කොබෙයි න්‍යාය! | දිනමිණ


 

කොබෙයි න්‍යාය!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “කොබෙයි න්‍යාය” නමින් අලුත් දේශපාලන සංකල්පයක් හඳුන්වා දී තිබේ. එහි සරල අදහස වන්නේ පරණ දේශපාලකයන්, පරණ වැඩසටහන් ද සමඟ අලුත් පෙනුමකින් කරළියට එන බව යැයි කිව හැකි ය. රට අලුත් වී ඇත. ආර්ථිකය අලුත් වී ඇත. සමාජ චින්තනය වෙනස් වී ඇත. ඒ අතර පරණ දේශපාලකයන් අලුත් පෙනුමකින් ප්‍රදර්ශන පැවැත්වීම ගැන තීන්දුවක් ගත යුත්තේ රටේ බුද්ධිමත් ජනතාව යැයි කිව යුතු ය. අගමැතිවරයා අවස්ථා කිහිපයකදීම කොබෙයි න්‍යාය සමාජගත කළ අතර; එක් වරක් මේ අදහස පළකළේ ගොවි ජනතාවට වගා හානිය සඳහා වන්දි ලබාදෙන අතරය.

2015 දී රටේ සමාජ චින්තනය වෙනස් වූ බව කියනු ලැබේ. එය පරිවර්තන යුගයක් ලෙස ද, ඉදිරිගාමී දේශපාලන අවස්ථාවක් ලෙස ද සලකනු ලැබේ. ඒකාධිපතිවාදයට, පවුල්වාදයට හා මිලිටරි පාලනයට එරෙහිව වෙඩි මුරයක් පත්තු කිරීමට ජනතාව එදා සමත් වූහ. එය ජයග්‍රහණයට පත්වූයේ 62%ක ජනතා අභිමතයකින් ය. එදා පරාජයට පත් වී පෙරළා නිවෙස් බලා ගිය පිරිස අද අලුත් ආයිත්තම්වලින් සැරසී යළිත් බලය ඉල්ලා සිටිති. අගමැතිවරයා කොබෙයි න්‍යායෙන් පැහැදිලි කරන්නට වෑයම් කරන්නේ මේ දේශපාලන ප්‍රයෝගය බව පැහැදිලි ය.

2014 වෙත අප ආපසු හැරී බැලුවහොත්; එදා රට පැවතියේ අතිශය භයානක තැනක ය. රටේ නීතිය වල්වැදී තිබිණි. ප්‍රජාතන්ත්‍රවාදය වචනවලට පමණක් සීමා වී තිබිණි. අධිකරණයට හා රටේ නීතියට පාලකයන් කළ අනිසි බලපෑම ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුතුමියගේ සිද්ධියෙන් හොඳහැටි පැහැදිලි වෙයි. රටේ අපරාධ යටගසන ලද ආකාරය තාජුදීන් සිද්ධියෙන් පෙනී යයි. ජන මාධ්‍යයට සිදුකළ බලපෑම පිළිබඳ සිද්ධි ගණනාවක් ඇති අතර ලසන්ත වික්‍රමතුංග මහතා‍ගේ ඝාතනයත්, ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන්වීමත් ඒ අතර ප්‍රධාන වෙයි. පුදුමයකට මෙන් මේවා පිළිබඳ යුක්තිය ඉටුවීම අදටත් සම්පූර්ණ වී නැත.

ජනතාවගේ පැත්තෙන් ගතහොත්; වතුර ඉල්ලා සිටි ජනතාවට වෙඩි උණ්ඩ හා කඳුළු ගෑස් ලැබිණි. සහන ඉල්ලා සිටි ධීවරයන්ට සහන වෙනුවට බැටන් ප්‍රහාර ලැබිණි. කෙනකුට වෙඩි උණ්ඩ ද ලැබිණි. අවසන් ලෙස බලනවිට සිරකරුවන්ට හෝ ජීවිතයක් නොතිබිණි. වැලිකඩ සිරගෙදර සමූහ ඝාතනයක් සිදුවිය. මේ සියලු සිදුවීම්වලින් පැහැදිලි වන්නේ මිලිටරි පාලනයක සාහසික ස්වරූපය යි. යුද්ධයක් පවතින ප්‍රදේශයක මිලිටරි පාලනය ස්වාභාවික සංසිද්ධික් සේ ගතහැකි වුව; යුද්ධයක් නැති ප්‍රදේශයක හා ත්‍රස්තවාදය අවසන් වූ අවස්ථාවක මෙබඳු දරුණු පාලනයක් අපේක්ෂා කළ නොහැකි ය. එහෙත් පාලකයන් මිලිටරිකරණය කෙරෙහි විශ්වාසය තබන විට මෙබඳු සිදුවීම් වැළැක්වීම අපහසු ය.

එදා අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව අරභයා පැවැති තත්ත්වය වඩාත් බරපතළ විය. මානව හිමිකම් කොමිසමේ චෝදනා පත්‍රය, යුරෝපා සංගමයේ සහන කපාහැරීම ඒ අතර ප්‍රධාන වෙයි. යුරෝපා සංගමයේ සහන කපා හැරීම ඉතා අහිතකර ලෙස ආර්ථිකයට බලපෑවේ ය. මානව හිමිකම් කොමිසමේ චෝදනා පත්‍රය මත ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් පවා තිබිණි. මේ හැරෙන්නට ශ්‍රී ලංකාවේ විදේශ ණය හා පොලී ගෙවීම් බෙහෙවින් ඉහළ මට්ටමක පැවැති අතර අසමත් රාජ්‍යය යන ලේබලය ද ශ්‍රී ලංකාවට වැදී තිබිණි. අසමත් රාජ්‍යවලට ආයෝජකයන් එන්නේ නැත. ආධාර හා ණය ලැබෙන්නේ ද නැත. ශ්‍රී ලංකාව ඇෆ්ඝනිස්ථානයට සමාන යැයි එදා සමහරු පෙන්වා දුන්හ.

ඉහත පසුබිම තුළ ජාතිවාදයට, ආගම්වාදයට මෙන්ම අපරාධවලට ද නැඟී සිටින්නට අවකාශ ලැබිණි. ජාතිවාදී ව්‍යාපාර හා ආගම්වාදී සංවිධාන පාලකයන්ගේ ද අනුග්‍රහය මත ක්‍රියාත්මක වූ බව ප්‍රසිද්ධ රහසකි. ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් කිහිප තැනෙකින් ම මතුවිය. ඒවා මර්දනය කරන ලද්දේ වුව; ඒ යුක්තිසහගත ක්‍රමයකට නොවේ. සැබෑ සාමයකට හෝ සහජීවනයකට හෝ ගමන් කිරීමේ ඇත්ත වුවමනාවක් කිසිවකුටත් නොතිබිණි. එදා සාමය යනු මහා ජාතියේ අභිලාසයන් ඉටුකිරීම යැයි පාලකයන් සිතන්නට ඇත. එදා සහජීවනය යනු සුළු ජාතිකයන්ට දෙවන පන්තියේ ලා සැලැකීම යැයි පාලකයන් සිතන්නට ඇත. යුද්ධය අවසන් වීමෙන් පසු ජාතීන් අතර සහයෝගය සඳහා බොහෝ දේවල් සිදුකළ හැකිව තිබුණ ද පාලකයන් ඒවා ඉටු කළේ නැත.

අතීතය විමසනවිට පෙනී යන වැදගත් සාධකයක් වන්නේ අතිශය අවාසනාවන්ත යුගයක් අප විසින් පසු කරනු ලැබ ඇති බව ය. එම තත්ත්වය ඉබේම වෙනස් වූයේ නැත. එතෙක් - මෙතෙක් රට ලබා ඇති සෑම ජයග්‍රහණයක් ම වැදගත් ප්‍රතිපත්ති හා වැඩසටහන් නිසා ජනතාව ලබා ඇති ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකි ය. නීතියේ ආධිපත්‍යය, ජනමාධ්‍ය නිදහස, මානව හිමිකම්, ජාත්‍යන්තර සහයෝගය, ජනතාවට සහන ආදිය තහවුරු කිරීම සඳහා විධායකය හා ව්‍යවස්ථාදායකය කැපවීමක් සිදු කර ඇති බව පිළිගත යුතුය. ගෝලීය ආර්ථික සබඳතා ගොඩනැඟීම සඳහා ආණ්ඩුව සාර්ථක වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ආර්ථිකය සබඳතා පුළුල් වී ඇත.

ආණ්ඩුව පුළුල් ආර්ථික දර්ශනයක් මත රටේ ආර්ථිකය මෙහෙය වන බව පෙනෙන්නට තිබේ. එම ආර්ථික දැක්ම තුළ ප්‍රධාන ලක්ෂණ තුනක් තිබේ. එක; අපනයන ආර්ථිකය යි. දෙක; ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කිරීමයි. තුන; සාගර ආර්ථිකය ඔස්සේ රටේ ආදායම් ඉහළ දැමීමයි. මේ ක්‍රමය රටට ගැළපෙන හා ලෝකයට සමගාමීව ගමන් කළ හැකි වැඩසටහනක් බව පැහැදිලිය. අගමැතිවරයා කොබෙයියාගේ ආර්ථික න්‍යාය ඔස්සේ පැහැදිලි කරන්නට වෑයම් කරන්නේ රටට ගැළපෙන හා ඔරොත්තු දෙන ඉහත ක්‍රමවේද පරණ දේශපාලකයන් අතට බලය ලබාදීමෙන් විනාශ මුඛයට යන බව ය. තීරණය ජනතාව අතේ පවතී.

 

නව අදහස දක්වන්න