රූපවාහිනී මාධ්‍යයෙන් මතුවන විශ්ලේෂිත විඥානය | දිනමිණ


 

රූපවාහිනී මාධ්‍යයෙන් මතුවන විශ්ලේෂිත විඥානය

ආචාර්ය බර්ට්‍රම් නිහාල්ගේ නවතම පර්යේෂණ කෘති දෙකක් පසුගියදා දොරට වැඩිණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් වශයෙන් පර්යේෂණයක නියැළුණු ආචාර්ය බර්ට්‍රම් නිහාල්, සමාජාභිවර්ධනය උදෙසා ස්වකීය විඥානය විවිධ පැතිකඩාශ්‍රිතව විහිදවා ඇත. මෙතෙක් කිසිවකු අතින් නොවූ පර්යේෂණයක් ඔහු අතින් සිදුවීම අතිශය ආනන්දයට හේතුවකි.

‘ශ්‍රී ලංකාවේ රූපවාහිනිය දෘශ්‍ය සංඥාර්ථ සහ සමාජ සංස්කෘතික විසංයෝජනය’ හා ‘රූ කල්පන රූපවාහිනී රචනා කලාව’ යන ග්‍රන්ථ ද්වය සහෘදයන්ගේ මනස අවදි කරන්නක් ලෙස මම දකිමි.

විෂයාත්‍රිකභාවය පිළිබඳ පුළුල් දැනුමක් ඇති ආචාර්ය බර්ට්‍රම් නිහාල්, තමන්ගේ විඥානය රූපවාහිනී ක්ෂේත්‍රය ඔස්සේ යොමු කිරීම අතිශය ප්‍රඥාජනක ය. රූපවාහිනිය යනු පටු ක්ෂේත්‍රයක පවතින්නක් බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත්, මේ ග්‍රන්ථ පරිශීලනයෙන් එය කොතරම් පුළුල් තලයක පවතින්නක් ද යන්න අපට මනාව පැහැදිලි වෙයි.

ජනමාධ්‍ය යන්න විවිධාංගිකවූ තාක්ෂණික සමුච්චිතකරණයෙන් ගොඩනැගෙන අතර, එය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක පිරිසට අතිශයින්ම අනවරතයෙන්ම සමීප වන්නේ, සන්නිවේදනය පදනම් කරගෙන ය. මෙහි රූපවාහිනිය යනු ජනමාධ්‍යයක් වන අතර, විනෝදාස්වාදය, අධ්‍යාපනය, ප්‍රවෘත්ති, දේශපාලනය, ඕපාදූප, සමාජ විද්‍යාව, සාහිත්‍ය ක්ෂේත්‍රය හා වෙළෙඳ ප්‍රචාරණය ආදී විවිධ පැතිකඩ සමාජයට සම්ප්‍රේෂණය කරන බිහිදොරකි.

මේ මඟින්, විනෝදාස්වාදය මාධ්‍යයකින් ඔබ්බෙහි පවතින සමාජ පද්ධතියක ස්වරූපය ගොඩනැ‍ඟෙන සහ බිඳවැටෙන සම්ප්‍රේෂණීය ගුණයෙන් යුක්ත රූපවාහිනිය එහි හරයෙහි ස්වරූපය එයින් මතුකර පෙන්වයි.

1920 දශකයෙහි අවසාන භාගයේ රළු පර්යේෂණාත්මක ආකෘතිවලට කේන්ද්‍රගත වූ එය, දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය සහ අමෙරිකා එක්සත් ජනපදයේ කළු - සුදු රූපවාහිනී ලෙස ජනප්‍රිය විය.

1950 දශකය වනවිට රූපවාහිනිය මහජන මතයට බලපෑම් කරණ මූලිකතම මාධ්‍ය බවට පත් විය. 1960 දශකයේ මැද භාගය වනවිට වර්ණ රූපවාහිනියෙහි ප්‍රබල සමාජගත වීමක් දැකිය හැකි ය.

බොහෝ දෙනාගේ ආකල්පය වන්නේ, රූපවාහිනිය නරඹන පසුබිමයි. එහෙත් මේ පර්යේෂණ කෘතිය පරිශීලනයෙන්, එහි පවත්නා මනෝවිඥානික පුළුල්වූ දෘෂ්ටිය කෙබඳු ආකාරයේ පවතින්නක්ද යන්න අපට අවබෝධ කරගත හැකි ය.

පරිච්ඡේද 15කින් සමන්විත මේ පර්යේෂණ කෘතියේ, සමාජයක අභ්‍යන්තරික වන පාරජාතික සංඥාර්ථයෙහි බලපෑම මඟින් වන සමාජ සංස්කෘතික විසංයෝජනය සරල නොවන බවත්, එය සමාජ ස්ථාවරභාවයේ ගුණයට සිදු කරන බලපෑම පිළිබඳත්, රූපවාහිනී මාධ්‍ය මූලිකව විශ්ලේෂණය කරයි.

මෙය පරිධියේ හා මාධ්‍ය රටවල්වල ජීවත් වන මිනිසුන්ගේ ප්‍රජානන වටිනාකම්, සදාචාරය සහ සෞන්දර්යාත්මක විද්‍යාත්මක ආකල්ප පරීක්ෂාවට භාජනය කළහැකි සංසිද්ධි ඇතුළත් වෙයි.

කතුවරයා පර්යේෂණාත්මකව ඉදිරිපත් කරන සංසිද්ධි වාස්තවික සහ වලංගුතාවෙන් යුක්තවන අතර, වෙනස්වන සමාජයෙහි එක් එක් නියමනයන්ට අනුකූල වන බව ද පිළිබිඹු කරයි. වර්තමානයේ ගොඩනඟන සංස්කෘතික කාරණාවලින් සමාජ, ඓතිහාසික ස්වරූපය පිළිබඳ දෘශ්‍යාර්ථ ගොඩනංවයි.

මේ කෘතිවල කේන්ද්‍රීය ප්‍රත්‍යය වන්නේ රූපවාහිනී මාධ්‍ය හා ආශ්‍රිත සන්නිවේදන සංස්කෘතික ක්‍රියාවලියේ විශ්ලේෂණයක් පිළිබඳ සලකා බැලීමෙන් හා එය මධ්‍යස්ථ ලෙස හැදෑරීමෙන් ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා නව ප්‍රවේශ අත්පත් කරගෙන කටයුතු කළ යුතු ආකාරය, විචාරාත්මක විශ්ලේෂණයකට භාජනය කිරීමයි.

මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස වාද කළ හැකි වන්නේ, සමාජයීය මනෝවිද්‍යාව කෙරෙහි අති නවීන ප්‍රවේශ ලබා දීමෙන් ශික්ෂණයන්හි විවිධත්වයක් හරහා සමාජයීය හා සංස්කෘතික න්‍යායන් හි වඩා සවිස්තර වූ සංකලනයක් කාලානුරූප කර ගැනීමයි.

මේ සන්දර්භයේ රූපවාහිනී මාධ්‍ය හා දෛනික ජීවිතය අතර සහ සම්බන්ධතාව පිළිබඳ ප්‍රශ්නය පැතිකඩ කිහිපයකින් විමර්ශනය කිරීමට කතුවරයා යත්න දරා ඇත.

ප්‍රථමයෙන් මාධ්‍ය අධ්‍යයනය හා ඒ හා බැඳුණු අනෙකුත් ශික්ෂණ අතර සහසම්බන්ධතාවෙහි සිදුවී ඇති ඓතිහාසික විපර්යාස පිළිබඳ පිරික්සීමක් කෙරෙන අතර, දෙවනුව රූපවාහිනී මාධ්‍ය සහ දෛනික ජීවිතය අතර සම්බන්ධතාව තේරුම් ගැනීම සඳහා වූ විවිධ ප්‍රවේශ සන්නිදර්ශනය කිරීම සඳහා රූපවාහිනියෙන් සහ එම වියමන මඟින් ජනතාවට ඇති වූ බලපෑම් නොහොත් ඝට්ටනය පිළිබඳ පුළුල් පර්යේෂණ වපසරියක් වරණීය ලෙස සමාලෝචනය කර ඇත. එමඟින් කිසියම් වූ සෛද්ධාන්තික පසුබිමක් පිළිබඳ අවබෝධ කර ගැනීමේ වැදගත්කම මෙයින් මතු කරයි.

රූපවාහිනී නාලිකා නෙතට යොමු කරන අය, එම ක්ෂේත්‍රයේ පවත්නා පුළුල් විෂයඥානය ගැන අවබෝධයක් නොමැත. මේ පැතිකඩ කෙරෙහි බර්ට්‍රම් නිහාල් අව‍ධානය යොමුකොට, එහි පවත්නා සුගැඹුර මේ කෘති ද්වයෙන් ධ්වනිත කර ඇත.

ගුවන්විදුලිය, රූපවාහිනිය චිත්‍රපට හා අනෙකුත් මාධ්‍ය සංස්කෘතික නිපැයුම් මඟින් අප වෙත විවිධ තොරතුරු ලබාදීම සිදු කෙරේ. මේ තොරතුරු අනුසාරයෙන් අපගේම අනන්‍යතාව, අපගේ ස්වාත්ම්‍යය පිළිබඳ හැඟීම්, ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ අප කෙරෙහි පවතින සංකල්පනය, පන්තිභේදය පිළිබඳ හා ජනවාර්ගිකත්වය, ජාතිය, ජාතිකත්වය හා ලිංගිකත්වය මෙන් ම, අප හා ඔවුන් යනුවෙන් අපට ඇතිවන සංකල්පනය හැඩතල ගැන්වීමක් මේ මඟින් සිදු කෙරේ.

කතුවරයා පවසන පරිදි රූපවාහිනී ආශ්‍රයෙන් එම නාලිකාවල හිමිකරුවන්, තාක්ෂණ විශේෂඥයන් සහ වැඩසටහන් නිෂ්පාදකයන් විසින් ජනතාවගේ දැනුම පිළිබඳ භුක්තිය පැහැරගනු ලබයි.එම දැනුමෙහි අන්තර්ගතය හා එය අප වෙත රැගෙන එන්නා වූ මාධ්‍ය පාලනය කිරීමෙන් එය ඔවුන් සතු සීමිත විෂය පථය සන්නිවේදනය කරලීමෙහිලා බලපෑමට ලක්කරන ආකාරයත්, මේ මඟින් කතුවරයා හෙළි කරයි.

කාලීන වශයෙන් ඉතා වැදගත් කෘති දෙකක් වූ මෙය, අනවරතයෙන්ම, නිරන්තරයෙන්ම පරිශීලනය කිරීමෙන් බොහෝ දේ අපට උකහාගත හැකි ය.

ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම

නව අදහස දක්වන්න