ශක්තිමත් කරනවා. ආර්ථිකය දුර්වල වු තැන ජාතික ආරක්ෂාව කෙළෙසනවා. සමාජ ගැටුම් නිර්මාණය වූ තැන ජාතික ආරක්ෂාවට මරු පහරක් එල්ල වෙනවා. දේශපාලන ආරක්ෂාව නැති වූ විට රට මහා ව්‍යසනයක් කරා යනවා. ජාතික ආරක්ෂාව දෙස අපි පුළුල් ලෙස බලන්න ඕනෑ.

රටේ පුංචි මිනිසුන් මධ්‍යම පාන්තිකයන් බදු බරින් නිදහස් කරන්න ඕනෑ. කඳුකරයේ වතු ජනතාව සොච්චම් වැටුපක් ගන්නේ. ඔවුන්ගේ පවුල්වලට මන්දපෝෂණය. එදා රණසිංහ ප්‍රේමදාස මහතා මේ රටේ වතු කම්කරු ජනතාවට භූමියේ අයිතිය ලබා දුන්නා. වතු කම්කරු ජනතාව දිවි හිමියෙන් සුරකිනවා. රැක ගන්නවා. ආරක්ෂා කරනවා.

වසර 15ක් 20ක් පුරා රටේ දුප්පත්කම ගැන පැහැදිලි විග්‍රහයක් නෑ. අපි ඇත්ත කතා කරන්න ඕනෑ. බොරුවෙන් තොර රාජ්‍ය පාලනයක් ගෙන යන්න ඕනෑ. අපි ත්‍රස්තවාදීන්, අන්තවාදීන් විනාශ කරනවා. බුදු දහමට අනුව ත්‍රස්තවාදය අන්තවාදය ගෙන යන්න හොඳ නෑ. මේ රටට කිසිම සතුරු බලවේගයකට විනාශ කරන්නඉඩ දෙන්නේ නෑ. මේ රටේ සියලු දෙනා එකට එකතු වී රට ආරක්ෂා කරමින් නව ශ්‍රී ලංකාවක් බිහි කරන්න ඕනෑ.

අපේ අනාගත ගමනේ දී රටට, ජනතාවට හානි වන කිසිම ගිවිසුමක් අත්සන් කරන්නේ නෑ. රට සංවර්ධනය කරන්න නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් තිබෙන්න ඕනෑ. දස රාජ ධර්ම ක්‍රියාත්මක කරමින් රට පාලනය කළ යුතුයි. ජනතාව අපට වරම ලබා දෙන්නේ ඔවුන්ට සහන අපේක්ෂාවෙන්. ජන දුකට විසඳුම් ලබා දෙන මාතෘ භූමියක් අපි නිර්මාණය කරනවා.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා

එදත් අපි කිව්වේ රැල්ලට බය නම් වැල්ලට යන්නේ නෑ කියලා. දැන් රැල්ලට බය නෑ. අපි බදුල්ලෙන් ආරම්භ කළ කිසිම දෙයක් වැරදුණේ නෑ. 2014 ඡන්දයේ දී පස්සර දී රනිල් සජිත් එකම වේදිකාවට ගෙනාවා. අපට කිසිම කෙනකු සමඟ වෛරයක් නෑ. අවුරුදු 30ක දේශපාලන අත්දැකීම ඇතිව මේ ගමනට සජිත් ආවා. තව අවුරුදු 30ක් ගමන යන්න පුළුවන්.

අපේ බුලට් එක දැන් සජිත් ප්‍රේමදාස. වෙන බුලට් අපට නෑ. අපි ඒ මහතා ජනාධිපති කරලා තමයි නවතින්නේ. ජීවිතය පරදුවට තියා හරි සජිත් ප්‍රේමදාස ජනපති කරනවාමයි. ඒක අපේ බලාපොරොත්තුවයි.

කම්කරු හා වෘත්තීය සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා

මේක ඓතිහාසික දිනයක්. අපි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා වගේම සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපති කරනවාමයි. අපේ පැතුම ඒකයි. අද ‍මේ බදුල්ලෙන් ආරම්භ කළේ පෙරහුරුවක් පමණයි. තව හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න.

රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා

2014 වසරේ ඌව වෙල්ලස්ස ජනතාව තමයි ආපසු එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්න බදුල්ලෙන් පළමු වෙඩි මුරය තිබ්බේ. මේ රටේ අනාගතය වෙනුවෙන් අපි මේ ගමන යන්නේ.

මහින්ද රාජපක්ෂගේ පවුල් දේශපාලනය අපි ඊයේ දැක්කා. රාජපක්ෂ පවුලේ බලය ආපසු පෙන්වනවා. මේ රටේ නැති බැරි අය ඇති හැකි අය කරන්න සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සී සී කඩ කැඩෙද්දී එක්සත් ජාතික පක්ෂය එකතු වී මේ රටේ බලයට එනවා. මහින්ද රාජපක්ෂ නැවත ජීවිතේට ජනාධිපති වෙන්නේ නෑ.

විද්‍යා හා තාක්ෂණ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා

දේශපාලනයේ දී පවුල්වාදයට ප්‍රේමදාස මහත්තයා කිසිවකු යොමු කළේ නෑ. 97න් පසුව අවුරුදු 25ම අපි හොඳට බැට කෑවා. රටේ දුප්පත් ජනතාව නඟාසිටුවන මේ මෙහෙයුමට සියලු දෙනා එකතු වෙන්න.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, කාන්තා ළමා කටයුතු වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, මුදල් රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි, රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ, විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාරණ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අරවින්ද කුමාර්, වඩිවේල් සුරේෂ් මහත්වරු ද, පළාත් සභා මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

සොරණාතොට සමූහ සහ ඌව පළාත් සමූහ

නව අදහස දක්වන්න