විනාශ මුඛයෙන් ගොඩ ගත් රට යළි විනාශකාරී යුගයකට ඇද දමනවා දැයි ජනතාව සිතිය යුතුයි | දිනමිණ

විනාශ මුඛයෙන් ගොඩ ගත් රට යළි විනාශකාරී යුගයකට ඇද දමනවා දැයි ජනතාව සිතිය යුතුයි

* මේ වසරේ දී වැව් අමුණු 3000ක් නවීකරණය කරනවා 
* රාජපක්ෂ ආණ්ඩුව නොගෙවූ වගා හානි වන්දි අපි ගෙව්වා 
* රටට සංවර්ධනයේ අරුණලු උදා කරමින් සියලු දෙනාට හොඳ අනාගතයක් උදා කළා 
* නියඟයෙන් වගාහානි වූ කුරුණෑගල ගොවීන් 6195කට කෝටි 14ක වන්දි

වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගත වූ වසර කිහිපයේ විනාශ වී තිබූ රට විවිධ අභියෝග මැද යළි ගොඩගෙන සංවර්ධනය කරමින් සියලු රටවැසියන්ට ශක්තිමත් අනාගතයක් ගොඩනඟාදීමට පියවර ගත් බවත්, එම වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන ගොස් දියුණු රටක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා ද එසේත් නැතිනම් නැවත විනාශකාරී යුගයකට ඇද දමනවා ද කියා තීරණය කළ යුතු කාලය එළඹ තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (12) කුරූණෑගල, නගර සභා ශාලාවේ දී පැවැති වගා හානි වූවන් සඳහා වන්දි ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී 2018 යල කන්නයේ නියඟයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගාහානි වූ ගොවීන් 6195දෙනෙකු වෙත වන්දි ලබාදුන්නේය. ඒ සඳහා රුපියල් කෝටි 14ක මුදලක් රජය වෙන්කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා- දක්ෂතාව අනුව සියලූම දෙනාට ඉහළට යාමට හැකි සමාජයක් ඇති කිරීමට එවකට අධ්යා පන අමාත්ය වරයා ලෙස කටයුතු කළ මා මෙන්ම, වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා ද කටයුතු කරනවා. මේ වසර පහක කාලය තුළ දී ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කිරීමට අපට හැකි වුණා.

අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයකු සහ මන්ත්‍රීවරයකු වශයෙන් විශාල සේවයක් මෙම දිස්ත්‍රිකක්කය වෙනුවෙන් ඉටුකර තිබෙනවා. එතුමා සෑම අවස්ථාවකම ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් වැඩ කටයුතු සිදු කළා. පසුගිය දිනෙක කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළමු සුහුරු පාසල ඇති කිරීමට ද අප කටයුතු කළා. ඉදිකෙරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල ඉදිරියේ දී ප්‍රධාන නගරයක් බවට පත්වීමට නියමිතයි. එම නිසා කුරුණෑගලට අවශ්‍ය පහසුකම් ලබාදීමට අශෝක අබේසිංහ අමාත්‍යවරයා විශාල කැපවීමකින් කටයුතු කරනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට අවශ්‍ය පහසුකම් ලබාදීමට ආණ්ඩුවක් ලෙස අපි ද අවශ්‍ය වැඩ කටයුතු සිදු කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ප්‍රදේශයේ අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම ජේ.සී. අලවතුවල අමාත්‍යතුමා පරිපාලන ක්ෂේත්‍රයේ කටයුතු ඉතා මැනවින් සිදුකරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පී. හැරිසන් අමාත්‍යවරයා කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා සිදු කරන සේවය ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

අද අපි මේ වන්දි ලබා දෙන්නේ නියඟයෙන් වගා හානි වූ ගොවි මහත්වරුන් වෙතයි. එම නිසා මේ නියඟය පිළිබඳ වචන ස්වල්පයක් සඳහන් කළ යුතුයි. මෑත කාලීනව අපේ රටේ මෙන්ම, දකුණු ඉන්දියාව සහ තවත් රටවල් ගණනාවක දේශගුණික විපර්යාස සිදු වෙමින් තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ රටට මෝසම් දෙකක් අනුව වැසි ලැබෙන අතර අනෙක් කාලවල වැසි රහිත හෝ සුළු නියං තත්ත්වයක් පවතිනවා. නමුත් එම දේශගුණය බොහෝ දුරට වෙනස් වී, අද කලට වේලාවට වර්ෂාව නොලැබී යන තත්ත්වයක් ඇතිව තිබෙනවා.

මේ දේශගුණික විපර්යාසය නිසා අපේ බෝග වගා කිරීමේ රටාව ද වෙනස් කිරීමට සිදු වෙනවා. එම වැඩ කටයුතු සිදු කරන්නේ කෙසේදැයි අප මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනවා.

ඒ අනුව කෙටි කාලයකින් වගා කර අස්වැන්න ලබාගත හැකි වී වර්ග සහ ජලය අවම වශයෙන් භාවිතා කොට වගා කළ හැකි වී වර්ග හඳුන්වාදීමට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා වෙත මා උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ වගේම එක් කන්නයක් වැසි ජලය භාවිතා කරමින් වී වගා කොට එමගින් උපරිම වී නිෂ්පාදනයක් ලබා ගැනීමටත්, වැසි ජලය භාවිතා කළ නොහැකි කාලයේ දී වැව් ජලය භාවිතා කළ හැකි ස්ථානවල එම ජලය මගින් දෙවැනි කන්නය වගා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එමෙන්ම අපි තවදුරටත් කල්පනා කරන්නේ වෙනත් බෝග වර්ග ද වගා කොට, වසරක දී කන්න තුනක් වගා කිරීම සඳහා අපේ ගොවි මහත්වරුන් යොමු කිරීමටයි.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පී. හැරිසන් මහතා යටතේ නවීන ක්‍රමවේද අනුව පැෂන් ඇතුළු පලතුරු වර්ග සහ එළවළු වර්ග ගණනාවක් වගාකර තිබෙනවා. මෙම නවීකරණය ඉදිරි වසර කිහිපයේ රට පුරා ව්‍යාප්ත කිරීම අපේ බලාපොරොත්තුවයි. මෙම නවීකරණය ඔස්සේ බෝග වගා කිරීම පමණක් නොව, සැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීමට ද අප කටයුතු කරනවා. ඒ අනුව ශීතාගාර සහිත පළමු සැකසුම් මධ්‍යස්ථානය අනුරාධපුර, නාච්චදූව ප්‍රදේශයේ ආරම්භ කිරීමට අප මේ වන විටත් කටයුතු කර තිබෙනවා. එවැනි තවත් සැකසුම් මධ්‍යස්ථානයක් දඹුල්ල සහ වැලිමඩ ප්‍රදේශවල ආරම්භ කිරීමට නියමිතය.

මෙම සැකසුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අප පුද්ගලික අංශයට ද ආරාධනා කර සිටිනවා. අවම වශයෙන් මෙවැනි එළවළු හා පලතුරු සැකසුම් මධ්‍යස්ථාන 150ක් වත් රට පුරා පැවතිය යුතුයි. ඒ වගේම බෝග වර්ග සැකසුම් මධ්‍යස්ථාන කරා ගෙන යාමට භාවිතා කරන ප්ලාස්ටික් ඇසුරුම් සහන මිලකට ලබාදීමට ද අප කටයුතු කරනවා. එමගින් නාස්තිය අවම කොට උපරිම ආරක්ෂාවක් යටතේ බෝග වර්ග සැකසුම් මධ්‍යස්ථාන කරා රැගෙන ගොස් ගොවියාට ඉහළ ආදායමක් ලබාදීම අපේ බලාපොරාත්තුවයි.

එක් එක් කන්නවල දී වගා කළ යුතු බෝග වර්ග ඇතුළු සියලූ කරුණු සම්බන්ධයෙන් ගොවි මහත්වරුන් දැනුවත් කිරීමට සහ උපදෙස් ලබා දීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ අපි අවධානය යොමු කර තිබෙනවා. එම සියලූ තොරතුරු ජංගම දුරකථනය ඔස්සේ ලබාගත හැකි සේවාවක් ලෙස එම ක්‍රමවේදය සකස් කිරීමට නියමිතයි.

මෙම විප්ලවීය වෙනස සිදු කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු පී. හැරිසන් අමාත්‍යවරයා මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඊට සමඟාමීව වැව් අමුණු සංවර්ධනය කිරීම ද කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව මෙම වසරේ දී පමණක් වැව් අමුණු 3000ක් නවීකරණය කරමින් තිබෙනවා. මීට පෙර වගා හානිවූවන් සඳහා වන්දි මුදල් ලෙස අක්කරයකට ගෙවනු ලැබූයේ රුපියල් 10,000 ක් පමණයි. එම මුදල් ප්‍රමාණවත් වන්නේ නැහැ. වගා හානිවූවන් සඳහා ගෙවනු ලබන එම වන්දි මුදල වැඩි කරන ලෙස අප විපක්ෂලයේ සිටිය දී අවස්ථා කිහිපයකදීම එවකට පැවැති ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එවකට පැවැති රාජපක්ෂ ආණ්ඩුව කියා සිටියේ එම වන්දි මුදල වැඩි කළ නොහැකි බවයි.

අවසානය වන විට මහින්ද රාජපක්ෂෂ මහතාගේ ආණ්ඩුවට වන්දි ගෙවීමට හෝ වෙනත් කිසිදු කටයුත්තක් සඳහා හෝ මුදල් තිබුණේ නැහැ.

2014 වසරේ නොවැම්බර් මාසයේ පැවැති ගංවතුර තත්ත්වයට ඔබට මතක ඇති. එම ගංවතුරෙන් හානිවූවන් සඳහා වන්දි ගෙවීමටවත් ඔවුන්ට මුදල් තිබුණේ නැහැ. අනතුරුව, 2015 වසරේ දී අප ආණ්ඩු බලය ලබාගත් පසු එම ගංවතුරින් හානිවූවන් සඳහා වන්දි ගෙවීමට කටයුතු කළා. රාජපක්ෂ ආණ්ඩුවට එම වන්දි මුදල්වත් ගෙවා ගැනීමට නොහැකි වුණේ ඇයි? ඔවුන්ට ආර්ථිකය හසුරුවා ගෙන ඉදිරියට යාමට නොහැකි වුණා. එම නිසා 2016 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය 2014 වසරේ දී පැවැත්වීමට ඔවුන්ට සිදුවුණා. සම්පූර්ණ මුදල් හිඟයක් ඇති වීමට මැතිවරණය පැවැත්වීමට ඔවුන්ට අවශ්‍ය වුණා.

එම මැතිවරණය ජයග්‍රහණය කොට ආණ්ඩුව බාර ගැනීමෙන් පසු, පළමුව ආර්ථිකය ගොඩනැගිය යුතු බව මම තීරණය කළා. එම ක්‍රියාමාර්ගය කෙතරම් දුෂ්කර වූවත් අතරමඟ දී පැන යාමට හෝ, හදිසි මැතිවරණවලට යාමට හෝ කටයුතු නොකොට කෙසේ හෝ ආර්ථිකය ගොඩනැගීමට කටයුතු කරන බව මා කියා සිටියා. එහිදී පළමු වසර දෙක ඉතාමත් අසීරු වසර දෙකක් බව මම හොඳින් දැන සිටියා. ඒ අනුව අවශ්‍ය වැඩ කටයුතු හොදින් ඉටු කිරීමට අපට හැකි වුණා. අප පොරොන්දු වූ පරිදි වගා හානිවූවන් සඳහා අක්කරයකට රුපියල් 40,000ක මුදලක් ලබාදීමට අද අපට හැකි වී තිබෙන්නේ රටේ ආර්ථිකය ගොඩනැගීමට අප කටයුතු කළ නිසායි. අප ලබාදෙන එම වන්දි මුදලින් වගා හානි වූ ගොවි මහත්වරුවන්ගේ අලාභයෙන් වැඩි ප්‍රමාණයක් ආවරණය වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. මේ කටයුතු සිදු කිරීමට මුදල් තිබිය යුතුයි. මුදල් නොමැතිව මේ කිසිවක් කළ නොහැකියි. වෙනස එයයි.

වසර 10 ක් ආර්ථිකය බාර ගෙන සිටියත්, ආර්ථිකය දියුණු කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වුණා. අවම වශයෙන් යුද්ධය අවසන් වී ගත වූ වසර 5 ක කාලයේ දී වත් ආර්ථිකය දියුණු කිරීමට නොහැකි වුණා. අවසානයේ ආර්ථිකය දියුණු කිරීමට නොහැකිව ඒ කටයුතු අතහැර, හදිසි මැතිවරණයකට ගොස් ආණ්ඩු බලයත් අතහැර යාමට රාජපක්ෂ ආණ්ඩුවට සිදුවුණා. නැවතත් පරණ තැනටම යනවාද, නැතිනම් ආර්ථිකය දියුණු කරමින් ඉදිරියට යනවාදැයි ඔබ කල්පනා කළ යුතුයි. අප ආණ්ඩුබලය ලබාගන්නා විට විවිධ ප්‍රශ්න තිබුණා. ඇතැම් අවස්ථාවල භාණ්ඩ මිල ඉහළ ගියා. නමුත්, එම ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදීමට අපට මේ වන විට හැකි වී තිබෙනවා.

අද දින මම මෙම ස්ථානයට පැමිණීමට පෙර අභාවප්‍රාප්ත සාලින්ද දිසානායක මහතාගේ දේහයට ගෞරව දැක්වීමට එතුමාගේ නිවසට ගොඩවුණා. එතුමාගේ අභාවය පිළිබඳ මම මගේ බලවත් කනගාටුව පළ කරනවා. අපට විරුද්ධ පැත්තේ සිටියත් එතුමා මේ ප්‍රදේශයට විශාල වැඩ කොටසක් සිදු කර තිබෙන බව පිළිගත යුතුයි.

පෙහොට්ටුවේ සම්මේලනයේ නම මාරු කර තිබෙනවා. ඔවුන් ඉදිරියට පැමිණීමට සූදානම් වන්නේ එම නම මාරු කිරීමෙනුයි. එම නම මාරු කිරීම පිළිබඳ මම ඔවුන්ට සුප ප්‍රාර්ථනා කරනවා. මට එය ප්‍රශ්නයක් නොවෙයි. ඔවුන් අපේක්ෂිකයෙක් ද ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මගේ ප්‍රශ්නය එය නොවෙයි. ඔවුන් වසර 10ක් බලයේ සිටි කාලයේ රටේ ආර්ථිකය කඩා වැටුණා. 2009 වසරේ යුද්ධය අවසන් වී 2014 දක්වා ගත වූ වසර 5ක කාලයේත් සිදු වූයේ එයයි. නමුත් අප බලය ලබාගෙන වසර 5ක් ඇතුළත රට ඉහළට ඔසවා තබා වගා හානිවූවන් සඳහා විශාල වන්දි මුදල් ප්‍රමාණයක් ගෙවනවා. එසේ නම් මගේ ප්‍රශ්නය වන්නේ වසර 10ක දී ඔවුන්ට රට වෙනුවෙන් කළ නොහැකි වූ දේ තවත් වසර 5ක දී කළ හැකි ද යන්නයි.

රාජපක්ෂ් ආණ්ඩුවට මුදල් නොතිබූ නිසා අධ්‍යාපනයට, සෞඛ්‍යට මුදල් වෙන් කළේ නැහැ. නමුත් අපි මුදල් සොයා ගනිමින් ළඟම පාසල හොඳම පාසල වැඩසටහන, සුරක්ෂා රක්ෂණාවරණය, වසර 13ක පාසල් අධ්‍යාපනය ලබාදීම, උසස් පෙළ හදාරණ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක ලබාදීම ආදී වැඩසටහන් රැසක් අධ්‍යාපන ක්ෂ්‍රේත්‍රය වෙනුවෙන් සිදු කරනවා.

සුවසැරිය ගිලන් රථ සේවය, හෘද රෝගීන් සඳහා නොමිලයේ ස්ටෙන්ට් ලබාදීම, රෝහල්වලට නව උපකරණ ලබාදීම ඇතුළු තවත් වැඩසටහන් රැසක් ඔස්සේ සෞඛය ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කර තිබෙනවා. ඒ වගේම භික්ෂූටන්වහන්සේලා වෙනුවෙන් නව රක්ෂණාවරණයක් ලබා දී තිබෙනවා.

රාජපක්ෂ ආණ්ඩුවට වසර 10ක දී සිදු කළ නොහැකි වූ සංවර්ධනය අපි වසර 5ක දී සිදු කර තිබිය දී මේ අය තවත් වසර 5ක් ඉල්ලා සිටින්නේ ඇයි? ඔවුන්ට වසර 10 ක දී ඉටු කළ නොහැකි වූ දේ තවත් වසර 5කින් කෙසේවත් ඉටු කළ නොහැකියි. ඔවුන්ගේ වසර 10 ක පාලන කාලයේ හම්බන්තොට වරාය සෑම වසරකදීම විශාල ලෙස අලාභ ලැබුවා. අපි ආණ්ඩු බලය ලබාගෙන තෙවන වසර වන විට අලාභය නැති කර එහි කටයුතු ඉදිරියට සිදුකිරීමට බාර දුන්නා. හම්බන්තොට වරාය ඉදිකර වසර 10කින් වත් ඔවුන්ට ලාභයක් ගැනීමට නොහැකි වුණා නම් නැවත පැමිණ ලාබ ලැබිය හැකිද?

ජේ.සී. අලවතුවල රාජ්‍ය අමාත්‍යතුමා සහ එතුමාගේ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ සිදු කර තිබෙන වැඩ කටයුතු මොනවාදැයි විමසා බලන්න. එම අමාත්‍යාංශය යටතේ මෙම වසර 5ක කාලයේ නිල පියස දෙදහසකට අධික ප්‍රමාණයක් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නව ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඉදිකර තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිලි ද ඉදිකරනවා.

වසර 10 ක දී රාජපක්ෂව ආණ්ඩුවට මේ කිසිවක් කිරීමට හැකි වුණේ නැහැ. නම මාරු කළ පමණින් මේ අයට විශේෂ ශක්තියක් හෝ බලයක් ලැබෙනවාද? යුද්ධය අවසන් වූ පසු රටේ සංහිඳියාව ඇති කළේ නැහැ. ප්‍රශ්න විශාල ගණනාවක් තිබුණා. මේ අයට වසර 10ක් සංහිඳියාව ඇති කිරීමට නොහැකි වුණා. නමුත් අපි වසර 5 කදී රටේ සංහිඳියාව ඇති කළා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු රටේ විශාල ආගම්වාදී සහ ජාතිවාදී කෝලාහල ඇති වුණේ නැහැ. සියලූ දෙනා එකතු වී රටේ සාමය ආරක්ෂා කළා. සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස පෙනී සිටියා.

වසර 10ක දී රටේ සංහිඳියාව ඇති කිරීමට නොහැකි වූ අය දැන් නැවත සංහිඳියාව ඇති කරන්නේ කෙසේද? සියයට 30ක් වූ රටේ අපනයන ප්‍රමාණය රාජපක්ෂ ආණ්ඩුවේ වසර 10ක කාලයේ සියයට 17 දක්වා අඩු වුණා. ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය අහිමි කළා. අප බලයට පත්ව, නැවත ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලබා ගෙන අපේ අපනයන ක්‍රමානුකූලව ඉහළ නංවමින් සිටිනවා. වසර 10ක කාලයේ රටේ අපනයනය ඉහළ නැංවීමට නොහැකි වූ රාජපක්ෂ ආණ්ඩුවට, නැවත රටේ අපනයනය ඉහළ නැංවීමට හැකියාවක් ලැබෙනවාද?

ඔවුන්ගේ පාලන කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණයට ස්වාධීනත්වයක් තිබුණේ නැහැ. එවකට සිටි අග්‍රවිනිශ්චයකාරතුමිය ඇදගෙන ගොස් පැය 24 කින් ධූරයෙන් පහ කළා. ආණ්ඩුවට පක්ෂපාතී නොවන තීන්දු තීරණ ලබාදුන්නැයි කියා ඇතැම් අධිකරණ විනිශ්ච්‍යකාරවරු ඉවත් කළා. අපි වසර 5කින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ඇති කළා.

අග්‍රාමාත්‍යවරයා ලෙස මාව මාධ්‍ය ඔස්සේ කෙතරම් දෝශාරෝපණය කිරීමට නිදහස තිබුණත්, එදා ඔවුන්ට එරෙහිව කිසිවක් කියන්න අවස්ථාව තිබුණේ නැහැ. එදා මාධ්‍යය සිදුව තිබුණේ ඔවුන්ගේ ගුණ ගායනා කර කර සිටීමටයි. එදා මාධ්‍යට නොතිබූ නිදහස අපි වසර 5 ක් තුළ ලබා දී තිබෙනවා.

එසේ නම් අපි වසර 5කින් ඇති කළ දේ ආරක්ෂා කර ගන්නවා ද, නැතිනම් නැවතත් පරණ තැනටම යනවාදැයි මා ප්‍රශ්න කරනවා.

ආර්ථිකය හදන්න බැරි අයට ආර්ථිකය හදන්න බාර දෙනවාද? අධ්‍යාපනය, සෞඛ්‍යයට මුදල් වියදම් කරන්න බැරි වූ අයට සෞඛ්‍ය හා අධ්‍යාපනය දියුණු කරන්නැයි බාර දෙනවාද? සුදු වෑන් එවූ අය ඒවා නතර කර වරද පිළිගන්නවාද, නැතිනම් එවා නැවතත් සිදු කරනවාද? ඇදුම් මාරු කළා කියා හෝ මුහුණු මාරු කළා කියා වෙනසක් සිදු වෙනවාද?

මට කියන්න තිබෙන්නේ, කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියා ම බවයි. කෙසේ බැද්දත් කොබෙයියා රාජාලියෙක් නොවන බව ජනතාව තෙරුම් ගත යුතුයි. එම නිසා වැඩ කළ හැකි අයට බාර දී එම වැඩ කොටස සම්පූර්ණ කළ යුතුයි. අපි වැඩ කළ හැකි බව ඔප්පු කර තිබෙනවා. එසේ නොවුණා නම් වගා හානිවූ ඔබ වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි මුදල් ලබාදීමට අපට හැකි වන්නේ නැහැ. මාගේ අදහස් සමඟ එකඟ වන අය මෙන්ම එකඟ නොවන අය ද සිටිය හැකියි. අද පවතින්නේ නිදහස් සමාජයක් බැවින් මා සිදු කළේ මගේ අදහස් ප්‍රකාශ කිරීමයි.

කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා-

කෙටි කාලයක දී ගොවි ජනතාවට වන්දි ලබාදීමට හැකිවුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට රුපියල් කෝටි 14ක් ලබාදෙනවා. පසුගිය වසර හතරට ගංවතුර, සුළි සුළං, කාලගුණික විපර්යාස වලට මුහුණ දුන්නා. ඒ නිසා අද කුඹුරු රක්ෂණය කිරීමේ කිරීමේ වගකීම අපි ඉටු කළා.

2015 වනතුරු වගාහානි වූ කුඹුරු අක්කරයක් සඳහා ගෙව්වේ රුපියල් 10000යි. මෙම වසර හතර තුළ එම මුදල රුපියල් 40000ක් බවට පත්කිරීමට අපිට හැකිවුණා. ගොවි ජනතාවට පොහොර සහනාධාරය ලබාදීමට අපි රුපියල් ලක්ෂ 35000ක් ගෙවා තිබෙනවා.

මේ වගේ සහනයක් කිසිදු රජයකින් ලබා දී නෑ. යල කන්නයේ සහතික මිල රුපියල් 5කින් වැඩකරන්න අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව එම සහනය නොබෝ දිනකින් ඔබට ලැබේවි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා ඇතුළු දේශපාලනඥන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-

කුරුණෑගල කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත් ආසන්න නෑකමක් තිබෙන ප්‍රදේශයක්. කුරුණෑගල පොලිස් ස්ථානය, මහජන බැංකුව පිහිටා තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතලේ පෞද්ගලික ඉඩම්වලයි. අගමැතිතුමාගේ දැක්මක් මත ආරම්භ කළ පළමු සුහුරු ජාතික පාසල ඉදිකළෙත් කුරුණෑගල දිස්ත්‍රික්කයේයි.

අපි ඉදිරියේදී කොළඹට ජාතික පාසල් 6ක්, මීරිගමට ජාතික පාසලක්, වාරියපොළ ප්‍රදේශයට ජාතික පාසලක් හදනවා. සෑම පාසලකටම ගුරුවරුන් සහ ගොඩනැගිලි ලබාදී තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයට නව අධිවේගී මාර්ගයක් ලබාදෙනවා. රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙනයෑමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පරිනත නායකයා කටයුතු කරනවා.

සිවිල් ගුවන් හා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා-

ලංකාවේ ලක්ෂ හතරකට ආසන්න ගොවීන්ට වන්දි ලබාදීමට ක්‍රියාත්මක වූ පී. හැරිසන් මහතාට විශේෂ ස්තූතිය පුද කරනවා. රජයක වගකීම ජනතාව නඟාසිටවීමයි. එය හොදින වටහාගත් එක්සත් ජාතික පක්ෂය ජනතාවගේ යහපත වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කළා.

යටිතල පහසුකම් දියුණු කිරීම, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍යය, ප්‍රවාහන පහසුකම් ජනතාවට ලබාදුන්නා. ගොවි ජනතාවට වගා හානීවූවන්ට වන්දි ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් මගින් පමණයි.

2015 ආණ්ඩුව භාරගත් දින සිට සෘජුව සහ වක්‍රව පවුල් 540,000කට ප්‍රතිලාභ ලබාදීමට අපට හැකිවුණා. රජයේ සේවකයන්ට පඩි වැඩිකළා. ඒ මගින් විශාල මුදලක් රාජ්‍ය සේවකයන්ට ලැබුණා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විශමතා ඉවත් කළා. එවැනි ජනතාවාදී වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළා.

අසේල ලියනගේ, එම් මහරුෆ් 
කුරුණෑගල දකුණු සමූහ

ඡායාරූප - හිරන්ත ගුණතිලක


නව අදහස දක්වන්න