රටපුරා රෝහල්වලට නවීන ගිලන්රථ 100ක්: පස්වැනි අදියර ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන් | දිනමිණ


 

රටපුරා රෝහල්වලට නවීන ගිලන්රථ 100ක්: පස්වැනි අදියර ඇමැති රාජිතගේ ප්‍රධානත්වයෙන්

සන්ධ්‍යා කරුණාරත්න

රෝහල්වලට අවශ්‍ය නවීන ගිලන්රථ 100 ක් රට පුරා රෝහල්වලට බෙදා දීමේ වැඩසටහනෙහි පස්වැනි අදියර යටතේ තවත් නවීන ගිලන්රථ 20 ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතින් සිදු කෙරිණ.

කෑගල්ල, මහනුවර ශික්ෂණ රෝහල් සඳහා ද, කන්තලේ, කින්නියා, කාත්තන්කුඩි, තෙල්ලිපලායි, මුලතිව්, චාවකච්චේරි, පදවිය, කැකිරාව, ගල්ගමුව, කලවාන, කරවනැල්ල, උඩුගම, දෙණියාය මූලික රෝහල් සඳහා ද, බදුල්ල, මාතලේ දිස්ත්‍රික් රෝහල් සහ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත මෙම ගිලන් රථ සංකේතාත්මකව බෙදා දීම සිදුකෙරිණ.

මෙම ප්‍රදානය සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදි පසුගියදා (09) සිදුකෙරිණ.

මෙතෙක් කල් ජපන් වෑන් රථ වලට උපකරණ සවිකිරීමෙන් නිර්මාණය කළ ගිලන් රථ වෙනුවට උසස් තත්ත්වයේ යුරෝපයෙන් ආනයනික ගිලන් රථ මෙරට සෞඛ්‍ය සේවාවට එක් කිරීමට තමාගේ ධුර කාලයේදී හැකි වූ බවත් ජපන් වාහන ලංසුවට එම වෑන් රථ මිල දී ගත්තේ නම් එම මිලට තවත් නවතම ෆෝඩ් ගිලන් රථ 22 ක් මිලට ගැනීමට හැකියාව තිබූ බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම මිලදී ගැනීම් සඳහා ඔස්ට්‍රියානු සමාගමෙන් ලබා ගත් ණය මුදලට කිසිදු පොලියක් අය නොකරන්නේ යැයි ද ඇමැතිවරයා කීය.

නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජනතාව වෙත සමීප කිරීමේ අරමුණෙන් සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් මෙම ප්‍රදානය කිරීම් සිදු කරන බව ඇමැතිවරයා පැවැසුවේය.

මේ වසරේදි පමණක් ගිලන් රථ 350 ක් රෝහල් පද්ධතිය වෙත ලබාදී තිබෙන අතර රේඛීය අමාත්‍යාංශය යටතේ වන රෝහල් 111 ක් වෙත සහ පළාත් රෝහල් 233 ක් වෙත මෙම ගිලන් රථ ලබාදීම සිදු කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වසර 2016 දී රුපියල් මිලියන 5000 ක්, 2017 වසරේ දී රුපියල් මිලියන 3000 ක් පළාත් සෞඛ්‍ය සේවා සංවර්ධන කටයුතුවලට වෙන් කර ඇති අතර දිස්ත්‍රික් මට්ටමේ රෝහල්වලට, ප්‍රධාන රෝහල්වලට දෙගුණයකටත් වඩා භෞතික සම්පත් ලබාදීමට කටයුතු කර ඇති බවත් පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් සමඟ සෑම සිකුරාදාවකම සිදු කරන සාකච්ඡාවලදී ඔවුන්ගේ අඩුපාඩු ද සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා පිරවීමට ප්‍රතිපාදන වෙන් කිරිමට පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවැසීය. මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, ප්‍රවාහන අධ්‍යක්ෂ මනෝජ් කරුණාරත්න මහත්ම මහත්මීහු ද, ඔස්ට්‍රියානු සමාග‍මේ මෙරට සහ එරට නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද,සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න