ශ්‍රීලනිපය දිය කරන්න පොහොට්ටුවට බෑ | දිනමිණ

ශ්‍රීලනිපය දිය කරන්න පොහොට්ටුවට බෑ

ඉදිරි සති දෙක තුන ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් මස 02 වැනි දා වන විට මේ සාකච්ජා සාර්ථක වී පුළුල් සන්ධානය බිහි කර ගත හැකි වෙතැයි විශ්වාස කරන බවත්, මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවැසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝංගොල්ලෑව ගම්මානයේ එක්සත් සුබසාධක සමිතියට පුටු සහ ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මේ භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. ඉදිරි මැතිවරණයේ දී පත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පොහොට්ටුවට හෝ එක්සත් ජාතික පක්ෂයට අපි නැතිව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ. පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී කොට්ඨාස මට්ටමින් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා අපේක්ෂකයා දිනුම්. නමුත් ජනාධිපතිවරණයේ එසේ නොවෙයි. සමස්ත ඡන්දවලින් 50%ට වඩා ඡන්ද ප්‍රමාණයක් තනි පුද්ගලයෙක් ගත යුතුයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ දැන් සාකච්ජා පවත්වාගෙන යනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ සාකච්ජාවල තවම අවසන් තීන්දුවක් නෑ. අවසන් තීන්දුව ලැබුණාට පසුව තීරණය කරනවා,පක්ෂයක් ලෙස අපි එකතු වෙනවාද කියලා. හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ. පසුගිය වතාවේ මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම භාර දෙන විට මම ඇමැතිකම භාර නොගෙන හිටියේ ඇමැතිකම භාර ගන්න කලින් අපිට තිබුණා ගනුදෙනු කිහිපයක් බේරා ගන්න. මම ඇමැතිකම ගෙන මගේ වැඩේ බේරා ගත්තාට හරියන්නේ නෑ. අපේ ආසන සංවිධායකවරුන්, ප්‍රාදේශීය සභා-පළාත් සභා-පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයන් කියන මේ සියලු දෙනාගේ අනන්‍යතාව ආරක්ෂා වෙන්නේ නැතිව අපිට පුළුවන්කමක් නෑ මේ වැඩේ ගොඩින් බේරා ගන්න.

ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කළකිරෙන්න, බය වෙන්න කිසිම වුවමනාවක් නෑ. හැබැයි ගමේ ඉන්න පාක්ෂිකයන් දැන්ම තීන්දු තීරණ ගන්න වුවමනාවක් නෑ. පක්ෂයක් ලෙස ඉහළින් පාක්ෂිකයා ආරක්ෂා කරන ක්‍රමවේදයෙන් පසු අපි පාක්ෂිකයන් දැනුවත් කරනවා. පසුව පාක්ෂිකයන්ට තීන්දුවක් ගත හැකියි.

මේ අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කැබිතිගොල්ලෑව සමූහ


නව අදහස දක්වන්න