තව වසර පහකින් ශ්‍රීලනිපය රටේ ප්‍රධාන පක්ෂය බවට පත් කරනවා | දිනමිණ

තව වසර පහකින් ශ්‍රීලනිපය රටේ ප්‍රධාන පක්ෂය බවට පත් කරනවා

මිහිර විජේසේකර
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කලා හා සංස්කෘතික කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ප්‍රින්ස්ලි වික්‍රමනායක මහතාට අදාළ පත්වීමේ ලිපිය මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රදානය කළ අයුරු.

තව අවුරුදු පහකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රටේ පළමු වන පක්ෂය බවට පත් කරනවා. යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

මහ ලේකම්වරයා මේ බව පැවැසුවේ මාරවිල හත්තිනියේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සම්මේලනය අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ ලේකම්වරයා මෙසේ ද පැවැසීය.

මට අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙන් ඇත්තේ විශාල කළකිරීමක්. ඒකට හේතුව ප්‍රධාන පක්ෂ දෙකේම අද නායකයන් නොමැතිවීමයි. අද එකම පක්ෂයකවත් නායකයන් නෑ. නායකයන් හයර් කරන්න වෙලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද කළේ. ඇත්තටම චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට නායකත්වය දුන්නා. ඒ මහත්මිය වර්තමානයේ මොන ප්‍රකාශ දැන් කළත් අපි ඇයට ගරු කළ යුතුයි. නමුත් 2005න් පසු 2015 වනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකම නායකයකුවත් හැදුවේ නෑ. මේවා කීවාම අපිට අනිත් පැත්තට බනියි. නමුත් ඇත්ත කතාව ඒකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකයන් හැදුවාද? ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාට සිද්ධ වුණේ අනිත් පැත්තට යන්න.

අද පොදු ජන පෙරමුණ පක්ෂයටත් සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලනය නොකළ වෙනත් නායකයෙක් ගේන්න. අද තත්ත්වය හරිද වැරැදිද කියලා ඔබම කියන්න. අපි හදන්නේ මේ දේශපාලනයේ යථාර්ථය තේරුම් කර දෙන්න. මොකද මේ ටික තේරුම් ගන්නේ නැතිව අපේ රටේ දේශපාලනය කර වැඩක් නෑ. ආසනය ඇතුළේ තමන් නායකයන් හදන්නේ නැත්නම්, ඉන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිව ගහලා එළවනවා නම්, ආසනය ඇතුළේ මිනිස්සු හදන්නේ නැත්නම් පක්ෂය හදන්නේ කොහොමද? මෙන්න මේක තමයි මේ පක්ෂ දෙකටම වුණේ. ඒ නිසා වෙන නායකයන් හොයාගෙන යන්න වෙලා. පොදු ජන පෙරමුණ පක්ෂය මහින්ද රජපක්ෂ මහතා නම් කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙළ ගැසී ඉන්නවා.

මේ පක්ෂවල පරිනත දේශපාලන නායකයන් ඉන්නවා. ඒ සෑම කෙනකුටම සිද්ධ වෙලා තිබෙනවා මහින්ද මහතා නම් කරන කෙනා එක්ක වැඩ කරන්න. ශ්‍රී ලංකාකාරයන් විදියට අපිට පොඩි කාලයක් දුක් විදින්න වෙයි. අවුරුදු 05ක් ඕන නම් විපක්ෂයට වෙලා ඉමු. තවත් අවුරුදු 05කින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ පළමු වන පක්ෂය බවට පත් කරන බව කියන්න කැමතියි. ඒක කරන්න පුළුවන්.

දේශපාලන ක්‍රමය ගැන අපිට තිබෙන්නේ විශාල කනගාටුවක්. තමන්ගේ පුද්ගල බඩගෝස්තරවාදයට ඊළඟ මහා මැතිවරණය දිනන්නේ කොහොමද කියලා හිතලා පක්ෂය පාවා දුන්න අය තමයි දැන් ඉන්නේ. පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වන්නේ ගෞරවයක් ඇතිව පමණයි. එසේ නැතිව පක්ෂය පාගා විනාශ කරන අයත් එක්ක එකතු වෙන්න කිසිම අවශ්‍යතාවක් නැති බව වේදනාවෙන් කියන්න කැමතියි.

අපිට පොදු අපේක්ෂකයෙක් ඕනේ නෑ.ජාතික නායකයකුට රට හදන ඉදිරි අවුරුදු 50ක වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අන්න ඒ වැඩපිළිවෙළට අපි එකඟ වෙමු. ඊට පසුව අපිට පුළුවන් වැඩ කරන හැටි තීරණය කරන්න. එහෙම කරන්නේ නැතිව අවුරුදු 05ට 10ට ආණ්ඩු හදාගෙන කරන්නේ මොකක්ද? මේ වන විට දේශපාලනඥයන් අවුරුදු 70ක් රට කාලා විනාශ කර තියෙන්නේ. අපිත් ඒකේ කොටස්කාරයන් වෙලා ඉවරයි. ජනතාව අපිටත් අද බනිනවා. ඒ නිසා ඉදිරියේ දී ජයග්‍රහණය ගරන්න නම් මෛත්‍රීපාල මහතා සහ මහින්ද මහතා එකට එකතු වෙන්න ඕනේ. ඒ දෙන්න කතා කර තීරණයක් ගන්න ඕනේ මේ ගමන කොහොමද යන්නේ කියලා. එහෙම නැතිව මේ වටේ ඉන්න එක එක හාදයන් එක්ක කතා කරලා වැඩක් නෑ. මොකද ඒ අය කල්පනා කරන්නේ තමුන් කොහොමද ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට යන්නේ කියන එක විතරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඒකක කිහිපයකට සම්බන්ධීකරණ ලේකම්වරුන් පත් කිරීම ද මෙහි දී සිදු විය.


නව අදහස දක්වන්න