ටිකිරා ඇතින්න ඇසළ පෙරහරේ යාම ගැන සමාජ මාධ්‍යවලින් කරන්නේ බොරු චෝදනා | දිනමිණ

ටිකිරා ඇතින්න ඇසළ පෙරහරේ යාම ගැන සමාජ මාධ්‍යවලින් කරන්නේ බොරු චෝදනා

අසේල කුරුළුවංශ

ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍යය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බව එම ඇතින්නගේ හිමිකරු වන එල්.එල්. තිලකරත්න මහතා පවසයි.

මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පෙරහරේ ගමන් කළ ටිකිරා ඇතින්න ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06ක පමණ කාලයක් පීඩා විඳී බවත් ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් වූ බවත් ඒ මහතා කීය.

රෝගය සුව වීමෙන් පසු රන්දෝලි පෙරහර එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට විෂ්ණු දෙවියන්ට භාරයක් වූ බවත් එම භාරය ඔප්පු කිරීමට මෙලෙස ඇතින්න පෙරහරට එක් කළ බවත් තිලකරත්න මහතා කීය.

ඇතින්නට ප්‍රතිකාර කළ වෛද්‍යවරු සතා දිනකට කිලෝ මීටර දෙකක පමණ දුරක් ඇවිද්දවන ලෙස දැනුම් දී තිබෙන බවත් කරුණු නොදැන සමාජ මාධ්‍යය මගින් වැරදි ප්‍රචාර ගෙන යෑම පිළිකුළෙන් යුතුව හෙළ දකින බවත් හෙතෙම කීය.

මේ සතා තිලකරත්න මහතා විසින් පෙරහරට සම්බන්ධ කරනු ලැබුවේ කිසිදු මුදලක් අය නොකර බවත් එතුමා තම ඇතින්නගේ ජීවිතය බේරා දෙන ලෙස දෙවියන්ගෙන් කළ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට අවස්ථාව විෂ්ණු දේවාලය මගින් ලබාදී තිබෙන බවත් හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා කීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ඇතෙකු, අලියෙකු හෝ ඇතින්නක සම්බන්ධ කරන්නේ පශු වෛද්‍යවරුන් සතා පරීක්ෂාවට ලක්කර උගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්වුවහොත් පමණක් බවත් මේ ඇතින්න පෙරහරේ ගමන් කළේද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව බවත් ඒ මහතා කීය.

මේ ඇතින්න සිවුවන රන්දෝලි පෙරහරට සම්බන්ධ කර නොගන්නා බව මහනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහේන් රත්වත්තේ මහතා තමන්ට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කීය.

ඡායාරූප-රුවන් මීගම්මන


නව අදහස දක්වන්න