ලිවීමෙන් නිවෙනවා වගේ ම ඇවිස්සෙනවා | දිනමිණ

ලිවීමෙන් නිවෙනවා වගේ ම ඇවිස්සෙනවා

අනුසාර මාහිංගොඩ
ගයාන් ඉන්දුල කොඩිතුවක්කු

මුහුණු පොත, පුවත්පත් කවි පිටු හරහා පාඨක ඔබට හමුවන මේ සුවිශේෂී කවියාගේ දෙවැනි කාව්‍ය කෘතිය පසුගියදා ජනගත කෙරිනි. ඒ "මට සිලිටි සිහිනයිනි" නමිනි. කවියා වන්නේ, ගයාන් ඉන්දුල කොඩිතුවක්කු ය. මේ, ඔහු සමඟ කළ හෘදයාංගම සංවාදයකි.

ඔබේ කවියට, වඩාත් මටසිලිටි භාෂාවක් යොදා ගන්නවා. ඒත් ඒ යට සඟවන්නේ, මේ සමාජයේ තිත්ත ඇත්ත. කවිය ලිවීමේ ඔබේ අරමුණ මොකක්ද ?

මූලිකවම මං උත්සාහ ගන්නේ, කවිය ඔස්සේ අපි ජීවත් වන සමාජයේ මට පේන මට ඇහෙන, මට දැනෙන සංවේදනා, පීඩන, සැමරුම් , පිට කරගැනීමට. ඒ වගේම ඒ සඳහා වඩා නිර්මාණශීලී ප්‍රවේශයක් ලබාදීමට. ඒ කාර්ය කොච්චර දුරට සාර්ථක ද? කියලා මං දන්නෙ නෑ. ඒත් නිර්මාණකරුවා තම නිර්මාණය මඟින් නිවෙනවා නම් හෝ ඇවිස්සෙනවා නම්, ඒ මොහොත තුළ ඔහු සාර්ථකයි කියලා මං හිතනවා. ඒ නිසා මං මගේ ලිවීමෙන් නිවෙනවා සහ ඇවිස්සෙනවා.

මේ කවි තව තවත් හොඳින් අත ගා බැලීමේදී, හැම කවියකම ශෝකී බවක් දැනෙනවා. ඔබ, ඔබ ගැන දුක්වෙනවද? ඔබ අසතුටින් ඉන්නා බවක් පාඨකයා හිතනා බව, එදා පොත දොරට වඩින දවසේත් ඔබ කියා සිටියා, මේ කෘතිය දොරට වඩින දවසෙදිත් ඔබ කියා සිටියා.

වේදනාව, ජීවිතයට ඉතා තදින්ම බලපෑම් කළ මිනිස්සුන්ට, ජීවිතේ සැබෑ සතුට සීයට සීයක්ම විඳින්න පුළුවන් කියලයි මං හිතන්නේ. ඔවුන් දන්නවා වේදනාවේ ගැඹුරේදි සතුට හොයා ගන්න විදිහ. වේදනාව දැනිලා නැති කෙනෙක් කොහොමද සතුට හරියටම නිර්වචනය කරන්නේ? ඔව්, මගේ කවිවල වේදනාවක් තියෙනවා සහ ඒ වේදනාව ඇතුළේ සැබෑ සතුට හැංගිලා තියෙනවා. සමාජය එක රාමුවක් තුළ කොටුවෙලයි අපි දිහා දකින්නේ. ඒක මේ වගේ රටක අධ්‍යාපනයේ හා ආගමානුකූල වූ සංස්කෘතියේ අවුලක්. අපි බොහෝ දේවලින් අසම්පූර්ණයි කියලා හිතන සමාජයට, ඒ අසම්පූර්ණකම් දකින්නන්ට වඩා අපි සම්පූර්ණ සතුටකින් ඉන්නවා කියලා මං ස්ථීරව ම කියනවා.

"මෙහේ හීන කියන්නේ, මැරෙන, මරණ" යන කවිය තුළ ඔබ , ඔබේ ජීවිතය හංගනවා?

මේ හැම කවිය ඇතුළේ ම අඩු වැඩි වශයෙන් මගේ ජීවිතය තියෙනවා. අපි මොනවා කිව්වත්, අපේ ජීවිත භාවිතාවෙන් නිර්මාණ වෙන් කර ගන්න හරි දුෂ්කරයි. මං විශ්වාස කරන්නේ, එහෙම වෙන්න ඕනෙත් නෑ කියලයි. මේ වගේ රටක මිනිසකුගේ හීන සැබෑ වෙනවා කියන්නෙ, හීනයක් වගේ දෙයක්. ඒක මටත් පොදුයි. මං ඒ කවියෙන් කියන්න හැදුවේ ඒකයි.

කෙටි කවිය ගැඹුරුයි. ඔබ වඩාත් කැමැති කෙටි කවියටද?

පුද්ගලිකව මං කෙටි කවියට බෙහෙවින් ඇලුම් කරනවා. එහි තියෙන ප්‍රබල බව සහ හැඩය

හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන විදිහ, ඒ වගේම කෙටි කවියකින් අපි හිතන්න පොලඹවා ගන්නා විදිහ පුදුමාකාරයි. කෙටි කවිය එක්තරා විදියකට මනසට වැඩ පවරනවා. ඒකට මං කැමැතියි. මොකද? පාඨකයා සක්‍රීයව ඉන්නා තාක් කල්, සක්‍රීය නිර්මාණකරණයේ යෙදෙන්න නිර්මාණකරුවාට සිද්ධ වෙනවා.

ඔබත්, මුහුණු පොතට කවි මුදා හරින්නෙක්. මෙහි ලියැවෙන්නේ හුදු ප්‍රේමය ගැනම කවි. ඒ කවියට වැටෙන Like නිසා, කවිය විශාල රසික පිරිසක් අතරට යනවා කියලා ඔබ හිතනවද ?

නෑ. මං එහෙමම හිතන්නේ නෑ. මුහුණු පොතේ ඉතා හොඳ, විවිධ ආරවල කවි අපට හමු වෙනවා. මුහුණු පොත හරහා කවියට අලුත් මුහුණුවරක් ලැබුණා. බොහෝ ප්‍රවීණයන් පවා මෙහි කවි පළ කරමින් ඉන්නවා. ඒ නිසා, කවිය මිනිස්සුන් අතරට පත් වෙන්න එක් හොඳ මෙවලමක් මුහුණු පොත. ඒත් ලයික්වලින් කවිය ජනප්‍රියයි කියලා හිතනවා නම්, ඒක ලොකු මුලාවක්. කවිය කියවන්නේවත් නැතිව හිතවත්කමට ලයික්, කමෙන්ට් කරන පිරිස වැඩියි. ඒ වගේම මං, බොහෝ විශිෂ්ට කවිවලට ලයික්, කමෙන්ට් අඩු අවස්ථා දැකලා තියෙනවා.

කවි කල්ලි ඔබ අනුමත කරනවද ?

කල්ලියක් කියන්නේ ම අපේ භාෂාවේ හඳුන්වන විදියට නරක පතුරුවා හරින කොටසකට. හරියට හොර කල්ලිය , මැර කල්ලිය වගේ. ඉතින් කවියකට මොකටද කල්ලියක්? කවියට ඕනෙ හෘද සංවේදනා දැනෙන මිනිස්සු විතරයි. මේක ලෝකෙ ඕනෙම කලාවකට පොදුයි.

කවියාගේ මූලික අරමුණ වෙන්නේ, යහපත් සමාජයක් තැනීමට ජනතාව පෙලඹවීම. එහෙත් ඔබගේ සමහර කවි හරහා සමාජ විරෝධී වන මත්ද්‍රව්‍ය ගැන උත්කර්ෂයට නංවනවා?

මත්ද්‍රව්‍ය වඩා උත්කර්ෂයට නැංවීම යහපත් ක්‍රියාවක් නොවන බව මං දන්නවා. ඒත් වඩා යථාර්ථවාදීව බැලුවහොත්, මං අපේ සමාජයේ මිනිස්සු ගැන ලියනවා නම්, ඒ මිනිස්සුන්ගේ ජීවිත හා ස්වභාව පාවිච්චි කළ යුතුයි. මං අහල තියෙන විදිහට, ලංකාවේ සෑම තුන් දෙනකුගෙන් කෙනකුම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මිනිස්සුන්ගෙ ජීවිතය ඒ හා බද්ධ වෙලා. ඒ ගැන නොලියා, ඒ මිනිස්සුන්ගේ හැඟීමක් කල්පනය කරන්නේ කොහොමද? ඒ වගේ ම, මට වුවමනායි සමාජයේ හැම ඉසව්වක්ම මගේ නිර්මාණවලට එකතු කර ගන්න. එතෙන්දි තමයි ඔබට ඔය විදියට හිතෙන්නේ.

ඔබ වඩාත් ආශක්ත වන කවියා?

එහෙම ආස කවි කිවිඳියෝ බොහොමයක් ඉන්නවා. ඒ අතරිනුත් අජිත් තිලකසේන, ධර්මසිරි බෙනඩික්, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, රුවන් බන්දුජීව, මංජුල වෙඩිවර්ධන, කල්පනා ඇම්බ්‍රෝස්, ලක්ශාන්ත අතුකෝරල විශේෂයි. ඒ අයගේ කවියෙන් මං හොඳ එළියක් ලබනවා.

අවසාන වශයෙන් ඔබට, පාඨකයාට කියන්න බොහෝ දේ හදවතේ විසිරිලා ඇති?

ඔව්, මට හැමදාම කියන්න ඕනෙ වුණේ, අපේ මේ ජීවිත කාලය පුරාවට අපි සතුටින් සිටිය යුතුයි කියලයි. මොන තත්ත්වයක් උඩ වුණත්, එය නොවෙනස් විය යුතුයි. කුමන පුද්ගලයකු නිසා වුණත්, කුමන සමාජ තත්ත්වයක් වුණත් නොවෙනස් විය යුතුයි. මොකද? තමන්ගේ ජීවිතය සතු සතුටේ වගකීම තමන්ගේම නිසා. ඒකයි මං හැම තිස්සේම කියන්නේ, මං සතුටින් ඔබලාත් සතුටින් ඉන්න කියලා.


නව අදහස දක්වන්න