2020 අපේක්ෂාව | දිනමිණ


 

2020 අපේක්ෂාව

රටකට අවශ්‍ය වන්නේ ලෝකයා හඹා යන විද්‍යාත්මක දැනුමේ වැදගත්කම තම ජනතාවට ඉස්මතු කර පෙන්විය හැකි නායකත්වයකි. මීළඟ පාලකයා මතවාද අතින්, දැනුම අතින් සහ ලෝක දර්ශනය අතින් කුමන පසුබිමක සිටින්නකු විය යුතු ද? රටේ ජනතාව සමඟ කුමනාකාරයක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නකු විය යුතු ද? යන්න අප තීරණය කළ යුතු ය. එසේ ම පාලකයාට සුජාතකභාවයක් තිබීම අනිවාර්යය.

මේ දිනවල ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත්තේ ජනපති අපේක්ෂකයා ය. මෙකී මාතෘකාවේ දී රටට ඇවැසි වන්නේ කෙබඳු නායකයකු ද යන වග පළමුවෙන් ජනතාවත් දෙවැනුව දේශපාලන පක්ෂත් අවබෝධ කොට ගත යුතු ය. එහිදී මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු ව ඇත්තේ, වත්මනෙහි රටක් වශයෙන් අප මුහුණ පා සිටින සංකීර්ණ ගැටලු පිළිබඳ වන අතර ඒ සියල්ල නිරාකරණය කිරීම වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් දිය හැකි පුද්ගලයකු අපේ මීළඟ ජනපතිවරයා විය යුතු බව අවබෝධ කරගත හැකි තරමේ නුවණක් මහජනතාවට තිබිය යුතු ය.

දේශගුණික විපර්යාස

සමස්ත ලෝකයේ විවිධ රටවල ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස උද්ගත ව ඇති ගෝලීය සංසිද්ධියක් වන දේශගුණික විපර්යාසය වෙනුවෙන් කුඩා රටක් වන ශ්‍රී ලංකාව දක්වා ඇත්තේ අවම මට්ටමේ දායකත්වයක් වුව ද එයින් වැඩි වශයෙන් ම බලපෑම් ලබන රටවල් 10 අතරින් අප සිටිනුයේ 02 වැනි ස්ථානයේ ය. ආර්ථිකය ද අද වන විට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන්නේ ගෝලීය කරුණු මත ය. ඒ සඳහා බලපෑ හේතුව වන්නේ මෙරට ආර්ථිකය විවෘත ආර්ථිකයක් බවට පත් කළ පසු ගෝලීය සාධකවලට අනුකූලව ප්‍රතිව්‍යූහගත කිරීමක් සිදු වී තිබීම යි.

ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දෙමින් ඒ තුළින් සැලකිය යුතු ප්‍රගතියක් ලැබූ රටකි. ආර්ථිකයේ සිදු වූ පරිවර්තනයෙන් පසුව මෙරට කෘෂිකර්මාන්තය විශාල වශයෙන් දුර්වල වීමක් ද කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්කර ගනිමින් තිබු ප්‍රගතිය සම්පූර්ණයෙන් ම ආපස්සට හැරීමක් ද සිදු විය. ප්‍රාථමික කර්මාන්ත සියල්ල ඒ සමඟ බිඳවැටීමකට ලක් වූ බැවින් මේ වන විට අපේ ආර්ථිකය බොහෝ සෙයින් රඳා පවතින්නේ සේවා අංශය මත ය. ආර්ථිකයේ ප්‍රමාණවත් සංවර්ධනයක් සිදු නොවන බැවින් ජනතාවට විශාල ආර්ථික පීඩනයක් දැනෙමින් තිබේ. විශාල පිරිසක් ග්‍රාමීය ප්‍රදේශ අතැර නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වන්නේ ද රට හැර එතෙර රැකියා සොයා යන්නේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ වන විට මිලියන 1.6ක් පමණ විදෙස් සේවයේ නියුතු වෙමින් මෙරටට මුදල් එවන තත්ත්වයක් දැකිය හැකි අතර ඒ තුළින් ඇති වූ සමාජ, සංස්කෘතික, ආර්ථික බලපෑම ඉතාමත් ගැඹුරු ය.

රෝද තුනේ ආර්ථිකය

ගමෙන් නගරයට සංක්‍රමණය වන බොහෝ දෙනා තෝරාගන්නේ සේවා අංශයේ රැකියා ය. එසේ ම කොළඹ අවට සිදුවන ගොඩනැඟිලි ආදී ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු වන ග්‍රාමීය තරුණ තරුණියන් ද විශාල පිරිසකි. අද වන විට මෙරට මිලියන 1.4ක් පමණ ත්‍රීරෝද රථ තිබේ. මිලියන 8කට තරමක් වැඩි ශ්‍රම බළකායක් සිටින රටක මිලියන 1.4ක් පමණ ත්‍රීරෝද රථ ධාවනය කරන්නේ නම් ඊට වැඩි විකෘතිභාවයක් ආර්ථිකයක තිබිය නොහැක. ත්‍රීරෝද රථ ධාවනය කරන මිලියන 1.4ට විදෙස් රැකියාවල නියුතු මිලියන1.6ක එක්කළ විට මෙරට ශ්‍රම බළකායේ මිලියන 08න් මිලියන 03ක් ම නිෂ්පාදන කටයුතුවල නොයෙදෙන බව පැහැදිලි ය. ඊට අමතරව කොළඹ අවට සේවා අංශයේ රැකියාවල නියුතු පිරිස, ආරෝග්‍ය ශාලා, පාසල්,පෞද්ගලික ආයතන සහ රාජ්‍ය සේවයේ මිලියන 1.5ක පිරිස සිටිනුයේ ද නිෂ්පාදන කටයුතුවලින් බැහැර ව ය. මේ සා විශාල විකෘති සහගත තත්ත්වයකට මෙරට ආර්ථිකය පත් ව ඇත.

රටෙන් එළියට තල්ලු කිරීම

අද වන විට විශාල පිරිසක් රට හැරගොස් හමාර ය. එසේ ම මෙරට තුළ අනාගතයක් ගොඩනඟා ගැනීමට අකමැත්තක් දක්වන විශාල පිරිසක් ද ගොඩනැඟෙමින් පවතී. පවත්නා සමාජ පද්ධතිය ජනතාව රඳවාගන්නක් නොව එළියට තල්ලු කරන්නකි. ආර්ථික, සමාජ පීඩනය සේ ම පවතින අනාරක්ෂිතභාවය ඒ සඳහා ප්‍රධාන හේතු වී තිබේ. මෙරට තුළ සුබදායක අනාගතයක් පිළිබඳ ජනතාවට ඇත්තේ දැඩි අවිශ්වාසයකි. ගොඩනැඟී ඇති සමාජ අසමානතාව තුළ ආදායම් ව්‍යාප්තියේ පවත්නා දැඩි විසමතාව පමණක් නොව ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට ඇති අපහසුව ද අතිමහත් ය. සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව දැඩි පීඩනයක පසුවෙති. මෙම සමාජ පද්ධතිය ගොඩනැඟී ඇත්තේ ජනතාවට ප්‍රමාණවත් පරිදි රැකවරණය සලසන්නක් ලෙස නොවන බව පැහැදිලි ය. එසේ ම ගොඩනැඟී ඇති අසමගිය ද ඉතා දරුණු ය. උද්ගත වී ඇත්තේ දේශපාලනික වශයෙන්, ජනවාර්ගික වශයෙන් සහ ආගම් වශයෙන් බෙදී මිනිසුන් කුලල් කා ගන්නා තත්ත්වයකි. එකිනෙකා පිළිබඳ සැකසංකා පහළ කරගන්නා සහ එකිනෙකා අභිබවා යෑමට කටයුතු කරන තත්ත්වයකි. විශාල වශයෙන් සමාජ අනාරක්ෂිතභාවයක් ඇති කිරිමට මෙය ඉවහල් වී තිබීම අතිශය කනගාටුවට කරුණකි.්‍

ආගමික ගැටුම්

සංස්කෘතිය යනු මිනිසුන් එකට එක් කරන බලවේගයක් වුවත් අද වන විට මෙරට සංස්කෘතිය මිනිසුන් බෙදා වෙන්කරන්නක් බවට පත් වී ඇත. ආගමකින් සිදුවිය යුත්තේ මිනිස්සුන්ට යම් සැනසිල්ලක් අත්කර දීම වුවත් අද මෙරට තුළ අපි ආගම් පදනම් කරගෙන ද භයානක ගැටුම්වලට මුහුණ පාමින් සිටිමු. ඒ මත ගොඩනැඟුණු අවිශ්වාසය, තරගය සහ ගැටුම් මෙන් ම සංස්කෘතිය පිළිබඳ කාරණාවන් විශාල අර්බුදයන් නිර්මාණය කිරීමට සමත්ව ඇත. එසේ ම පවත්නා සංස්කෘතිය තුළින් මිනිසා තල්ලු කරමින් සිටින්නේ දැනුම අභිබවා යන මිථ්‍යා විශ්වාසවලට ය. එවන් සංස්කෘතියක් නිර්මාණය කරන්නා වූ අධ්‍යාපන ක්‍රමය ද දැකිය හැක්කේ, මූලික සංස්කෘතික හරයන් මිනිස්සුන්ට ලබාදීමට වැඩියෙන් මිනිසුන් බෙදා වෙන්කිරීමට සැකසුණු වැඩ පිළිවෙළක් ලෙස ය.

පළාත් සභාව ආක්‍රමණය කිරීම

දේශපාලනය වශයෙන් ද පවතින්නේ ඉතා ම සංකීර්ණ තත්ත්වයකි. පාලන තන්ත්‍රය තුළ පැවතිය යුතු ශ්‍රම විභජනය සම්පූර්ණයෙන් ම යටපත් කොට ඇති අතර පළාත් පාලන ආයතනවල වපසරිය, මධ්‍යම ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන් ම ආක්‍රමණය කොට ඇත. පළාත් සභා පිහිටුවා තිබුණ ද පළාත් සභාවලින් සිදුකළ යුතු සියලු දේ කීරීමට අවශ්‍ය ඉඩ සලසා දී නැත. මධ්‍යම ආණ්ඩුව විසින් එම වපසරිය ද ආක්‍රමණය කොට ඇත. බලය විමධ්‍යගත කොට ඇති අප වැනි රටක ඉතා ම අවම වපසරියක් ඇති ආණ්ඩුවක් මධ්‍යම ආණ්ඩුව වශයෙන් හඳුනාගත යුතු ය. සියලු දේ පළාත් පාලන ආයතනවලට සහ පළාත් සභාවලට බෙදා වෙන්කොට දී අවශ්‍ය ප්‍රතිපාදන ද සැලසිය යුතු ය. එය එසේ වන්නේ නම් මධ්‍යම ආණ්ඩුව විසින් සිදු කළ යුත්තේ සීමාසහිත කාර්යයකි. එය ම මෙරට පාලන තන්ත්‍රය තුළ ඇති ව්‍යාකූල තත්ත්වය යම්තාක් දුරට සමනය කිරීමට හේතුවක් වනු ඇත.

පරිසර දූෂණය

මෙරට තුළ පාරිසරික ගැටලු නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම හේතුවෙන් ද විශාල ගැටලු උද්ගත වී ඇත. ජලය, භූමිය, වාතාශ්‍රය, කැලෑ ප්‍රදේශ, මුහුදු සීමාව වැනි ස්වාභාවික සම්පත් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට අප අසමත් වී ඇත. ජලමූලාශ්‍ර , පස සහ වාතය දූෂණය වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි. මේ සියල්ල විද්‍යාත්මක පදනමක් මත ක්‍රමානුකූලව කළමනාකරණය කළ යුතු ය.

මෙරට ප්‍රවාහන පද්ධතිය නිසි අයුරින් කළමනාකරණය කිරීමට කිසිදු රජයක් සමත් නොවීම හේතුවෙන් මහමාර්ගවල යා නොහැකි තත්ත්වයට රථවාහන ගෙනැවිත් ගොඩගසා ඇත. මාර්ග අනතුරු, වායු දූෂණය, වියදම, කාලය නාස්තිවීම වැනි සියල්ල ඒ තුළින් ඇති වූ අහිතකර තත්ත්වයන් ය. මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව ද ආර්ථිකය හැසිරවීමට, මාර්ග පද්ධතිය මෙහෙයවීමට, සංස්කෘතිය සකස් කිරීමට, පාලන තන්ත්‍රය ප්‍රකෘතිමත් කිරීමට සහ පාරිසරික කළමනාකරණය නිසි ලෙස සිදු කිරීමට ආදී වශයෙන් සියල්ල දත් අයකු රටේ පාලකයා වශයෙන් පත් කරගැනීම අසීරු කර්තව්‍යයකි. නමුත් අවම වශයෙන් මේ කියන්නේ මොනවාද? යන්න හරි හැටි අවබෝධ කරගත හැකි පුද්ගලයකු මේ රටේ මීළඟ පාලකයා විය යුතු ය.

නූතන දැනුම කළමනාකරණය

ලෝකයේ වත්මන් ප්‍රවණතාව වන්නේ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන් රටවල නායකයන් බවට පත්කරගැනීම ය. මන්ද පවත්නා ගැටලු ඉතා සංකීර්ණ බැවින් ඒවා කළමනාකරණය කරගැනීම සඳහා අවම දැනුමක් හෝ ඇති පුද්ගලයකු රටේ නායකයා බවට පත්විය යුතු ය. අද වන විට මෙරට සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පවතී. සැලකිය යුතු පිරිසක් ද්වීතීයික අධ්‍යාපනය ලබමින් සිටිති. තවත් සැලකිය යුතු පිරිසක් රටරටවල ගොස් විවිධ ක්ෂේත්‍රවල විශේෂඥ දැනුමින් සන්නද්ධ ව පැමිණ සිටිති. මෙවැනි රටක වෙසෙන අපට නායකත්වය වෙනුවෙන් එවැනි පුද්ගලයන් සොයාගැනීමේ අපහසුතාවක් තිබිය නොහැකිය. නමුත් අවාසනාවකට මෙරට දේශපාලන පක්ෂ සකස් වී ඇත්තේ එවැනි පිරිස් ඒකරාශි කරගනිමින් පාලන තන්ත්‍රයට බද්ධ කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නොවේ. මේ සා විශාල ගැටලු සම්බන්ධයෙන් වුව ඉතාම පහළ මට්ටමෙන් කල්පනා කරන තත්ත්වයකට මෙරට දේශපාලන පක්ෂ පත්ව සිටීම කනගාටුවට කරුණකි.

අධ්‍යාපනය

ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාලන තන්ත්‍ර විවිධ ය. ඇතැම් රටවල දැකිය හැක්කේ දැනුම මත ගොඩනැගුණු නායකත්වයකි. එහිදී තීරණ ගැනීමේ අංශවල සිටින සියලුම දෙනා සුවිශේෂ ක්ෂේත්‍රවල දැනුම ලැබු පිරිසකි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මහජන ඡන්දයෙන් බලයට පත්වන සියල්ලන් මෙයාකාරයේ හසල දැනුමක් නොමැති පුද්ගලයන් විය හැකිය. එසේ නම් අවම වශයෙන් ඔවුන් මෙහෙයවීම සඳහා හෝ හසල දැනුමකින් යුතු පිරිසක් රටක සිටිය යුතු ය. ප්‍රතිපත්ති සැකසීම සහ ක්‍රියාත්මක කිරීම සිදු විය යුත්තේ බුද්ධිමතුන් අතිනි. ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් තුළ සිදු වන්නේ ජනප්‍රිය සටන් පාඨ සහ ප්‍රකාශ කරමින් සිදු කරන මවාපෑම තුළ ජනතාව මුලාකොට ජනතා මනාපයෙන් බලයට පත් පාලකයන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීම යි. මේ දෙයාකාරයෙන් ම පරිබාහිර වූ පාලන තන්ත්‍රයක් ලෙස ඒකාධිපති පාලන ක්‍රමය හඳුන්වා දිය හැක. එහිදී සිදු වන්නේ සම්පූර්ණ බලය පාවිච්චි කරමින් පාලකයා තමන්ට රිසි සේ කටයුතු කිරීම යි. කෙසේ වෙතත් අද වන විට බොහෝ රටවල ජනප්‍රිය ප්‍රජාතන්ත්‍රවාදය සහ ඒකාධිපති පාලනතන්ත්‍රය ප්‍රතික්ෂේප කරමින් අපේක්ෂා කරනුයේ දැනුම සහ කුසලතා මත මෙහෙය වන නායකත්වයකි. එයට හේතුව ආගමික, සමාජීය, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික වශයෙන් රටරටවල් මුහුණ පා සිටින කිසිදු සංකීර්ණ ගැටලුවක් දැනුම මෙහෙයවීමකින් තොරව නිරාකරණය කරගත නොහැකි වීම ය. මෙම සත්‍ය මෙරට ජනතාවට අවබෝධ කර දීමට නොහැකි වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය පසුගිය දශක කිහිපය තුළ ලක් ව ඇති දැඩි පරිහානිය හේතුවෙනි.

අධ්‍යාපනය යනු ලෝකයේ විවිධ සංසිද්ධීන් තේරුම් ගැනීම සහ ඒවාට මුහුණ දීමට අවශ්‍ය හැකියාවන් ප්‍රගුණ කරගැනීම සඳහා මෙහෙයවන්නක් විය යුතු ය. නමුත් මෙරට වත්මන් අධ්‍යාපනය පටු පරමාර්ථ සඳහා භාවිත කෙරෙන මෙවලමක් බවට පත්ව ඇත. සුදුසුකමක් ලබාගැනීමටත් ඒ සුදුසුකම මත තනතුරක් ලබාගැනීමටත් මෙරට වත්මන් අධ්‍යාපන ක්‍රමය ලඝුකොට ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බහුතරයකට තමන් සිටින්නේ කොතැන ද යන්න පිළිබඳ හෝ පැහැදිලි අවබෝධයක් නොමැති තත්ත්වයක් උදාවී ඇත.

රටකට අවශ්‍ය වන්නේ ලෝකයා හඹා යන විද්‍යාත්මක දැනුමේ වැදගත්කම තම ජනතාවට ඉස්මතු කර පෙන්විය හැකි නායකත්වයකි. මීළඟ පාලකයා මතවාද අතින්, දැනුම අතින් සහ ලෝක දර්ශනය අතින් කුමන පසුබිමක සිටින්නකු විය යුතු ද? රටේ ජනතාව සමඟ කුමනාකාරයක සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නකු විය යුතු ද? යන්න අප තීරණය කළ යුතු ය. එසේ ම පාලකයාට සුජාතකභාවයක් තිබීම අනිවාර්යය. එනම් මේ අපේ පාලකයා ය යනුවෙන් රටේ සියල්ලන් පිළිගන්නා, ගරුසැලකිලි දක්වන අයකු විය යුතු බවය.

ක්‍රමසම්පාදන වැඩපිළිවෙළ

රට වෙනුවෙන් සහ මහජනතාවගේ සුබසාධනය, අනාගතය වෙනුවෙන් කැපවීමෙන් මෙන් ම ආත්ම ලාභයෙන් තොරව යම් සේවාවක් කිරීමට ඉදිරිපත් වූ නායකයකු ලෙස පාලකයා පිළිබඳ මහජනතාව තුළ යහපත් ආකල්පයක් පැවතිය යුතු ය. එසේ හෙයින් සුජාතකභාවය අගය කරන නායකයකු කළ යුත්තේ තමා තුළ ඇති අඩුපාඩුකම් හඳුනාගමින් ඒවා අවම කරගැනීමට කටයුතු කිරීම ය. පාලකයා හැම විට ම උත්සුක විය යුත්තේ තම බලය බලහත්කාරයෙන් රඳවා ගැනීම සඳහා ගත හැකි පියවර ගැනීමට නොව, මහජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකරමින් මහජනතාවගේ ගෞරවාදරයට පාත්‍රවන ආකාරයට කටයුතු කිරීම මඟින් තම බලය රැකගැනීමට ය. එසේ ම පාලන තන්ත්‍රය මෙහෙයවීමේදී පවත්නා සංකීර්ණ ගැටලුවලට වඩාත් ප්‍රශස්ත ප්‍රතිකර්ම සොයාගත යුතු ය. රටේ සමස්ත සංවර්ධනය, මහජනතාවගේ අභිවෘද්ධිය, සුබසාධනය සහ සුරක්ෂිතභාවය පිළිබඳ පුළුල් සැලසුම්කරණ සිදු කළ යුත්තේ රටේ සිටින විවිධ ක්ෂේත්‍රවල හසල දැනුමක් ඇති පිරිස ඒකරාශී කරගෙන ය. 1977දී ක්‍රම සම්පාදන මණ්ඩලය අහෝසි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ආර්ථිකය, සමාජය සහ පරිසරය සම්පූර්ණයෙන් ම අයාලේ යෑමේ තත්ත්වයක් උද්ගත විය. අයාලේ ගිය රටක් නැවත යහමඟට ගැනීම සඳහා පැහැදිලි සැලසුම්කරණ ක්‍රියාවලියක අවශ්‍යතාව පැනනැඟී ඇත. මේ දක්වා පැමිණි ගමන් මඟ පැහැදිලි වෙනසකට ලක්කිරීමට නම් රටේ මීළඟ නායකයා ඒකාබද්ධ ක්‍රමසම්පාදන වැඩපිළිවෙළක් සඳහා සූදානම් අයකු විය යුතු ම ය.

රාජ්‍ය පාලනය

රාජ්‍ය පාලනය යනු ඉතා විශාල පිරිසගේ මැදිහත්වීමෙන් සිදු වන ක්‍රියාවලියකි. එහිදී අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, පළාත් සභා වැනි මහජන මුදලින් නඩත්තු කරන සියලු ම ආයතනවල ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමකට ගෙන ආ යුතු ය. එසේ කළ හැක්කේ පාලකයාගේ යාළු මිත්‍රයන් හෝ මැතිවරණ ව්‍යාපාරයට උදව් දුන් පුද්ගලයන් එම ආයතනවල නායකත්වයට පත් කිරීමෙන් නොව, අදාළ ක්ෂේත්‍රයට ගැලපෙන සහ ක්ෂේත්‍රයේ අනෙක් අයගේ පිළිගැනීමට ලක්වන සේ ම නිසි නායකත්වයක් දිය හැකි පුද්ගලයන් යටතට එම ආයතන පත් කිරීමෙනි.

රාජ්‍ය පාලනයට සවියක් වන අන්දමින් සම්පූර්ණ ආයතනික පරිසරය ම ප්‍රතිසංවිධානය කරගැනීමේ අවශ්‍යතාව හඳුනාගත යුතු ය. නායකයා හැම විට ම මේ ආකාරයෙන් තමන්ගේ පරිපාලන වටපිටාව ප්‍රශස්ත ලෙස සකසා ගැනීමට සමත් පුද්ගලයකු විය යුතු ය. එවන් පාලන ත්‍රන්ත්‍රයක් ඇතිකොට ජනතාව තුළ විශ්වාසයක් ඇති කළ හැකි පාලකයකුට මේ රට ඉදිරියට ගෙන යා හැකි ය. ඒ සඳහා රට තුළ ඇති සියලු ශක්තීන් සහ කුසලතාවන් ඇති පිරිස් පක්ෂ පාට භේදයකින් තොරව පාලන තන්ත්‍රයට සම්බන්ධ කරගත හැකිය. මේ සියල්ල සලකා බලන කල අපට අවැසි පාලකයා පිළිබඳ පැහැදිලි චිත්‍රයක් ජනතාව තුළ ඇඳෙනු ඇත. නිවැරදි ම පුද්ගලයා, පාලකයා ලෙස තෝරාගැනීමට නම් ජනතාව විශාල වෙහෙසක් දැරිය යුතු වනු ඇත. කෙසේ වෙතත් තමා වෙනුවෙන් සහ රට වෙනුවෙන් නිවැරදි ම තීරණය ගැනීමේ වරම ඇත්තේ ජනතාව අතේ ය.

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න