උදාර මහඇදුරු ගුණසමර හා ජීවිතාදර්ශ | දිනමිණ

උදාර මහඇදුරු ගුණසමර හා ජීවිතාදර්ශ

මහාචාර්ය පියදාස රණසිංහ

කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශයෙහි හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පියදාස රණසිංහ මහතාගේ අගෝ. 4 දිනට යෙදුණු තෙමස් පූර්ණ ගුණ සැමරුම නිමිත්තෙනි.

පියදාස රණසිංහ මහතා 1949 ඔක්තෝබර් 10 දින පුත්තලමේ දී උපත ලැබීය. ඒ මහතා පුත්තලම තබ්බෝව තම්බපන්නි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ද, දෙල්ගොඩ කල්‍යාණ ප්‍රදීප පිරිවෙණෙන් ද්විතීය අධ්‍යාපනය ලබාගෙන ඇත. 1967 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයට (වර්තමාන කැලණිය විශ්වවිද්‍යාලය) ඇතුළත්ව සිංහල විෂය පිළිබඳව ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධියත්, 1994 දී ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයෙන් පුස්තකාල හා විඥාපන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියත් ලබාගත්තේය. උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිංහල අධ්‍යයනාංශයෙහි තාවකාලික කථිකාචාර්ය ධුරය හොබවා ඉනික්බිතිව මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතාගේ ශාස්ත්‍රීය ඇසුර ලබමින් සිංහල ශබ්දකෝෂයේ සහකාර සංස්කාරක ධුරය දරමින් ශබ්දකෝෂකරණයට ඉමහත් සේවාවක් ඉටුකරන ලදී. 1979 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සහකාර පුස්තකාලයාධිපති තනතුරට පත්වීම ඒ මහතාගේ ශාස්ත්‍රීය ගමන්මඟ නව මාවතකට අවතීර්ණවීමට හේතු විය.

සිංහල භාෂාව, සංස්කෘත, පාලි සහ විශේෂයෙන් ඉංග්‍රීසි භාෂාව ලේඛනකරණයෙහි හසල දැනුමක් සතුව තිබූ එතුමා 1979 සිට සිය ජීවන වෘත්තීය වශයෙන් ‍තෝරාගත් පුස්තකාල හා විඥාපන විද්‍යා ක්ෂේත්‍රයට මහත් ආලෝකයක් ලැබිණි. එයට හේතුවක් වන්නේ පුස්තකාලයන්ට ශාස්ත්‍රාලෝකය සපයන ආයතන විශේෂයක් වීමත් එම ආයතනවල නායකත්වය හොබවන්නන් ද ශාස්ත්‍රීය, කළමනාකරණ සහ මානව ගුණයෙන් යන ත්‍රිත්වයෙන් සන්නද්ධ වූවන් විය යුතු වීමයි. මහාචාර්ය පියදාස රණසිංහ ශූරීන් මෙම ගුණ ත්‍රිත්වයෙන් ආම්පණ්ණ වීමේ ලක්ෂණය වර්තමාන ශ්‍රී ලංකාවේ පුස්තකාලයාධිපතිවරුන්ට පමණක් නොව සියලුම විද්වතුන්, වෘත්තිකයන්, දේශපාලනඥයින් ඇතුළු පොදු ජනතාවට ද ලද හැකි මහඟු ආදර්ශයකි.

පුස්තකාල හා විඥාපන විද්‍යා ක්ෂේත්‍රයේ වර්ධනයට කැපවන ඒ මහතාණන් 1994 දී කැලණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන පුස්තකාලයාධිපති ලෙස පත්විය. 1996 - 1998 වකවානුව තුළ එතුමා රජරට විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපති වශයෙන් පත්ව එහි ගොඩනැඟිලි සංකීර්ණය නිර්මාණය සහ පර්යේෂණ සහ ශාස්ත්‍රීය එකතුව වර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළේය. 1998 වර්ෂයෙහි අග භාගයේදී කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා විඥාපන විද්‍යා අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරයත් එහි අංශ ප්‍රධාන ධුරයත් පසුකාලීනව මහාචාර්ය සහ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ධූරයත් හෙබවීය.

යම් තැනැත්තෙක් යම් තනතුරකට පත්වූයේ නම් එම තනතුරෙහි රාජකාරි, වගකීම් නිසි ලෙස ඉටුකරමින් සාධාරණ, අපක්ෂපාතී සහ අවංක ගුණාංගවලින් යුතුව සේවය කළ යුතු බව ඒ මහතා ආදර්ශයෙන් පෙන්නුම් කළේය. එය එතුමා අප වෙත පසක් කළ තවත් චරිත ලක්ෂණයකි.

කරන වැඩකටයුතු 100% ක්ම නිවැරදිව කළ යුතු බවත්, පවරා ඇති වැඩය හෝ වැඩ නියමිත වේලාවට පෙර කළ යුතු බව එතුමා අපට පෙන්වා දෙන ලදී. කිසියම් ලිපියක හෝ ලේඛනයක අක්ෂර වින්‍යාසය, නිවැරදි ව්‍යාකරණය, විරාම ලක්ෂණ යෙදීම සහ අර්ථය හොඳින් කාහටත් අවබෝධ වන ලෙස ලිවිය යුතු බව ඔහු ආදර්ශයෙන්ම පෙන්වීය. කැලණිය විශ්වවිද්‍යාලය තුළත්, එතුමා සේවය කළ වෙනත් ආයතන හා සංවිධානවලදී ද මේ මහඟු ආදර්ශය ලබා දෙන ලදී.

ඒ මහතා සේවය කළ වකවානුව තුළදී හා ඉන් අනතුරුවත් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය ප්‍රකාශන, නිල ප්‍රකාශන බොහොමයක භාෂා සංස්කරණ කටයුතුවල ප්‍රාමාණික ලෙස යෙදිණි. භාෂාවක වියරණ හා වාග් විද්‍යා අංශය පමණක් නොව, සාහිත්‍ය කලා අංශයෙන් ද යන දෙඅංශයෙන්ම ප්‍රගුණත්වයක් ලබා තිබීම යම් අයෙක් භාෂා ප්‍රවීණයකු වශයෙන් සැලකීමේ ප්‍රධාන ලක්ෂණයකි. මේ සඳහා කුමාරතුංග මුනිදසුන් හා මාර්ටින් වික්‍රමසිංහයන් උදාහරණ ලෙස උපුටා දැක්විය හැකිය. මහාචාර්යතුමාණන් කාව්‍ය රචනය, කෙටිකතා රචනය, සාහිත්‍ය කෘති පරිවර්තනයෙහි අති දක්ෂයකු විය. භාෂාවේ මෙම දෙඅංශයෙන්ම ප්‍රවීණත්වයක් ලබා තිබීම යන්න ද අපට ලබාගත හැකි තවත් ආදර්ශයකි.

සිසුන් හමුවේ තැබූ එතුමාගේ තවත් උදාර හා කාලීන අදහසක් වූයේ 'ආචාර්යවරුන් වන අපද ශිෂ්‍යයන් වන ඔහු මෙන්ම ශිෂ්‍ය කණ්ඩායමක් වන බවයි. එනම් ඉගැන්වීමේදී ශිෂ්‍යයන්ගෙන් බොහෝ දෑ ඉගෙන ගන්නා බවත්, ශිෂ්‍යයන්ගේ අදහස්, හැසිරීම්, කතාබහ යන මේ සෑම දෙයක් තුළින් ගුරුවරුන්ට බොහෝ දේ ‍ඉගෙන ගත හැකි වන බැවින් ආචාර්යවරුන් ද වරෙක ශිෂ්‍යයන් වන බවයි' මෙම අදහස ද අපට මහත් ආදර්ශයකි.

යක්කල ආයුර්වේද ‍විද්‍යායතනයේ අධ්‍යක්ෂ ධුරය දරන වකවානුව තුළදී එහි ශිෂ්‍ය ප්‍රජාව අධ්‍යයන හා අනධ්‍යයන සේවක පිරිස් හැසිරුණු අයුරු සහ විශේෂයෙන් ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ සභාපති ධුරය 2007 - 2009 දරන ලද වකවානුව තුළදී එම සංගමයේ ක්‍රියාකාරීත්වය, වැඩසටහන් යනාදිය තුළින් දක්වන ආදර්ශය වන්නේ, පුද්ගලයකු තුළ මනා කළමනාකරණ හැකියාවක් ද තිබිය යුතු බවයි. එම සංගමයේ කටයුතු කිරීමේදී සිදු කළ ප්‍රධාන දෙයක් වන්නේ වැඩ කළ හැකි අය සොයා බලා ඔවුන්ට රාජකාරී පවරා නිදහසේ කටයුතු කිරීමට ඉඩ හැරීමයි.

මහාචාර්ය පියදාස රණසිංහයන් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ලෙන්ගතුව කටයුතු කළේය. අපට වඩා එතුමා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මුදල් දුෂ්කරතා, පවුල්වල ගැටලු, ඔවුන්ගේ කායික මෙන්ම මානසික ගැටලු යනාදිය ඔවුන්ට ඉතා සමීප වෙමින් දැනගනිමින් ඊට විසඳුම් ද ලබා දීමට උත්සුක වී තිබේ.

එතුමාගේ තවත් ආදර්ශයක් වන්නේ එතුමා හඳුනන යම් අයෙක් යම් වරදක් කරන්නේ නම් එම පුද්ගලයාගේ නෑදෑකම, හිතවත්කම හෝ තරාතිරම නොබලා සෘජුවම ඔහුට හෝ ඇයට එම වරද පෙන්වා දීමයි. කිසි දිනක මහාචාර්යතුමා යමකු කළ වැරැද්දක් හෝ වරදවල් පෙන්වා දීමෙන් අනතුරුව, එය තම සිත නොතබාම සිතින් ඉවත් කර ගැනීමේ ගුණයක් විය.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ රාජකාරි හා වගකීම් අතර යහපත් පුද්ගලයන් නිර්මාණය කිරීම, චරිත සංවර්ධනය කිරීම මෙම මහාචාර්යවරයා ඉතා හොඳින් ම ඉටු කළේය. එතුමා බිහිකර ඇති ශිෂ්‍ය ප්‍රජාව සහ ඔවුන් දැනට ලබාගත හැකි හැකියාවන්, තත්ත්වයන්, මිනිස් ගුණ මේ සෑම දෙයකින්ම අපට පෙන්වා දෙන්නේ මහාචාර්යතුමා වැනි උදාරතර පුද්ගලයකුගේ ඉතා ගැඹුරු ජීවන දර්ශනයයි.

පැය ගණන් පවත්වා විවිධ දේශන, කතා, සමාජය යහමඟට ගැනීම සඳහා පවත්වන වැඩමුළු, පුහුණු සැසි හා දේශන දහස් ගණන් පැවැත්වුවද, 'අවවාදයට වඩා ආදර්ශය උතුම්ය' යන පාඨය අපට පසක් කරන්නේ එතුමාගෙන් අපට බොහෝ දෑ තවත් ආදර්ශයට ගැනීමට ඉතුරුව ඇති බවයි.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩබ්. ඒ. වීරසූරිය 
පුස්තකාල හා විඥාපන විද්‍යා අධ්‍යයනාංශය 
කැලණිය විශ්වවිද්‍යාලය


නව අදහස දක්වන්න