සාධාරණ සමාජයකට සටන් වැදි එන්.එම්. පෙරේරා සමරමු | දිනමිණ


 

සාධාරණ සමාජයකට සටන් වැදි එන්.එම්. පෙරේරා සමරමු

අගෝස්තු 14 වන දිනට එන්.එම්.අපගෙන් සමුගෙන වසර 40ක් පිරේ. ඔහුගේ දේශපාලනය හා ඔහුගේ චරිතය පිළිබඳ සාකච්ඡා කිරීම එදාටත් වඩා අද වැදගත් වේ. ඔහු 1936 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයෙකු වශයෙන්ද, 1947 සිට 1977 දක්වා පුරා වසර 30ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද, දෙවරක් එනම් 1964 ජුනි මස සිට වසරක පමණ කාලයක් දක්වාත් 1970 සිට 1975 දක්වාත් මුදල් ඇමතිවරයෙකු වශයෙන්ද ක්‍රියා කර ඇත. ඔහුගේ මුලු දේශපාලන කාලය තුළම නිරන්තරයෙන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සාධාරණ සමාජයක් සඳහා සටන් කළ අයෙකු විය.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් මූලික අයිතීන් වන ජීවත්වීමේ අයිතිය,භාෂණයේ අයිතිය, රැස්වීමේ අයිතිය, සමාජමය අයිතිය, තම ආගම හෝ තම විශ්වාසය ඇදහීමේ අයිතිය, තම සංස්කෘතිය භුක්ති විඳීමේ අයිතිය, නිත්‍යානුකූලව වෘත්තියක, කර්මාන්තයක හෝ ව්‍යවසායකත්වයක නිරත වීමේ අයිතිය, අභිමත ස්ථානයක ජීවත් වීමේ අයිතිය, තම රටට පෙරළා පැමිණීමේ අයිතිය, අත්ත‍නෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් නිදහස මෙන්ම නීතිය පසඳලීම හා ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුතුය යන අදහස, වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය යන හේතු මත වෙනස්කමකට භාජනය නොවීමේ නිදහස, සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, වද හිංසාවලින් නිදහස වෙනුවෙන් එන්.එම්.සටන් කළ අතර ඊට අමතරව පුළුල් ලෙස “ආර්ථික නිදහස” සඳහා ඔහු සටන් කළේ ය.

ඔහු ජාතික රාජ්‍ය සභාවේ මෙන්ම පාර්ලිමේන්තුවේදී ද හඬ නගා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සම්පූර්ණවීමට නම් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට හිමිව තිබිය යුතුය යන්නය.

ඔහු ජනතාවට ඇති මූලික අයිතිවාසිකම් අධ්‍යාපනයට ඇති අයිතිය, සෞඛ්‍යයට ඇති අයිතිය, ආහාර, ජලය, ඉඩම් හා සමාජ ආරක්ෂාවට ඇති අයිතිය, පරිසරය ආරක්ෂා කිරීමට ඇති අයිතිය, රැකියාවක ඇති අයිතිය, වෘත්තිය සමිති අයිතිය, තොරතුරු දැනගැනීමේ අයිතිය, යුක්තිය සඳහා අයිතිය,ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, පාරිභෝගික අයිතිවාසිකම්, තිරසර සංවර්ධනයට ඇති අයිතිය, ළමයින්ගේ හා තරුණයින්ගේ අයිතිවාසිකම්, ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පමණක් නොව සත්ත්ව අයිතිවාසිකම් සඳහාද ඔහු සටන් කළේ ය.

රාජ්‍ය සභාවේ හා පාර්ලිමේන්තුවේද, ඔහු වසර 42ක් පමණ කාලයක් නොකඩවා නියෝජිතයකු වශයෙන් ක්‍රියා කිරීමේදී මෙම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කර ඇති බව රාජ්‍ය සභාවේ හා පාර්ලිමේන්තු වාර්තා කියවීමේදී පෙනී යයි.

ඔහු මෙම කරුණු සිය දේශනවලදී මතු කළා පමණක් නොව ඔහු ක්‍රියාවෙන්ම ඔහුට ලැබුණු සෑම අවස්ථාවකදීම මෙම අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ක්‍රියා කර ඇත. අද මෙම අයිතිවාසිකම් පිළිබඳ කථා කිරීම විලාසිතාවක් වී ඇති නමුත් ඔහු මෙම අදහස් ඉදිරිපත් කළ අවධියේදී ඒවා විප්ලවීය අදහස් විය. මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ගිය සටන ඉතා දුෂ්කර සටනක් විය.

ඔහු මානව හිමිකම්වලට අයත් ප්‍රධාන සාධකයක් වන සමානාත්මතාවය පිළිබඳව සටන් කිරීමේදී පුද්ගලිකව දේශපාලන පසුබෑම්වලටද ලක්වීමට සිදුවිය. එහෙත් අවස්ථාවාදීව මෙම සටන්වලින් ඉවත් වූයේ නැත.

1956 දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව විය යුතුය යන ව්‍යාපාරයට විරුද්ධව ඔහු නැගී සිටියේ ය. පාර්ලිමේන්තුව තුළ ඔහු සිංහල හා දෙමළ භාෂාවන්වලට සමතැන දිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය. 1956 දී සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව විය යුතු බවට වූ පාර්ලිමේන්තු පණතේදී ඔහු පාර්ලිමේන්තුවේ ඊට විරුද්ධව අදහස් දැක්වීය. වතුකරයේ ජීවත් වූ ඉන්දියානු සම්භවයක් ඇති ජනතාවගේ පුරවැසි භාවය අහෝසි කිරීම සඳහා ගෙන ආ පණතට ඔහු දැඩිසේ විරුද්ධ විය. ෆෙඩරල් පක්ෂය දේශපාලන පක්ෂයක් ලෙස බිහිවූයේ මෙම පණත සම්මත කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය.

ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභා කාලයේදී දේශපාලන සිරකරුවෙකු වශයෙන් සිරදඬුවම් විඳිමින් සිටි කාලයේදී සිරගෙදරද “ලංකාවට නිදහස් අධ්‍යාපනය අවශ්‍ය ඇයි” යන මාතෘකාව යටතේ පොතක් ලියුවේ ය. නිදහස් අධ්‍යාපනය සඳහා සටනේ ආරම්භය මෙය විය.

ගොවියා ඉඩමට බැඳ තබන වැඩවසම් ක්‍රමයට ඔහු විරුද්ධව සටන් කළේය. 1957 දී ෆිලිප් ගුණවර්ධන ඉදිරිපත් කළ කුඹුරු ඉඩම් පිළිබඳ කුඹුරු පනත රට තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ ඇති කිරීමේ මුල් පියවර විය. එම පනතට විරුද්ධ පක්ෂයේ සිට එන් එම් සහයෝගය දැක්වීය. පසු කලෙක ඔහු මුදල් අමාත්‍යධුරය දැරූ 1970 සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුවේ පුද්ගලික ඉඩම් අයිතිය අක්කර 50කට සීමා කිරීමේ පනතට ද, පසුව වතුකරය රජයට පවරා ගැනීමේ පනත ද සම්මත කරගැනීම සඳහා ඉදිරියෙන්ම ක්‍රියා කළේය. මෙම පනත් එන්.එම්. හා එවැනි ප්‍රගතිශීලී අදහස් දැරූ මැති ඇමැතිවරුන්ගේ බල කිරීම මත ඉදිරිපත් වූ වැදගත්ම ඉඩම් ප්‍රතිසංස්කරණ පනත් විය.

එමෙන්ම එම ආණ්ඩු කාලයේදී නිවාස ඇමැති ධුරය දැරූ පීටර් කෙනමන් විසින් ඉදිරිපත් කරන ලද නිවාස අයිතිවාසිකම පුද්ගලයෙකුට නිවාස 2කට පමණක් සීමා කිරීමේ නිවාස උපරිමය පිළිබඳව පනත වෙනුවෙන් ඔහු පෙනී සිටියේ ය.

ඔහු සමාජයේ ඇති නැති පරතරය අඩු කිරීම ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කාර්ය භාරයක් ලෙස සැලකීය. ඔහු මුදල් ඇමැති ධුරය දැරූ කාලයේදී ඔහු ඉදිරිපත් කළ සෑම අය වැය යෝජනාවලියකදීම හා බදු ක්‍රමය පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ඒවායේ අරමුණ වූයේ ඇති නැති පරතරය පටු කිරීමය. අවසාන වශයෙන් ඔහු ඉදිරිපත් කළ 1975 වර්ෂය සඳහා අය වැයේදී සෑම ධනවත් පුද්ගලයෙකුටම බලපාන ආකාරයට තම ධනය මත වසරකට 25% ක ප්‍රාග්ධන බද්දක් පැනවීය. එම බද්ද පැනවීම නිසා හටගත් ධනපති පන්තියේ විරෝධය මත ඔහුව ඇමති ධු‍රයෙන්ද ඉවත් කෙරිණ. රටක ආර්ථිකය ගොඩනැගිය හැක්කේද, රටක ස්වෛරීභාවය ආරක්ෂා කළ හැක්කේද රටක මානව හා භෞතික සම්පත් ක්‍රමවත්ව සංවර්ධනය කිරීම යනු ඔහුගේ දැඩි මතය විය. එහෙයින් රටේ ආර්ථිකය හැසිරවීම සඳහා රජය මැදිහත් විය යුතුය යන්න ඔහුගේ ප්‍රතිපත්තිය විය. රට තුළ එවැනි දියුණුවක් ඇති කිරීම සඳහා ජනතාව පරිත්‍යාගශීලී විය යුතු බවත් ජනතාව ඍජුවම එම ක්‍රියාවලියට සහභාගිවිය යුතු බව ඔහු දැඩිවම දැරූ මතය විය.

විදේශීය ආධාර මත හෝ විදේශීය ආයෝජන මත යැපෙමින් රටක් ගොඩනැගිය නොහැකි බවත් විදේශීය ආධාර මත විශ්වාසය තැබිය නොහැකි බවත් ඔහුගේ මතය විය. ඔහු මුදල් ඇමති ධුරය දැරූ අවධියේදී ලෝක බැංකුව හා ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ඔහු ගැටුනේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් කලක් ලෝක බැංකු ආධාර අපට අහිමි කළේය. එහෙත් ඔහු ලෝක බැංකුවේ කොන්දේසි පිළිගැනීම ප්‍රතික්ෂේප කළේ ය. ඔහු ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම් වලදී ඔවුන්ගේ ප්‍රතිපත්ති තදින් විවේචනයට ලක් කළේය. ඔහු ගෙන ගිය සටන අප රට වෙනුවෙන් පමණක් නොව මුලු තුන් වන ලෝකයේ දියුණුවෙමින් පැවති රටවල් වෙනුවෙන් විය. එවකට ලෝක බැංකුවේ උසස් තනතුරක් දැරූ පසු කලෙක ඉන්දියාවේ මුදල් ඇමැති ධුරයද අගමැති ධුරයද දැරූ ලෝකය පිළිගත් අර්ථ ශාස්ත්‍රය පිළිබඳ විශේෂඥයෙකු වූ මන්මෝහන් සිං වරක් ප්‍රකාශ කළේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ එන්.එම්. ගෙන ගිය සටන ඉතා වැදගත් සටනක් වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලට එන්.එම්. යටත් නොවීම තුළින් තුන් වන ලෝකයේ රටවල් වලට මහත් ගෞරවයක් හිමි වූ බවය.

1975 දී එන්.එම්.මුදල් ඇමැති ධුරයෙන් ඉවත් කිරීම හා 1977 මහමැතිවරණයේදී ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව ජයග්‍රහණය කිරීම එන්.එම්. ගේ සමාජ සාධාරණත්වය මත පදනම් වූ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ ප්‍රයත්නය පරාජය කිරීමක් විය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල මැදහත්වීමෙන් නව ලිබරල් ආර්ථිකයක් ගොඩනැගීමේ ආරම්භය ද විය.

එහි ප්‍රතිඵලය අප 1977 සිට අද දක්වා බුක්ති විඳ ඇත. අද අප රට පත් වී ඇති ඛේදජනක තත්ත්වය එහි ප්‍රතිඵලයකි. එහෙයින් ප්‍රමාද වී හෝ අප රට ‍ගොඩනැගීමට නම් අවශ්‍යතාව වී ඇත්තේ එන්.එම්. දැක් වූ අන්දමට නව ලිබරල්වාදයෙන් මිදී රටේ සම්පත් මත පදනම් වූ සංවර්ධනයක් තුළින් ශක්තිමත් ස්වාධීන ආර්ථිකයක් ගොඩනැගීමය. රටේ ස්වාධීනත්වය ද ආරක්ෂා කළ හැක්කේ එවැනි ක්‍රියාවලියක් තුළිනි. එන්.එම්. අදටත් අදාළ වන්නේ ඒ නිසාය. අද රටේ පැවැත්වෙන සියලුම වැදගත් සම්මන්ත්‍රණ හා සාකච්ඡාවලදී එන්.එම්.ගැන කියවෙන්නේ ඒ නිසාය.

දැනට ජනතාව දිනාගෙන ඇති සෑම අයිතිවාසිකමක්ම එන්.එම්. වැනි වමේ නායකයින්ගේ මැදිහත්වීමෙන් දිනාගත් අයිතින් වේ. 1953 අගෝස්තු 12 වන දින ඓතිහාසික හර්තාල් සටන රාජ්‍ය බලයට ජනතා බලය යට කළ නොහැකි බව ප්‍රදර්ශනය කළ සටනක් විය. එම සටනට නායකත්වය දුන්නේ ද එන්.එම්. ය.

එන්.එම්. ගේ දක්ෂතාවයන් හා දැනීම දේශපාලනයට පමණක් සීමා නොවීය. ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය. ආනන්ද විදුහලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ඔහු පසු කලෙක එංගලන්තයෙන් ආචාර්ය උපාධිය ලබා දිවයිනට පැමිණීමෙන් පසුව එන්.සී.සී. කණ්ඩායමට ක්‍රීඩා කරමින් දක්ෂතාවයන් දැක්වීය. 1977 දී ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් පත් වූ ඔහු ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලබාගැනීමේ කාර්යයට ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 1981 දී ටෙස්ට් වරම් ලබා ගැනීමට අවස්ථාව ලැබිණ. එයට පදනම තැබුයේ එන්.එම්. ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වශයෙන් ක්‍රියා කිරීමේදී තැබූ පදනමේ හේතුවෙන් බව කවුරුත් පිළිගනී.

අධිනීතිඥ ලාල් විජේනායක 
ප්‍රධාන ලේකම් 
එක්සත් වාමාංශික පෙරමුණ

නව අදහස දක්වන්න