ධර්මදේශනාව | දිනමිණ

ධර්මදේශනාව

පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ වැඩබලන අධ්‍යක්‍ෂ වැලමිටියාවේ ඤාණරතන ස්ථවිර

අද නිකිණි පුරපසළොස්වක පොහොය දින යයි.

භික්‍ෂූන්වහන්සේ පසුවස් එළඹීම, ප්‍රථම ධර්ම සංගායනාව සිදුවීම, අග්‍රඋපස්ථායක ආනන්ද හිමියන් රහත්භාවයට පත්වීම, බුද්ධත්වය ලබා ප්‍රථමයෙන් උරුවෙල් දනව්වේ සේනානි ගමට බුදුරජාණන්වහන්සේ වැඩමවීම යන කරුණුනිසා අද පොහොය වැදගත් ය.

“චරථ භික්ඛවෙ චාරිකං 
බහුජනහිතාය බහුජන සුඛාය 
අත්ථාය හිතාය සුඛාය 
දෙවමනුස්සානං”

යනුවෙන් අප ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන්වහන්සේ ප්‍රථම රහත් හැටනම අමතා, බොහෝ දෙව්මිනිසුන්ගේ හිත සුවපිණිස ධර්ම ප්‍රචාරයේ යෙදෙන ලෙස දේශනා කළා. එතැන් පටන් බුද්ධ පුත්‍රයන් වහන්සේලා දිවා රෑ අව්ව වැස්ස නොබලා ගමින් ගමට වැඩමවමින්, දහම් දෙසමින් දිව්‍යම නුෂ්‍යාදීන්ට පරමශාන්ත අමාමහ නිවන සාක්‍ෂාත් කරවනු පිණිස කැපවුණා.

ධර්ම ප්‍රචාරයේ නියුක්ත භික්‍ෂූන්ගේ කායචිත්ත විවේකය උදෙසාත් ගිහි පැවිදි දෙපක්‍ෂයේ ම විමුක්ති මාර්ගයේ සුසංවර්ධනය උදෙසාත් පසුකාලයේ දී බුදුරජාණන්වහන්සේ වස්කාලය හඳුන්වා දුන්හ.

ඇසළ පුරපසළොස්වක පොහොය දිනට පසු එළඹෙන අවපෑලවිය දා සියලු උපසම්පදා භික්‍ෂූන් වහන්සේ වස් සමාදන් වියයුතු අතර, එදිනට වස් සමාදන් වීමට නොහැකි වූ භික්‍ෂූන්වහන්සේලාට නිකිණි පුර පසළොස්වක පොහොයට පසු වස් සමාදන් වීමට හැකියි.

බුදුහාමුදුරුවෝ දිනක් කුරු ජනපදයේ චුල්ලකොට්ඨිත ගමට වැඩමකර ධර්ම දේශනාවක් පැවැත්වූහ. එම ගමෙහි සිටිරට්ඨපාල නම් බුද්ධිමත් තරුණයෙක් ධර්මශ්‍රවණය කර පැවිදිවුණා. එම දේශනාවේ දී ප්‍රධාන ධර්මෝපදේශ හතරක් දේශනා කළහ. ඉන් පළමුවැන්න “උපනීයති ලොකො අද්ධුවො’ ලෝකයේ උපදින සෑම සත්වයෙක් ම ජරාව, ව්‍යාධිය, මරණය විසින් ඇදගෙන යනු ලබයි. කිසිවකුටත් එයින් බේරීමට පුළුවන් කමක් නැහැ. මෙය ලෝකයේ යථාර්ථයක්. එම නිසා මරණයට පෙර අප නිරන්තරයෙන් කුසල් කරගත යුතුයි.

දෙවැන්න නම් “අත්තානො ලොකො අනභිස්සරො” යන කරුණයි. එනම් අප සියලුම දෙනා අසරණයි. අපට දුකක් පැමිණුන විට එයින් බේරා ගැනීමට කිසිවකුත් නැහැ. අප මුහුණ දෙන දුක් සියල්ලම අපම තනියම විඳදරා ගත යුතුයි. ඒ නිසා එම සියල්ලෙන් ම මිදීමටඇති එකම මාර්ගය නිර්වාණාවබෝධයයි. එයට අප්‍රමාදීව කුසල් රැස්කර ගත යුතුයි.

තුන්වැන්න නම් “අස්සකො ලොකො සබ්බං පහාය ගමනීයො” යන්නයි. එනම් මෙලොව උපදින හැම සත්වයෙක් ම සියල්ල අතහැර යා යුතුව පවතිනවා. අපට මේ ලෝකෙ ලැබෙන සෑම දෙයක්ම ලැබී තිබෙන්නේ තාවකාලිකවයි. යමක් අහිමි වුණොත් අහිමිවෙන්නේ සදාකාලිකවයි. උපදින සත්වයා මේ ශරීරයට තරම් ආදරය කරන වෙන මොනම දෙයක්වත් නැහැ. එසේ වූවත් මේ ශරීරය අපට අහිමිවෙයි. එය නැවත කිසි දිනක අපට ලැබෙන්නේ නැහැ.

ශරීරයේ ඉරණම එසේනම් අප සතුව පවතින වෙනත් භෞතික වස්තු පිළිබඳ කතා කිරීමට යමක් ඉතුරු වී නැහැ. එම සියල්ල අතහැර යාමට ප්‍රථම අප කුසල් දහම් රැස්කර ගත යුතුයි. එවිට ඉපදීම නැවැත්වීමේ මාර්ගයේ ගමන්කොට උතුම් නිර්වාණාවබෝධය ලබන්ට පහසුවේ.

හතරවන ධර්මෝපදේශය “ඌණො ලොකො අතිත්ථො තණ්හා දාසො” යන්නයි. එනම් ලොව සියලු සත්වයො ලැබෙන කිසිම දෙයකින් සෑහීමකට පත්වන්නේ නැහැ. සැමවිටම තව තවත් සැප සම්පත් සොයා යෑමට කැමති වෙයි.

කිසිම දේකින් සෑහීමකට පත් නොවන නිසා අතෘප්තිකරයි. තෘෂ්ණාවේ දාසයන් බවට පත් වී අසාර්ථක චරිත බවට පත්වෙති. එවිට තෘෂ්ණාව ඉල්ලන සෑමදෙයක්ම දීමට අපි පෙළඹේ. එම නිසා අප පාලනය කරගත යුතු වන්නේ ප්‍රඥාව විසින්. ප්‍රඥාව බුද්ධිමත්ව තීරණ ගනිමින් අපට අයිති ගැළපෙන සාධාරණ අරමුණු පමණක් ලබා දීමට කටයුතු කරනවා. එම නිසා පඤ්චේන්ද්‍රියන්ගෙන් අරමුණු ලබා ගැනීමේ දී ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතුයි. හිත ඉල්ලන සෑම දෙයක් ම දීමට කටයුතු කිරීමෙන් විවිධ කරදරවලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ජීවිතය අසාර්ථකයි. එම නිසා සසරින් එතෙර වී නිර්වාණාවබෝධය ලබා ගැනීමට නම් සත්වයා සසර බැඳ තබන තෘෂ්ණාව මනසින් ගලවා දැමිය යුතුයි. ඒ සඳහා අපිඅධිෂ්ඨාන කර ගිනිමු.

ඔබ සැමට තෙරුවන්සරණයි.


නව අදහස දක්වන්න